දැක්ම

පන බේරාගෙන මහ පාරේ යාම

අප පාරේ යාමට දන්නේ නැත!

සිංගප්පුරුවේ පියා කොළඹ බලාගෙන සිංගප්පූරුව හැදුවා යැයි කතාවක් අප අසා ඇත!

අපට වසර සිය දහස් ගණනක ශිෂ්ඨත්වයද ඇත! 

අපේ සාක්ෂරතාව ද ඉතා ඉහළය.

පන්සල පටුමගෙන් ඩුප්ලිකේෂන් පාරට දමා බම්බලපිටය හන්දියෙන් වමට හැරවීමට නම් මීටර සීයක් හෝ දෙසීයක් ඇතුළත මංතීරු කිහිපයක් හරහා යා යුතුය.  

ඉතා පැහැදිලි ලෙස මංතීරු වල බාධාවන් නොමැති අවස්ථාවන්හිදී පවා ඩුප්ලිකේෂන් පාර දිගේ වාහන පැදගෙන එන මහත්වරු සහ නෝනාවරුන්ට මෙලෙස හරහා යන වාහනයක් තමන්ට කිසිම බාධාවක් නොකරන විටදී පවා දැඩි කඩි කුලප්පුවක්  ඇතිවෙයි.

අපි, අපට බාධාවක් නොවන ලෙස සංඥා ලාම්පු දල්වා මීටර සියයක් දෙසීයක් ඉදිරියෙන් තමා යන මං තීරුවට අවතීර්ණ වන වාහනය දුටු වනම නලාව නාද කර වේගය වැඩිකර අනෙකා අවහිර කරනා අශිෂ්ඨ මෘගයන්ය. 

මෙම අශිෂ්ඨත්වයට භාජනය වන විටදී කොපාවිෂ්ටව කෑ මොරදෙන බහුතරයද , තමා ඉදිරියේ යහමින් ඉඩ ඇති විට පවා කෙනෙකුට මංතීරුවට ඇතුළු වීමට නොදෙන, හෝන් ගසා, වේගය වැඩිකර අනෙකා අවහිර කරන්නා වූ අශිෂ්ඨයන්ය.

ශිෂ්ටත්වය සභ්‍යත්වය ගැන කතා කරනා,  මහා සංස්කෘතික උරුමයක් දායාද කරගත් ලාංකිකයින් වන අප, වාහන පදවන  විටදී මෙසේ  අමන, අශිෂ්ඨයින් වීමට හේතු මොනවාදැයි  විමසා බැලීම අප වහ වහාම කළ යුතුය.

පාරේ ගමන් කිරීම,  වාහන පැදවීම  යන කාරණාද අනෙකුත් සියලුම සමාජ චර්යාවන් මෙන්ම  සම්මුති සත්‍යයන් සහ  අනුවර්තිත ක්‍රියාදාම මත පදනම් වූ චර්යාවන්ය.

මෙම චර්යාවන් නිවැරැදිව සමාජයට ඉගැන්විය යුතුය. ඉගැන්වීමෙන් පසු ඒවාට අනුවර්තනය වීමට ක්‍රමවේද සැකසිය යුතුය. 

වෙනත් රටවල් වල මෙම ක්‍රමවේදය ඉතා ප්‍රවේශමෙන් කල්පනා කර ස්ථාපනය කර ඇතිවා පමණක් නොව ඒවා සිදුවෙනවා දැයි බැලීම සඳහා  ආවේක්ෂණ ක්‍රියාපටිපාටිද  ඇති බවත්,

මෙසිරිලක එවන් දේ සිදු නොවන බවත්, ඒවා පිළිබඳ  ජාත්‍යන්තර ප්‍රජාවද දැනුවත් බවත්,  ශ්‍රී ලාංකිකයින් එම රටවලට ගිය පසු රියදුරු බලපත් ලබා දීමේදී  අනුගමනය කරන්නා වූ ක්‍රමවේද වලට මුහුණ දී ඇති මේ ලියුම්කරු පුද්ගලිකවම දන්නේය.

මිනිසුන්ට ශිෂ්ට ක්‍රමවේද ඉගැන්විය යුතුය, ඒවා පිළිපදිනවා දැයි බැලීමට ක්‍රමවේද සැලසිය යුතුය.  ලොව දියුණු රටවල් දියුණු සමාජ චර්යාවන් ස්ථාපනය කර ඇත්තේ  අධ්‍යාපනය ලබාදීම, පුරුදු පුහුණු කිරීම, නියාමනය හා  ඒ සියල්ල සඳහා ක්‍රමවේද ස්ථාපනය කිරීම  හරහාය. 


බසයක් පෙරළී අපගේම සහෝදර සහෝදරියන් මියගොස් ආබාධිත තත්ත්වයන්ට පත්වී සිටින මොහොතකදී බලධාරීන්ට ද අපගේ සහෝදර ජනතාවට ද අප මෙසේ කියා සිටිමු.

මෙය සතියක් දෙකක් නඟුට ඔසවාගෙන කෑමොරදී අවසන් කළ යුතු ප්‍රශ්නයක් නොවේ..

පාර සෑදීම, පටු තැන් පුළුල් කිරීම, මාර්ග සංවර්ධන අධිකාරිය සතු රාජකාරීන් විය හැකිය..

නමුත් එසේ වූ තැන්වලින් ප්‍රපාත වලට වැටී හෝ වැටීමට සලස්වා මියගිය පසු නිදහසට කරුණු කීම සහ සෙවීම කපටි, කෛරාටික කුපාඩි කමකි. 

වසරක් තුළ අනතුරු නිසා සිදුවන මිය යෑම් සහ අබාධිත වීම් නිසා සිදුවන අනාථ වීම්, සෞඛ්‍යයට, ආර්ථිකයට සහ සමාජයට පැටවෙන්නාවූ බර, අන් සියලු ආකාර වලින් සිදුවෙන්නා වූ හානි වලට සහ පැටවෙන්නා වූ බරට වඩා වැඩි බව සංඛ්‍යා ලේඛන ඉතා පැහැදිලිව පෙන්වා දෙයි.

මේ සඳහා පිළිතුරු අපම සෙවිය යුතුය. උදෑසන වැඩට ගිය පවුලේ බත සරි කරන්නා වූ මව, පියා, සහෝදරයා, සහෝදරිය,රට බාර ගැනීම සඳහා අධ්‍යාපනය ලැබීමට ගිය පුතා හෝ දුව රැකගැනීම අප සැම දෙනාගේම වගකීමකි.

මේ සඳහා පෙරමුණ ගැනීමටත්,  ප්‍රජා අධ්‍යාපනය ලබාදීම සඳහා වැඩසටහන් තැනීමට පමණක් නොව,  ඒවායේ තිර පිටපත් සකසා, අර්ථපතිත්වය සකසා ගැනීමටද මහන්සිවීමටද අප ඉදිරිපත් වූයේ කොරෝනා වසංගතය ටද පෙරය.

අප ඒ සඳහා ඉල්ලා සිටියේ පොලිසියේ සහයෝගය පමණි.

මේ සඳහා අප සමග අත්වැල් බැඳගන්නැයි අපි ඔබගෙන් ඉතා ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමු.

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත