දැක්ම

Alochana-Editorial-Dakma

වැටහෙන නුවණ සහ අර්ථ දැක්වීම්

කොමන් සෙන්ස් (Common sense) යන ඉංග්‍රීසි යෙදුමට සමාජ විද්‍යාත්මකව භාවිත කළ හැකි යෙදුම ‘වැටහෙන නුවණ’ ලෙස ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂ ගෙනහැර දක්වයි.

මෙයට අරුත් ලෙස දක්වා ඇති අනෙකුත් යෙදුම් නම් සාමාන්‍ය ඥානය, සාමාන්‍ය දැනීම, සාමාන්‍ය බුද්ධිය යන්නයි.

ලෝක ව්‍යාප්ත කොරෝනා වසංගතය අපටද දැන් දැන් අත දිගහැර බෙදෙමින් පවතී.
වසංගතය ආ මුල් සමයේ, රටක් වශයෙන් අප ගත් ක්‍රියාමාර්ග නිසා සැලකිය යුතු කාලයක් මෙම වසංගතයේ පැතිරීම අවම තත්ත්වයක තබා ගැනීමට අපට හැකි විය.

දිනකට රෝගීන් කිහිපදෙනෙකු පමණක් මතුවන අයුරින් මෙම වෛරසයේ පැතිරීම අවම තත්ත්වයක තබා ගත් අප, මෙම සටහන තබන මොහොත වන විට දිනකට ආසාදිතයින් අට සියයකට අධික ප්‍රමාණයක් සොයා ගන්නා තත්ත්වයට අප විසින්ම පත් කරගෙන ඇත.

රෝග නිශ්චය කිරීමේ පහසුකම් ඉතාම සීමිත ප්‍රමාණයක් ඇති රටක් ලෙස අපේ රටේ මෙසේ සොයා ගන්නා රෝගීන්ට වඩා වැඩි රෝගීන් සංඛ්‍යාවක් සිටිය යුතු බව අපගේ වැටහෙන නුවණට අවබෝධ විය යුතුය.

‘නිශ්චිත ලෙස සොයා ගත් හැම රෝගියාම හඳුනාගත් පොකුරක රෝගියෙකුය’ යන මුසාව මත පදනම්ව අපි අපටම කප් ගසාගන්නා ළදරු මානසිකත්වයෙන් මිදී වැඩිහිටියන් ලෙස මෙම ප්‍රශ්නය දෙස බැලීමට කාලය එළඹ ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය කලකට පෙර නිර්ණය කරන ලද ප්‍රජා සම්ප්‍රේෂණ අර්ථ දැක්වීම අපගේ කප් ගැසීමේ මානසිකත්වය යම් කලක් ඇදගෙන යාමට භාවිතා කිරීමට හැකිවූ නමුත්, සමාජයේ වැටහෙන නුවණට එය ගෝචර නොවූ බව සමාජ මාධ්‍යයන් හරහා හුවමාරුවන පුරවැසි ලියවිලි අපට මොනවට කියා පායි.

ලෝක සෞඛ්‍ය සංවිධානය අද වනවිට කප් මානසිකත්වයට උඩගෙඩි දුන් අර්ථ කථනය අනෙක් පස හරවා, වැටහෙන නුවණින් සමාජය තේරුම් ගත් සත්‍යය අර්ථකථනගත කොට අපට ළඟාකොට ඇත.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ෆේස්බුක් පිටුවෙන් අප උපුටාගත් එහි පරිවර්තනය මෙසේය.
_____________________________________________
ප්‍රජා සම්ප්‍රේෂණය:
රෝගය සම්ප්‍රේෂණය වීම විශාල වශයෙන් සිදුවන බවට පහත සඳහන් සාධක පිළිබඳ සලකා බලමින් ද එයට සීමා නොවී ඉන් ඔබ්බට විමසමින් ද තහවුරු කරගත යුතුය. ඒ අනුව,
රෝග සම්ප්‍රේෂණ දාමයට සම්බන්ධ නොවන රෝගීන් විශාල සංඛ්‍යාවක් හඳුනාගැනීමට හැකිවීම;
අහඹු ලෙස සිදුකරන රසායනාගාර සමීක්ෂණ හරහා රෝගීන් විශාල සංඛ්‍යාවක් සොයාගැනීම ;
සහ / හෝ
එකිනෙකට සම්බන්ධයක් නැති පොකුරු රැසක් රට තුළ ප්‍රදේශ කිහිපයකින් හඳුනා ගැනීම අවධානයට ලක්කළ යුතුය.
_____________________________________________

ලෝක සෞඛ්‍ය සංවිධානය සතිපතා පලකරන කොවිඩ් 19 සතිපතා වසංගත සහ ක්‍රියාමාර්ග යාවත්කාලීන කිරීමේ වාර්තාවේ 2020 ඔක්තෝබර් 20 වැනිදා කලාපයෙන් ඔබටම මෙම අර්ථදැක්වීම කියවාගත හැකිය. 

Weekly Epidemiological and Operational updates October 2020

මෙම අර්ථ දැක්වීම් සහ දැනුම අතිශය වැදගත්ය. නමුත් මේ අර්ථදැක්වීම් හෝ දැනුම අප කිසිම උවදුරකින් ආරක්ෂා කරන්නේ නැත.
අපද, අපට සමීපතමයන්ද, සමාජයද ආරක්ෂා වන්නේ දැනුම මත පදනම් වූ විනයානුකූල චර්යාවන් අප එදිනෙදා පුරුදු බවට පත්කළ ගතහොත් පමණි.

පම්පෝරි පසෙක තබා සත්‍යයට මුහුණදිය යුතුය.

මෙම රෝගයෙන් සංකූලතා ඇතිවිය හැකි අප සමාජයේ වැඩි අවදානම් කාණ්ඩ වලට අවශ්‍ය විටෙක වෛද්‍ය ප්‍රතිකාර යුහුසුලුව ලබාදිය හැකි වන්නේ අපගේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට දැරිය හැකි පමණට රෝගීන් මතුවන මට්ටමකට රෝගයේ ව්‍යාප්තිය මන්දගාමී කරගැනීම හරහා පමණි.
රෝග ව්‍යාප්තිය ශීඝ්‍රවී සෞඛ්‍ය ක්ෂේත්‍රයට ප්‍රතිකාර කළ නොහැකි වේගයකින් රෝගීන් මතුවුව හොත්, සංකූලතා හරහා අවදානම් කාණ්ඩ වල සිදුවන මරණ වලට වගකිව යුත්තේ කවුද යන්න අප, අපගෙන්ම අසාගත යුතුය.

පම්පෝරි මෙන්ම එකිනෙකාට ඇඟිලි දිගුකර ගැනීමද නවතා, භෞතික දුරස්ථභාවය පවත්වා ගැනීම, අත් පිරිසිදු කිරීම, මුව ආවරණ නිවැරැදිව පැළඳීම, රෝග සමසම්ප්‍රේෂණය වැළැක්වෙන ලෙස සෞඛ්‍ය පුරුදු ඇතිකරගැනීම අප සැමගේම පුරවැසි වගකීම බවට සිහි එළඹවාගෙන, අප චර්යාවන් වහ වහා වෙනස් කරගත යුතුය.

නැතිනම් මෙවැනි වසංගත සමයකදී, ඔබගේ මුග්ධ අවිද්‍යාත්මක චර්යාව මිනීමරු චර්යාවක් විය හැකිය.
________________________

පසු වදන:

ඒ සඳහා අපට කළහැකි සත්කාරය ලෙස ඔබගේ නිවසේ, සේවා ස්ථානයේ, ගමන් බිමන් යාමේ, හෝටල් සහ ආපන ශාලාවන්හි එදිනෙදා වැඩ කටයුතු සහ චර්යාවන් සකසා ගත යුත්තේ කෙසේද යන උපදෙස්, උදාහරණ සහිතව වෛද්‍යවරුන් විසින් ඉදිරිපත් කෙරෙන, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමෙයේ විශේෂඥයින්ගේ මග පෙන්වීම යටතේ නිෂ්පාදිත වීඩියෝ මාලාවක් මෙම අන්තර්ජාල සඟරාව හරහා ඔබට ඉදිරිපත් කර ඇත.

https://www.alochana.lk/covid-19/

_________________________

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත