මෑත ඉතිහාසයේ අපට මුහුණ දීමට සිදුවී තිබෙන ප්රබලතම සදාචාරාත්මක අර්බුදයට අපි මේ අවස්ථාවේදී මුහුණ දෙමින් සිටින්නෙමු.
ධනය, බලය, සමාජ තත්ත්වය, ජාතිය, කුලය හෝ ආගම නොතකන ක්ෂුද්‍ර අංශුවකට අපගේ එදිනෙදා ජන ජීවිතය, අන්තර් මානව සබඳතා, ආර්ථිකය හා සමාජ ප්රගමනය සම්පූර්ණයෙන්ම අඩාල කිරීමට හැකිවී ඇත.
මෙය ලංකාවේ වසන අප පමණක් මුහුණ දෙන්නක් නොව මුළු ලෝකයම මුහුණ දෙන අභියෝගයකි.
මෙම වෛරසය දැනටමත් අප සියල්ලන්ගේම ජීවිත වලින් වසරකට ආසන්න කාලයක් පැහැරගෙන ඇත.
මෙම අභියෝගය ජය ගැනීමට තවත් මාස හෝ වසර කීපයක් ගත වීමට ඉඩ ඇත.
මෙම අභියෝගය ජය ගැනීමට හැකි වන්නේ වෛද්‍ය විද්‍යාව විසින් මේ සඳහා සොයාගනු ලබන ප්‍රතිකාරයක් හෝ සමූහ ප්‍රතිශක්තිය කඩිනමින් ඇති කිරීමට ගෙන එන එන්නතය යන ආකල්පය මත පදනම් වූ චර්යාවකට පසු බැස අනෙකාට බනිමින්, සැඟවී සිටිමින් ඇස්සට දත නියවනවාද නැතිනම් සමාජයක් ලෙස මෙයට මුහුණ දෙමින් කොරෝනා වලින් සංකූලතා ඇතිවිය හැකි වැඩි අවදානම් කණ්ඩායම් මෙන්ම අපගේ ජන ජීවිතය, අන්තර් මානව සබඳතා සහ ආර්ථිකයද රැක ගන්නාවූද නව සාධනීය චර්යා රටාවක් ගොඩනගා ගන්නවාදැයි යන්න තීරණය කරනුයේ අප මෙයට මුහුණ දීම සඳහා භාවිත කරන්නා වූ සමූහ මානසිකත්වයේ සදාචාරාත්මක පදනම මතය.
ඔබගේ චින්තනයේ සහ චර්යාවේ පදනම මානව දයාව සහ විද්‍යාවද නැතිනම් ඉහවහා ගිය ආත්මාර්ථය සහ අවිද්යාවදැයි යන්නට ලැබෙන සැබෑ පිළිතුර මත අප සමාජය මෙයින් ගොඩ ඒමේ ස්වභාවය තීරණය කරනු ඇත.
මෙම පිළිතුර මේසයක් වටා කෙරෙන කිචිබිචියකදී හෝ අඩියක් ගැසීමකදී අනෙකුන්ට ගසන කයිවාරුවක අඩංගු පිළිතුර නොව අප අපගේ හෘද සාක්ෂියටම දෙන සැබෑ පිළිතුරයි.
මෙම ජාතික මෙන්ම ගෝලීය අර්බුදයෙන් ගොඩ ඒමට ඔබව බලගැන්වීම සඳහා මග පෙන්වීමක් වශයෙන් අපට කළ හැකි සත්කාරය ලෙස මෙම විශේෂ ආලෝචනා කලාපය ඔබ වෙත ගෙන එන්නෙමු.
ශ්‍රී ලංකාවේ වෙසෙන මේ පිළිබඳ සැබෑ විශේෂඥයින්ගේ විද්‍යාත්මක මාර්ගෝපදේශ මත පදනම් වූ මෙම ඉදිරිපත් කිරීම් මාලාව, මේ ව්‍යසනයෙන් මිදීමේ මාර්ගය පෑදීමට මග පෙන්වන කුඩා හෝ ආලෝකයක් වේවා යනු අපේ පැතුමයි.