මෙවර ආලෝචනා කලාපයෙහි එක් ලිපියක් වන්නේ බ්‍රසීලයේ සන්තියාගෝ නමැති පාසල් දරුවා මුල් කරගත් වත්මන් තාක්ෂණය සහ අපගේ ඒ පිළිබඳ වූ ආකල්ප අවලෝකනයට ලක් කරන විචාරයකි.
පසුගිය කාලයෙහි සමාජ මාධ්‍ය හරහා සංසරණය වන එක් ඡායාරූපයක් වූයේ එක් පාසලක තාප්පයේ, පාසල් දරුවන් ජංගම දුරකථන භාවිතා කිරීම පිළිබඳ ලියන ලද අතිශය පසුගාමී වැකියකි.
මෙය පාසලක තාප්පයක සැබවින්ම සඳහන් වූවාදැයි ස්ථිර කරන ලද තොරතුරක් ලෙස අප වෙත නැතත්, මෙම පසුගාමී ආකල්පයට සමාජයේ කොපමණ තැනක් ලැබුණාද යන්න සමාජ මාධ්‍ය හරහා එය සංසරණය වූ වාර ගණන සහ ශීඝ්‍රතාව මත අපට උපකල්පනය කරගත හැකිය.
මේ සියල්ල මෙසේ සිදු වන අතර, ගෝලීය වසංගතයක් නිසා ශිෂ්ටාචාරයෙහි ගමන්මග වේගවත් වී තාක්ෂණය වැළඳ ගැනීමටත්, පුද්ගල දුරස්ථභාවය පවත්වා ගනිමින් සියලු සන්නිවේදන කටයුතු සඳහා දුරස්ථව භාවිතා කළ හැකියි තාක්ෂණ විධික්‍රම භාවිතයට එළැඹීමටත් අපට සිදු වී ඇත.
2019 නොවැම්බරයට පෙර වීරත්වයට නැගුණු සමහර වාක්‍ය ඛණ්ඩ ඉතා කෙටි කාලයක් තුළ අපට උදා වූ නූතනයට නැතිනම් නව සාමාන්‍යයට නොගැලපෙන මුග්ධ ප්‍රලාප බවට පත්වෙමින් ඇත.
නූතන තාක්ෂණය ගෙන දී ඇති අධිවේගී සන්නිවේදන ක්‍රමවේදයන් කිසිසේත්ම ගැටලු සහගත නොවන ඒ අයුරින්ම සහ එසැනින් බදාවැළඳ ගත යුතු ප්‍රපංචයන් යැයි අප කිසිවිට කියන්නේ නැත.
මෝටර් රථ ලොව තැනෙන්නට පටන් ගත් දා සිට, ඉන් පෙර නොතිබූ පාලන ක්‍රමවේද වලට හුරු වීමට මිනිස් ශිෂ්ටාචාරයට සිදුවිය.
පයින් යාමට පදිකවේදිකාද, වාහන සඳහා විශාල වඩාත් හොඳ මාර්ගද, ධාවනය සඳහා නිශ්චිත පැති ද, එක් එක් ප්‍රදේශ සඳහා වේග සීමා ද, තවත් කලක් ගතවී රථවාහන පාලනය උදෙසා සංඥා ලාම්පුද පමණක් නොව, සෑම රටකම පොලිස් දෙපාර්තමේන්තු වල රථවාහන අංශද නිර්මාණය කර ගැනීමට මිනිස් ශිෂ්ඨාචාරයට සිදුවිය.
තොරතුරු තාක්ෂණ විද්‍යාවේ සමාජ සංස්කෘතික පෙරළියද කිසි ලෙසකින් මෙයට වඩා නොවෙනස් බව අපගේ අදහසයි.
වත්මන් තොරතුරු තාක්ෂණ භාවිතය නියාමනය සඳහා ක්‍රමවේදයන් නිෂ්පාදනය කර ගැනීම සමාජයේ අප සියලු දෙනාගේ වගකීම බව, නව සාමාන්‍ය තුළ අන්තර්ජාලය හරහා නිවසේ සිට පාසල් අධ්‍යාපනය ලබන දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වන මෙම ලියුම්කරුගේ අදහසයි.
එසේ නොමැතිව ජංගම දුරකථනයක් අත නැති සෑම දරුවෙකු පිටුපසම බුද්ධිමත් දෙමාපියන් ඇතැයි යන ප්‍රගමන විරෝධී, අතීතකාමී, අමන ෆැන්ටසි වල එල්බීම, අප ගමනාගමනය සඳහා භාවිතා කරන බස්, කාර්, බයිසිකල් සහ අහස් යාත්‍රා උණුකර නැවත වතාවක් ගොන් කරත්ත සහ අස්ප කරත්ත සෑදිය යුතුයැයි උපකල්පනය කිරීමකට කිසි ලෙසකින් අසමාන නොවේ.
මහාමාර්ග වල ආරක්ෂාව සහිත වාහන, මාර්ග නීති, මාර්ග භාවිතය පිළිබඳ සදාචාරය, සංඥා ලාම්පු මෙන්ම මෙය අවභාවිතය කරන්නවුන් උදෙසා නීති රීති පද්ධතියක් තිබෙන්නා සේම නූතන තාක්ෂණ අධිවේගී මාර්ග භාවිතය සඳහා ද එවන් පිළිවෙතක් හඳුන්වා දිය යුතුය.
මේ සියල්ලන්ටම වඩා මෙම මාධ්‍යය සුභාවිත ලෙස හැසිරවීම පිළිබඳ සමාජමය කතිකාවක් සහ සදාචාර සීමාවන් පද්ධතියක්ද අප විසින්ම ඇතිකරගත යුතුය.