වෙජිටේරියන්ලා, බිජුටේරියන්ලා හා හොදිටේරියන්ලා

මිනිස්සු විවිධාකාරය. මේ විවිධත්වය පිටත පෙනුමෙන් පමණක් නොව ගති සොබාවන්ගෙන්ද පෙනේ. උදාහරණයට අපි මිනිසුන්ගේ කෑම බීම ගැන බලමු. කෑම බීම අතුරෙනුත් එළවළු, මස්, මාළු, බිත්තර ආදිය පිළිබඳ මිනිසුන්ගේ පුරුදු ගැන බලමු.

සමහර මිනිස්සු එළවළු පමණක් කති. ඔවුහු මස්, මාළු, බිත්තර ආදී සත්ත්ව ආහාර කිසිවක් නොකති. ඉංග්‍රීසියෙන් වෙජිටේරියන් කියන්නේ මේ වගේ අයටයි.

සමහරු මස්, මාළු නොකතත් බිත්තර කති. මේ වගේ අයට බිජුටේරියන් කියා කියති. මස්, මාළු නොකන මුත් මස් මාළුවල හොදි පමණක් කන අයට හොඳම නම හොදිටේරියන්ය.

මගේ හොඳ යාලුවෙකුගෙන් මම “මස් මාළු කනවාදැ”යි ඇසුවෙමි.

“මේසයි, පුටුයි හැරෙන්න කකුල් හතරේ හැමදෙයක්ම කනවා” ඔහු කීවේය. ඔහු ෆුල් මාංශ භක්‍ෂිකයෙකි.

මස්, මාළු කන අයගෙන් මාළු පමණක් කන ෆිෂ්ටේරියන්ලාද සිටිති. මේ වගේ අය අතුරෙන් අපි වගේ කීයක් හරි හොයාගන්නා අය සාලයෝ, කාරල්ලො වගේ පොඩි මාළු කන සිම්පල් ෆිෂ්ටේරියන්ලාය. ඇත්තෝ තෝරමාළු කති. නැත්තෝ තෝරමාළුවල ගණන් අසා ලාග්ගෝ පන්සියයක් ගෙනයන්නේ ලාග්ගෝ හොඳ මාළුවක් නිසාය.

මස් කන සමහරු හරක් මස් නොකති. හරකුන් බෞද්ධ නැත්නම් හින්දු යැයි ඔවුහු සිතාගෙන සිටිති. මේ අය එළු, ඌරු, කුකුල් මස් නොකති.

“මුව මස් කන්න ආසයි. ඒත් සතා මතක් වෙනකොට දුක හිතෙනවා” මගේ මිතුරු උපාසක අම්මා කෙනෙක් කීවාය.

“මේකට ඉංග්‍රීසි විදියට මස් කෑවාම හොඳයි” මම කීවෙමි.

“ඉංග්‍රීසි විදියට මස් කන්නෙ කොහොමද?” ඇය ඇසුවාය.

“සතා මතක් වුණාම දුක හිතෙන හින්දා ඉංග්‍රීසි විදියට මස් කනකොට හරකා නැත්නම් එළදෙන මතක් වෙනවා. ඒ හින්දා කව් මීට් නැත්නම් බුල් මීට් කියන්නෙ නැතුව බීෆ් කියනවා. මුවා මතක් වෙනකොට දුක හිතෙන හින්දා ඩියර් මීට් කියන්නෙ නැතුව වෙනිසන් කියනවා. එළුමස්වලට කියන්නේ මට්න්. ඌරු මස්වලට කියන්නේ පෝක්. කුකුල් මස්වලට කියන්නේ චිකන්” මම කීවෙමි.

ඔබත් පව් සිද්ධ නොකරගෙන ඉරටුවෙන් ආඳා මාළු කන්නා වගේ මස් කන්න කැමැති නම් ඔබටත් ඉංග්‍රීසි විදියට මස් කන්න පුළුවන්.

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත