බම්බුවේ නිදහස

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

අපේ රටේ පාලකයින් නිදහස් දිනය ලෙස සලකනු ලබන්නේත්, උත්සවශ්‍රීයෙන් සමරනු ලබන්නේත්  බ්‍රිතාන්‍යයන් ලංකාවට ඩොමීනියන් තත්ත්වයේ නිදහසක් ලබා දුන් දිනය නොවැ. කොටින්ම කියනවා නම් තමන් බලය පාවිච්චි කොට අල්වා ගත් රටක කොම්ප්‍රදෝරු ධනපති පංතිය වෙත බලය හුවමාරු කළ දවස. මේ ඊනියා නිදහස ගැන නොලියාම බැහැ.

1947 පෙබරවාරි හතර වන දා මෙම ඩොමීනියන් තත්ත්වයේ නිදහස එවකට පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව උත්සවාකාරයෙන් සැමරුවා. ඒ අතර 1972 වසරේ මැයි 22 දා ලංකාව ඩොමීනියන් තත්ත්වයේ නිදහසින් සම්පූර්ණයෙන් ඉවත් වී ජනරජයක් බවට පත් වුණාට ඊට මූලික වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු පවා උනන්දු වුණේ මේ ඊනියා නිදහස් දිනය සැමරීමටයි. ඒ අනුව ජනරජ දිනයට වඩා උත්කර්ෂවත්ව සමරනු ලබන්නේ ඩොමීනියන් නිදහස දිනා ගත් දවසයි.

නමුත් සේතුවා නම් එදත් අදත් විශ්වාස කරන්නේ යටත් විජිත පාලනය මුළුමනින්ම බිඳ දමා සත්‍ය වශයෙන්ම ලංකාව නිදහස්‌ රටක්‌ බවට පත්කරන ලද්දේ 1972 ජනරජ ව්‍යවස්‌ථාවෙන් බවයි.

ඉන්දියානුවෝ ජීවිත පරිත්‍යාග කරමින් ඉංග්‍රීසීන්ට විරුද්ධව මහසටනක්‌ ගෙන ගිය නිසා 1947 දී ඉන්දියාව අතහැර යැමට ඉංග්‍රීසීන්ට සිදු වුණත් ලංකාවේ එවන් සටන් ඇතිවුණේ නැහැ. ලාංකිකයා තුළ වන නිවටකම අද මෙන්ම එදත් හොඳින් ප්‍රකට වුණා.

එංගලන්තයේ අධ්‍යාපනයක්‌ ලබා දුන්නත් ගාන්ධිලා “හිස්‌ මාස්‌ටර්ස්‌ වොයිස්‌” වූයේ නැහැ. තමන්ට ලැදි සුවච කීකරු ගෝලයන් ඉන්දියාවෙන් බිහි කිරීමට එංගලන්ත අධ්‍යාපනය මෙන්ම වෙනත් වරප්‍රසාද සමත් වූයේත් නැහැ. ඉන්දියාවෙන් පාඩම් ඉගෙනගත් ඉංග්‍රීසීන් අරගලයක්‌ නැතත් ලංකාවේද නිදහස අපේක්‍ෂා කරන අය සිටින බව දැනසිටි නිසාත්, 1818 හා 1848 වැනි විමුක්‌ති අරගලවල බරපතළකම ගැන දැන සිටි නිසාත් තමන්ට හිතවත් ගෝලබාලයන් අතට ලංකාවේ සීමිත පාලන බලයක්‌ ලබාදීම වඩාත් මැනවැයි අදහස්‌ කළා.

1948 දී ඩොමිනියන් තත්ත්වයේ නිදහස බන්දේසියක තබා ලංකාවට ප්‍රදානය කරන ලද්දේ “ඉල්ලුවොත් දෙන බවට” ඉංග්‍රීසීන් විසින් කරන ඉඟිය අනුව ලාංකික ප්‍රභූවරුන් නිදහස ඉල්ලා කළ කාරුණික ආයාචනය අනුව ඉංග්‍රීසි බස, සිරිත් විරිත් හා ඇඳුම් පැළඳුම් අතහැර ගාන්ධිලා මෙන් නොහැසිරේ යයි සිතෙන ලාංකිකයන්ට මේ නිදහස භුක්‌ති විඳීමේ භාරකාරකත්වය පැවරීමට යටත් විජිතවාදී කපටියා කටයුතු සැලසුම් කරමිනුයි.

නිකම් ලැබෙන අශ්වයාගේ දත් බලන්නේ මොකටදැයි සිතූ ලාංකික ප්‍රභූවරු දෙන දෙය භාරගෙන තෘප්තිමත් වී ලැබෙන “නිදහසේ” අඩුපාඩු ගැන කිසිවක්‌ සාමාන්‍ය ජනතාවට දැන්වූයේ නැහැ. මේ ඩොමීනියන් නිදහස ලැබුණ 1948 සිට 1972 වනතුරුත් ලංකාවේ රජු වූයේ ඉංග්‍රීසි රජුම තමයි.

1948 නිදහස් දින උත්සවයේදී ගායනා වූ ජාතික ගීය වූයේ “ශ්‍රී ලංකා මාතා පාලා යස මහිමා ජය ජය” යන ජාතික ගීයයි. එය පී.බී. ඉලංගසිංහ නොතාරිස් විසින් රචනා කරන ලද අතර සංගීතවත් කළේ ලයනල් එදිරිසිංහයි. එම ජාතික ගීය ගායනා කිරීම එදිනට සීමා වූ අතර ආනන්ද සමරකෝන් රචනා කර සංගීතවත් කරමින් ස්වර්ණ ද සිල්වා ගයනා කරන ලද “නමෝ නමෝ මාතා” ජාතික ගීය ලෙස පිළිගෙන ගායනා කරන ලද්දේ 1949 දෙවන නිදහස් දින උත්සවයේ සිටයි.

නිදහස් උත්සව මාලාවේ ප්‍රධාන ආරාධිතයා වූයේ එංගලන්තයේ 6 වැනි ජෝර්ජ් රජුගේ බාල සොහොයුරා වූ ග්ලෝස්ටර් ආදි පාද තුමා නොහොත් හෙන්රි කුමාරයායි. 

එතෙක් කල් බ්‍රිතාන්‍ය කිරීටයේ ඉහළම නියෝජිතයා ලෙස මෙරට සේවය කළේ ආණ්ඩුකාරවරයායි. නව ආණ්ඩුක්‍රමය යටතේ ආණ්ඩුකාර ධූරය අහෝසි කළ අතර නව තනතුරක් ලෙස අග‍්‍රාණ්ඩුකාර ධූරය ස්ථාපිත කළා. එය හුදෙක් නාමමාත්‍රික තනතුරක් ලෙස හඳුන්වා දී තිබූ අතර එම තනතුරේ කටයුතු මෙහෙයවීමේ දී සෑම විටම අගමැතිවරයාගේ උපදෙස් මත ක්‍රියා කළ යුතු බවට තීන්දු වුණා.

නිදහස් දා පළමුවෙන්ම සිද්ධ වුණේ මෙරට ප්‍රථම අග‍්‍රාණ්ඩුකාරවරයා ලෙස සර් හෙන්රි මන්ක් මේසන් මුවර් දිවුරුම් දීමයි. ඔහු දිවුරුම් දුන්නේ එවකට අග්‍ර විනිශ්චකාරවරයා වූ සර් ජෝන් හොවාර්ඩ් ඉදිරියේයි. සේරම දෙනා සුද්දෝ තමයි.

1948 නිදහස සැමරීම සඳහා පෙබරවාරි 04 තෝරා ගැනීමත් සෝපාහාසාත්මක සිද්ධියක්. එදා ඔවුන්ට මේ සඳහා කිසියම් දිනයක්‌ අවශ්‍ය වුණා. මේ පනත සකස්‌ කිරීමට දායක වූ අයිවර් ජෙනිංග්ස්‌, ඩී. එස්‌. සේනානායකගේ අනුශාසකයා වූ බව ප්‍රකටයි. හිතවත් ගුරුවරයාට ඩී. එස්‌. තුළ වූ භක්‌තිය නිසාම ජෙනිංග්ස්‌ ගේ බිරියගේ උපන්දිනය වන පෙබරවාරි 04 දින මේ සඳහා යොදමු යයි යෝජනා කළේ ඩී. එස්‌. මයි. 

කොහොමද කළු සුද්දන් තම ස්වාමියාට දැක්වූ හිතෛෂී බව? වාල්දිය දෙපරැන්ද අස්සේ ගසා ගත් ඊනියා සිංහල නායකයින් ලෙස පාලක පැළැන්තිය අදත් ගරු බුහුමන් දක්වන්නේ මෙවන් භ්‍රෂ්ටයින්ටයි. තාමත් ඔවුන්ගේ පිළිම වලට ඊනියා නිදහස් දිනයේ මල්මාලා දමන්නේ වත්මන් පාලකයින්ගේ යටත්විජිත මානසිකත්වය නිසාමයි.

1948 ප්‍රථම “නිදහස්‌ උත්සවය” ගැන ඇසූ රස කථාවක්‌ සේතුවාට මතක් වෙනවා. පළමුවෙන්ම ජාතික ගීය වාදනයකර ජාතික කොඩිය එසවීමේ වේලාව යෙදී තිබුණේ මධ්‍යාහ්නයේදී. එකල රූපවාහිනී නොතිබූ හෙයින් ලක්‍ෂ සංඛ්‍යාත ජනකායක්‌ ගුවන් විදුලි යන්ත්‍ර වටා රොක්‌වී විස්‌තර ශ්‍රවණය කරන්නට පුල පුලා බලා සිටියා. “රේඩියෝ සිලෝන්” ආයතනයේ ඔර්ලෝසුවේ නියමිත වේලාව වැදෙනු ඔවුන් අසා සිටියා. එහෙත් ඉන්පසු කිසිදු ශබ්දයක්‌ ඇසුණේ නැහැ. නොයිවසිලිමත් ශ්‍රාවකයින් විදුලිය විසන්ධිවීමක්‌ හෝ වෙනත් ආබාධයක්‌ දැයි තම ගුවන් විදුලි යන්ත්‍ර වල බොත්තම් ඔබා බලන්නටද වුණා. උන්හිටිගමන් සුද්දෙක්‌ බෙරිහන් දෙනු ඇසුණා.

වෙයාර් ඉස්‌ දිස්‌ බ්ලැඩි රෙකෝඩ් ?”

ඊනියා නිදහස්‌ උත්සවයේ ජාතික ගී තැටිය භාරව සිටියේත් සුද්දෙක්. එදා ප්‍රථමයෙන්ම නැකතට අපට ඇසුනේ “මළ ඉලව්ව” හෙවත් “බ්ලැඩි” යන වචනයයි. රටම මළ ඉලව්වක් වෙන්නට ඒ ආරම්භයම හොඳටම ඇති නොවැ.

-සේතුවා

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Ad
වර්ගීකරණය
කර්තෘ
සංරක්‍ෂිත