අඟුරු කකා ලයිට් පත්තු කරනවාද?

මෙය ලියන මොහොතේ දීත්  වසරක් තුළ ලොවපුරා  කාබන්ඩයොක්සයිඩ්(CO2) වාතය ටොන් බිලියන තිස් හයක් (36) පමණ  වායුගෝලයට මුදා හරිමින් සිටින අතර ගෝලීය උෂ්ණත්වය දිනෙන් දින ඉහළ යමින් පවතී.  වර්තමානයේ මෙම දේශගුණික විපර්යාස මත පදනම් වූ පාරිසරික ගැටලු රාශියකට  අප මුහුණ  දෙමින් සිටියදී අනෙක් පසින්  බලශක්තිය සඳහා ඇති ඉල්ලුම දිනෙන් දින ඉහළ යමින් පවතී.

කාර්මික විප්ලවයට පෙර ලෝකයේ බලශක්ති අවශ්‍යතාව සීමාසහිත වූ අතර  කාර්මික විප්ලවයත් සමග ලෝකයේ බලශක්ති අවශ්‍යතාව සීග්‍රයෙන් ඉහළ යනලදී.  මෙම බලශක්ති ඉල්ලුම සපුරාලීමට ලාභදායීම ක්‍රමය වූයේ පොසිල ඉන්ධන යොදා ගෙන බලශක්තිය නිපදවීමයි. මේ හේතුවෙන් පොසිල ඉන්ධන නිෂ්පාදනය කළ හැකි රටවල් දිනෙන් දින ඉතා ධනවත් වූ අතර පොසිල ඉන්ධන යොදා ගෙන නිපදවා ගත් බලශක්තියෙන් කාර්මීකරණය වූ රටවල් ලෝක ආර්ථික බලවතුන් ලෙස  ඉදිරියට පැමිණෙන ලදී.

මෑතක් වන තුරු පොසිල ඉන්ධන භාවිතයෙන් අප සිදු කරන පරිසර හානිය පිළිබඳ  අප හට හොඳ තක්සේරුවක් නොතිබුණු අතර ඒ සම්බන්ධව ලෝක ආර්ථික සමීකරණය තුළ කිසිදු ඉඩක් හිමිව තිබුණේ නැත. මේ නිසා අද වන විට ගෝලිය කාබන්ඩයොක්සයිඩ් විමෝචනයෙන් සියයට හැත්තෑවක් (70%) පමණ ප්‍රතිශතයක්  චීනය, ඇමරිකා එක්සත් ජනපදය යුරෝපා සංගමය, ඉන්දියාව සහ රුසියාව යන කාර්මික රටවල් විසින් සිදු කරනු ලබයි.

2015 දී අත්සන් කෙරුණු පැරිස් සම්මුතිය සමඟ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සෙල්සියස් අංශක දෙකකට අඩු අගයක පවත්වා ගැනීම සඳහා ලෝක නායකයන් අතර සම්මුතියක් ඇති වුනි.  මේ සම්මුතිය අනුව 2030 වසර වන විට බොහෝ රටවල හරිතාගාර වායු විමෝචනය  විශාල ප්‍රමාණ වලින් කපා හැරීම සිදුවී තිබෙනවා.  උදාහරණයක් වශයෙන් 2030 වන විට චීනය එහි හරිතාගාර වායු විමෝචනය 65% කින් පමණ කපා දැමීය යුතු අතර ඇමරිකා එක්සත් ජනපදයෙහි අගය 26% ක්.

ලෝකයේ බොහෝ රටවල් මෙම ඉලක්කය සපුරා ගැනීමට  සඳහා බලශක්ති නිෂ්පාදනය පොසිල ඉන්ධන වල සිට  පුනර්ජනනීය බලශක්ති ප්‍රභව වෙතට වෙනස් කරමින් පවතිනවා.  එහෙයින් ලෝකයේ අනාගත බලශක්ති සැපයුම වර්තමානයට වඩා වෙනස්  මුහුණුවරක් ගැනීමට නියමිතයි. පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ලෙස ලෝකයේ දැනට වඩාත් කතාබහට ලක් බලශක්ති ප්‍රභවයත් කිහිපයක්ම තිබෙන අතර  සුළං බලය, සූර්ය බලය සහ න්‍යෂ්ටික බලශක්තිය මෙයින්  වඩාත් ප්‍රමුඛ බලශක්ති ප්‍රභවයන්.

මේ වන විට ඩෙන්මාර්කයේ බලශක්තිය අවශ්‍යතාවෙන් සියයට 47 සපයා ගන්නේ  සුළං ටර්බයිම හරහා අතර 2030 දී ඩෙන්මාර්කයේ බලශක්ති අවශ්‍යතාවයෙන් සියයට සියයක්ම (100%)  පුනර්ජනනීය බලශක්ති ප්‍රභව හරහා ලබාගැනීමට ඩෙන්මාර්කය දැනටමත් සැලසුම් සකස් කර අවසන්. මේ වන විට වෙරළ බඩ  මුහුදු සීමාවේ ඉදිකරන සුළං ටර්බයිම හරහා විදුලිය නිපදවීම ලොව පුරා ජනප්‍රිය වෙමින් පවතිනවා. ශ්‍රී ලංකාවේ බලශක්ති සැපයුම  වෙත සුළං බලය හරහා ලැබෙන ප්‍රතිශතය 0.23% පමණ ප්‍රමාණයක්.

පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් අතරෙන් වඩාත් විවාදයට ලක්වූ බලශක්ති ප්‍රභවය වන්නේ න්‍යෂ්ටික බලය යි. හරිතාගාර වායු විමෝචනය නො කරමින් බලශක්තිය නිපදවීමට ඇති හැකියාව න්‍යෂ්ටික බලශක්තිය සම්බන්ධයෙන් ධනාත්මක ලක්ෂණයක් වුවත් ඒ හා බැදි පවතින ගැටලු රාශියක් තිබෙනවා.

වර්තමානයේ දී න්‍යෂ්ටික බලය නිපදවීම සඳහා භාවිතා කරන්නේ න්‍යෂ්ටික විඛණ්ඩනය (Nuclear fission) ක්‍රියාවලිය වන අතර  මෙය ඉතා සූක්ෂ්ම ලෙස පාලිත තත්ත්ව යටතේ සිදුකළ යුතු අතර න්‍යෂ්ටික විඛණ්ඩන ක්‍රියාවලිය පාලනය කිරීම තරමක් අසීරු කාර්යයක්. න්‍යෂ්ටික විඛණ්ඩනය  සඳහා යොදා ගත යුතු විකිරණශීලී මූලද්‍රව්‍ය සපයා ගැනීම මෙන්ම න්‍යෂ්ටික විඛණ්ඩනයේ අතුරුඵල ලෙස නිපදවෙන විකිරණශීලි අපද්‍රව්‍ය ආරක්ෂාකාරීව බැහැර කිරීමට ඇති ගැටලුද මෙය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් ලෙස භාවිතා කිරීමක් ප්‍රශ්නකාරී බවට පත් කොට තිබෙනවා.

න්‍යෂ්ටික විඛණ්ඩනයේ (Nuclear fission) දී විකිරණශීලී මුල දුව්‍ය පරමාණු වෙනත් මූලද්‍රව්‍ය පරමාණූ බවට බිදවැටීමේදී නිපදවෙන ශක්තිය යොදාගන්නා අතර න්‍යෂ්ටික තාක්ෂණය හරහා ශක්තිය නිපදවීමට භාවිතා කළ හැකි අනෙක් ක්‍රියාවලිය වන න්‍යෂ්ටික විලයන ක්‍රියාවලියේදී පරමාණු දෙකක් එක් කොට වෙනත් පරමාණුවක් නිර්මාණය කිරීමේ දී නිපදවෙන ශක්තිය භාවිතා කිරීම සිදුකරණවා. මෙහි දී විකිරණශීලී මූලද්‍රව්‍ය භාවිතා කිරීමට සිදුනොවන අතර ඒහි ප්‍රතිඵල ලෙස විකිරණශීලී මූලද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම ද සිදු වන්නේ නැහැ. ලෝකය පුරා මේ වන විට න්‍යෂ්ටික විලයනය මගින් බලශක්තිය නිපදවීම කෙරෙහි පර්යේෂණ සිදු කරමින් පවතින අතර ආර්ථික වශයෙන් ලාබ ලාභදායී ලෙස විලයන ප්‍රතික්‍රියාවන් හරහා ශක්තිය නිපදවීමට අපට තවමත් හැකියාවක් නැහැ. එහෙත් අනාගතයේදී විලයනය හරහා ආර්ථිකව ලාභදායී ලෙස බලශක්තිය නිපදවිය හැකි වුවහොත් ලෝකයේ බලශක්ති නිෂ්පාදනය වර්තමානයට වඩා වෙසෙසින් වෙනස් වනු ඇති අතර එය ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පාලනය කිරීම සඳහා ඉතා දැඩි බලපෑමක් සිදු කරනු ඇති.පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් අතරින් වඩාත් සුලබ මෙන්ම වඩාත් ආකර්ෂණීය බලශක්ති ප්‍රභවය වන්නේ සූර්ය බලයයි. වර්තමානයේ සූර්ය පැනල වල මිල ඉතා සීඝ්‍රයෙන් පහළ යාම නිසා බලශක්ති ප්‍රභවයක් වශයෙන් ඒවා යොදා ගැනීම ජනප්‍රිය වෙමින් පවතිනවා. වාණිජ වශයෙන් බලශක්තිය නිපදවන සූර්ය පැනල මෙන්ම නිවාස ආශ්‍රිතව සූර්ය පැනල යොදා ගෙන විදුලිය නිපදවීම ද ලෝකය පුරා ශීඝ්‍රයෙන් පැතිරෙනවා.

සූර්යාලෝකය භාවිතයෙන් සූර්ය බලශක්තිය භාවිතා කිරීමේ ඇති ප්‍රධානතම ගැටලුව වන්නේ බලශක්ති අවශ්‍යතාවය වැඩිම වන රාත්‍රී කාලයේ දී ශක්තිය නිපදවීමට ඇති නොහැකියාවයි. මේ නිසා දිවා කාලයේ නිපදවන ශක්තිය ගබඩාකර නැවත රාත්‍රී කාලය සඳහා භාවිතා කිරීමට සිදු වෙනවා. ඒ සඳහා වර්තමානයේ ජනප්‍රියම ක්‍රමය වන්නේ ලිතියම් අයන් (lithium-ion )බැටරි භාවිතා කිරීමයි. වර්තමානය වන විට ලිතියම් අයන් (lithium-ion ) බැටරි වල නිෂ්පාදන මිල සීග්‍රයෙන් අඩු වීම නිසා සූර්ය බලශක්ති පැනල කට්ටල සමග බැටරි පද්ධති භාවිතා කොට අවශ්‍ය විදුලිය ගබඩා කර ගැනීම ආර්ථිකව ලාභදායී වෙමින් පවතිනවා. ටෙස්ලා සමාගමට අනුබද්ධ වූ සෝලා සිටී සමාගම මගින් මේ වන විට වහළ සෙවිලි කිරීමට භාවිතා කරන සාම්ප්‍රදායික අමුද්‍රව්‍ය ආකාරයේ ම පෙනුම ඇති සූර්ය පැනල නිෂ්පාදනය කොට බෙදා හැරීම සිදු කරනු ලබනවා. එසේම ලෝකය පුරාම ඇති බොහෝ ආයතන මගින් ලිතියම්-අයන් බැටරි වෙනුවට වෙනත් ආදේශක ලෙස භාවිතා කළ හැකි බලශක්ති ගබඩා කරන පද්ධති පිළිබඳ පර්යේෂණ සිදු කරනු ලබනවා. මෙම බලශක්ති ගබඩා කිරීමේ ක්‍රමවේද, ද්‍රව බැටරි වල සිට ගුරුත්වය යොදා ගෙන යාන්ත්‍රික ලෙස බල ශක්තිය ගබඩා කළ හැකි යාන්ත්‍රික බැටරි පද්ධති දක්වා පරාසයක විහිදී පවතිනවා.

ඕනෑම බලශක්ති ප්‍රභවයක් පාරිභෝගිකයෙක් අතර ව්‍යාප්ත වනවාද නැත්ද යන්න තීරණය කරන ප්‍රධාන සාධකය වන්නේ එය සඳහා පාරිභෝගිකයාට දැරීමට සිදු වන පිරිවැයයි. විද්‍යවේ හා තාක්ෂණයේ දියුණුවත් සමග ඇතිවන නව නිපැයුම් මගින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ආශ්‍රිත යෙදවීම් වලට වැය කළ යුතු පිරිවැය දිනෙන් දින පහළට යනු ඇති.

වර්තමාන ශ්‍රී ලංකාවේ බලශක්ති සැපයුම 45% ක් පමණ ගල් අඟුරු බලාගාර මගින් නිපදවන අතර 34% ක් පමණ ඩීසල් බලාගාර මගින් නිපදවනු ලබනවා. පැරිස් සම්මුතිය හේතුවෙන් බොහෝමයක් රටවලට මේ වන විට තමන්ගේ බලශක්ති අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමුවීමට සිදුවී ඇති මේ මොහොතේ අප වැනි රටවලට ද පුනර්ජනනීය බලශක්ති ප්‍රරභවයන් ගැන වෙනස්ම අයුරකින් සිතීමට මේ සුදුසුම කාලයයි.

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත