ටික් ටොක් වීරයන්ට වඩා විද්‍යා විරුවන්ගේ අවශ්‍යතාව තදින් දැනෙමින් පවතී

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

සත්ත්ව විශේෂයක් වශයෙන් මිනිස් අප සුවිශේෂී වීමට කාරණා වන එක් හේතුවක් වන්නේ ගවේෂණයට ඇති අපගේ ළැදියාවයි. පෘථිවි ගෝලයේ  විශාල පරිමාණයක් ගවේෂණයට ලක් නොවී තිබූ අතීතයේ  ජීවත් වූ නිර්භීත ගවේෂකයින් විසින් තම ජීවිත පරදුවට තබා සිදු කළ ගවේෂණයන්හි ප්‍රතිඵල ලෙස අද වන විට පෘථිවියේ සෑම අස්සක් මුල්ලක් නෑරම  සුළුවෙන් හෝ ගවේෂණය කොට අවසන්.  මිහිතලය ගවේෂණයෙන් ඇරැඹි  මෙම ගවේෂණය, අභ්‍යවකාශ යුගයක් සමග චන්ද්‍ර ගවේෂණය දෙසට යොමු වුණා. සාර්ථක ලෙස චන්ද්‍රයා මත ගොඩ බැසීමෙන් පසු මිනිස් වර්ගයාගේ ඊළඟ ගවේෂණ ඉලක්කය වූයේ සෞරග්‍රහ මණ්ඩලයේ ඇති අනෙකුත් ග්‍රහලෝකයි.  

මිනිස් වර්ගයාගේ සෞරග්‍රහ මණ්ඩල ගවේෂණය තවත් සාර්ථක අදියරක් ලෙස මෙම පෙබරවාරි 18 වැනිදා නාසා ආයතනය මගින් ගුවන් ගත කරන ලද  පර්සිවරන්ස් රෝවරය (Perseverance rover)  අඟහරු ග්‍රහයා මත ඇති ජෙසේරෝ ආවාටය (Jezero Crater)  මත සාර්ථකව ගොඩ බැසීමට යෙදුණා.  මෙය අඟහරු ග්‍රහයා මත  සාර්ථකව ගොඩබසින ලද නමවන ස්වයංක්‍රීය යානාවයි.  පර්සිවරන්ස් රෝවරය අඟහරු මත අවම වශයෙන් අඟහරු වර්ෂයක් එනම් පෘථිවි දින වලින් දින 687 වත් රැඳී සිටීමට නියමිතයි.

පර්සිවරන්ස් ගවේෂණය අපට කිහිප අතකින් වැදගත් වනවා.  ගවේෂණයේ මූලික අරමුණ වන්නේ අඟහරු ග්‍රහයා මත  කවදා හෝ ජීවයක් පැවතුණා ද යන්න පිළිබඳ නිගමනය කිරීම සඳහා  අවශ්‍ය වන පාෂාණ සාම්පල එකතු කිරීමයි. මෙහිදී රෝවරය මගින් ස්වයංක්‍රීයව ජෙසේරෝ ආවාටය විවිධ ස්ථාන වලින්  පාෂාණ සාම්පල ලබාගෙන  ඒවා පසුව ගුවන් ගත කරන ලද යානයක් මගින් පෘථිවිය වෙත නැවත ගෙන්වාගෙන පරික්ෂා කිරීමට නියමිතයි . 

රෝවරය ගොඩ බැසීමට යොදා ගත් ජෙසේරෝ ආවාටය  මීට වසර බිලියන 3.5 කට පමණ පෙර උණුසුම් ජලය පිරැණු විලක් ලෙස පැවති බව විද්‍යාඥයන්ගේ මතයයි‍. අපගේ පෘථිවිය ද මීට වසර බිලියන 3.5 කට පමණ කාලයකට ඉහතදී, එනම් පෘථිවිය මත ජීවය ආරම්භ වූ යුගයේ දී  පැවැතියේද මීට ආසන්න පාරිසරික තත්ත්වයකයි. එම පාරිසරික තත්ත්වයන් යටතේ පෘථිවිය මත ජීවය ඇති වූවා නම් අඟහරු ග්‍රහයා මත ද ජීවයක් ඇති වී නැතිව යන්නට ඉඩ ඇතැයි විද්‍යාඥයින් සැක පහළ කරනවා. පර්සිවරන්ස් මගින් ලබා ගන්නා පාෂාණ සාම්පල වල  ක්ෂුද්‍ර ජීවී පොසිලයක් හෝ හමුවුවහොත් විශ්වයේ  පැවති එකම ජීවය අප යයි යන මතයේ අවසානයද එතැනින් එළැඹීමට නියමිතයි. 

මෙම වැඩසටහනේ තවත් අරමුණක් වන්නේ අගහරු ග්‍රහයා ගේ ඇති තුනී වායුගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් වාතය යොදා ගෙන ඔක්සිජන් වාතය නිපදවීම සඳහා නිපදවා ඇති යන්ත්‍රයක ක්‍රියාකාරීත්වය පරික්ෂා කිරීමයි.  මෙය අනාගතයේ දී අඟහරු ග්‍රහයා ජනාවාස කිරීම සඳහා සැලසුම්කර ඇති වැඩසටහන සඳහා ඉතා වැදගත්.

නාසා ආයතනය මෙන්ම SpaceX වැනි පෞද්ගලික ආයතන ද මේ වන විට අඟහරු ග්‍රහයා ජනාවාස කිරීම සඳහා සියලු සැකසුම් සකස් කොට අවසන්.  මෙම ආයතන වල සැලසුම් අනුව අප අඟහරු ග්‍රහයා ජනාවාස කිරීම 2035 වැනි ඉතා මෑතකදී ආරම්භ  කිරීමට නියමිතයි.  එසේම අඟහරු වල වර්ෂ 2050 වන විට   පෘථිවියේ සහයෝගයෙන් තොරව ක්‍රියාත්මක විය හැකි විශාල නගර ඉදිකිරීමට කිරීමට ද  නියමිතයි. 

ලෝකයේ එක් කොනක සිටින අප වැනිම මිනිසුන් පිරිසක් අප බහු ග්‍රහලෝක වාසි විශේෂයක් කිරීමට වැඩ කටයුතු කරමින් සිටින අතර, අප අපගේ අනාගත පරපුර තාක්ෂණයෙන් ඈත් කරමින් සහ තාක්ෂණය කෙරෙහි බිය වද්දමින් සිටිනවා. බටහිර දරුවන් අඟහරු ගවේෂණය කිරීමට සිහින දකිද්දී අපගේ දරුවන්  ටික් ටොක් මිලියනපතියන් වීමට හීන දකිනවා.  බටහිර දරුවන් අධ්‍යාපනය ඔස්සේ  යාවත්කාලීන විෂයය මාලා හරහා නව දැනුම ලබා ගනිද්දී  අපගේ දරුවන් දකින්නේ විධිමත් අධ්‍යාපනය සතයක් නොවටින්නේ ඇයි කියනා සාමාජ මාධ්‍ය ඔස්සේ පුම්බන දුක දිනා ජයගත් හපනුන්ය. 

දැනටමත් සමූල නෂ්ඨවීම් පහකට මුහුණ දී ඇති පෘථිවිය දේශගුණික විපර්යාසය නිසා හයවැනි නෂ්ඨවීම සඳහාද ශීඝ්‍රයෙන් ළඟා වෙමින් පවතිද්දී  අපට ටික් ටොක් වීරයන්ට වඩා  විද්‍යා විරුවන්ගේ අවශ්‍යතාව තදින් දැනෙමින් පවතිනවා.

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Ad
වර්ගීකරණය
කර්තෘ
සංරක්‍ෂිත