එඩිතර නෞකාවෙන් උතුරේ ආවේක්ෂණ කලාපයට

Anchor-alochana-column

මා සහායක ඉන්ජිනේරු නිලධාරියා ලෙස “එඩිතර” නෞකාවට අනුයුක්ත කොට ඇති බවට නිකුත් වූ සංඥාවට අනුව ඒ වන විට නැව සංචාරය කරන්නේ කොහේදැයි සොයා බැලුවා.

මුල් වතාවේ මුහුදු පුහුණුව සඳහා “එඩිතර” නෞකාවට අනුයුක්ත කළ විට මට “ජයසාගර” නෞකාවට නැගී උතුරු මුහුදේ ආවේක්ෂණ කලාපයට ගොස් “එඩිතර” නෞකාවට ගොඩවීමට සිදු වූ අයුරු  ඒ මොහොතේ මට සිහිපත් වුණා.

ඒ වනවිට “එඩිතර” ත්‍රිකුණාමලයේ නාවික තටාංගනයේ ජැටියක නවතා තිබුණේ සති තුනක කාලයක් සඳහා උතුරු මුහුදේ සංචාරය කිරීමේ අභිලාෂයෙනුයි. නැව පිටත්වීමට නියමිතව තිබුණේ සංඥාව ලැබී තවත් දින දෙකකට පසුවයි.

නාවික ජීවිතයේ පණිවිඩ හා නිවේදන නිකුත් කරනු ලැබුවේ සිග්නල් (signal) නැතහොත් සංඥා  වලිනුයි.  සෑම මොහොතකම ලැබෙන සිග්නල් පිළිබඳ සංඥා නිලධාරියා අවධනයෙන් පසුවිය යුතු වුණා.

අද මෙන් විද්‍යුත් තැපෑල භාවිතයේ නොතිබුණ 80 දශකයේ අග භාගයේදී නාවික පණිවිඩ නිකුත් කෙරුණේ රේඩියෝ සංඥා මගිනුයි. HF ( High Frequency) පරාසයකින් මේ සංඥා නිකුත් වුණා.

නාවික සංචාරයේදී සිග්නල් කියවීමට, ලියාගැනීමට හා නිකුත් කිරීමට මා හුරු වූයේ “එඩිතර” නෞකාවේ සේවය කරන කාලයේදීයි.

ඒ වන විට මෝස් කෝඩ් කෙමෙන් අභාවයට යමින් තිබුණත් මෝස් කෝඩ් භාවිතා කරන අයුරු අප ඉගෙන ගෙන තිබුණා. 1830 කාලයේ සැමුවෙල් මෝස් විසින් සොයා ගත් ටෙලිග්‍රාෆ් හරහා දුර සංඥා නිකුත් කිරීමේ ක්‍රමවේදය මෝස් කෝඩ් ලෙස නම් ලැබුවා. සෑම ඉංග්‍රීසි අකුරක් සඳහාම තිත් හා ඉරි මගින් සංඥා පද්ධතියක් සකස්කොට තිබුණා. මේ තිත් හා ඉරි ටෙලිග්‍රාෆ් යන්ත්‍රය මගින් ඝනැති කඩදාසියක සටහන් කරනු ලැබුවා. 

උදාරණයක් ලෙස ඉංග්‍රීසි A අකුර හැඳින් වූයේ •  ලෙසයි. B අකුර — • • •  වූවා.  E අකුරට තිබුණේ එක • පමණයි.

අපේ නාවික ජීවිතයේදී භාවිත කළ රේඩියෝ සිග්නල් වලදී ඉංග්‍රීසි භාෂාවේ අකුරු හඳුන්වන විශේෂ ක්‍රමයක් තිබුණා. ඉංග්‍රීසි අකුරු උච්ඡාරණය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් නිසා යමෙකු දුර ඈතක සිට පවසන දේ වැරදියට ලියාගැනීමට ඇති ඉඩකඩ වළකනු වස් මේ හැඳින්වීම් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුවයි සකස් වී තිබුණේ.

මේ ගැන තව දුරටත් පැහැදිලි කරන්නේ නම්, ඉංග්‍රීසි B, V, P  වැනි අකුරක් උච්චාරණය කරද්දී එය එකිනෙක වෙන්කොට හඳුනාගැනීම අපහසු වෙන අවස්ථා තිබෙනවා. ඒ නිසා B  යනු  බ්‍රාවෝ  (Bravo) ලෙස නම් කෙරුණා.

A – ‘ඇල්ෆා’ (Alfa), B – ‘බ්‍රාවෝ’ (Bravo), C – ‘චාලි’ (Charlie), D –  ‘ඩෙල්ටා’ (Delta) ආදී වශයෙන් සෑම ඉංග්‍රීසි අකුරක්ම නාමකරණයට ලක් කොට තිබුණා. ඒ අනුව මගේ නම වන හෙන්රි (HENRY) යන්න නාවික ගුවන් විදුලිය සංඥා මගින් කියවුණේ හොටේල්, එකෝ, නොවෙම්බර්, රෝමියෝ, යැන්කි   යනුවෙනුයි.

මා “එඩිතර” නෞකාවේ රාජකාරි සඳහා වාර්තා කළේ සුදෝ සුදු නාවික නිලධාරී ඇඳුම හැඳගෙනයි. සුදු තොප්පිය, සුදු කමිසය, කලිසම හා බඳ පටිය, සුදු සපත්තු හා මේස් වලින් සැරසුණ විට “කිරි කොකා” වැනි පෙනුමක් තිබුණා. ඒ වන විට අප අධිකාරි ලත් නිසා උර පටි පැළඳුවා. පහළ නිලයන් අප දුටු විට සැලියුට් ගැසූ අතර අපද ඉහළ නිලධාරීන් දුටු විට සැලියුට් ගැසුවා.

එසේම ජැටියේ සිට ගැන්ග් වේ (Gang Way ) හරහා නැවේ ක්වාටර් ඩෙක් (Quarter deck) නොහොත් පසු පස කොටසට ගොඩවීමට පෙර නැවට ආචාර සමාචාර දැක්වීම සඳහා සැලියුට් ගැසිය යුතු වුණා.

මා ඊට පෙර “එඩිතර” නෞකාවේ පුහුණුව ලබා තිබූ නිසාත්, ඊට අනුයුක්ත නිලධාරීන් හා නැවියන්  දැන හඳුනාගෙන තිබූ නිසාත් සිතේ කිසිදු චකිතයක් තිබුණේ නෑ. 

මා සේවයට වාර්තා කරන විට නැවේ කපිතාන් ලෙස කටයුතු කළ කොමාන්ඩර් රසීක් නිවාඩු ගොස් සිටියා. නැවේ ප්‍රධාන විධායක නිලධාරියා වූ ලුතිනන් කමාන්ඩර් සුනිල් සාන්තද නිවාඩු ගොස් සිටියේ නැව උතුරු මුහුද බලා පිටත් වීමට පෙර නැවත සේවයට වාර්තා කිරීම සඳහායි. නැවේ වැඩ බලන කපිතාන් ලෙස සිටියේ ප්‍රධාන විධායක නිලධාරියා වූ එවකට ලුතිනන් කොමාන්ඩර් ජයනාත් කොළඹගේ. (වර්තමානයේ විදෙස් අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කරන අද්මිරාල් කොළඹගේ.)

නියමිත දිනයේ අප රැගත් නැව ත්‍රිකුණාමලය නාවික තටාංගනයෙන් පිටත් වී නැගෙනහිර මුහුදු තීරය ඔස්සේ උතුරු මුහුදේ ආවේක්ෂණ කලාපය බලා පිටත් වුණා. කිරිකොකෙකු සේ නැවේ සේවයට වාර්තා කළ මා එතැන් පටන් නීල වර්ණ ඇඳුමට මාරු වුණා. බෙරේට් කැප් එක, කමිසය හා කලිසම හා බෙල්ට් එකත්, මේස් යුගලයත් නිල් පාටින් වූ අතර කළු සපත්තු පැළඳීම නියම වුණා.

ත්‍රිකුණාමලයෙන් පිටත් වූ අපි නිලාවෙලි, මුලතිව් හරහා බෙංගාල බොක්ක ඔස්සේ පේදුරුතුඩුව ප්‍රදේශය බලා ගමන් කළා.

පුහුණුවෙන කාලයේ මෙන් නොව අධිකාරිලත් නිලධාරියකු ලෙස මට නෞකාව තුළ පිළිගැනීමක් තිබුණා. ඉන්ජිනේරු කාමරයේත්, පාලක මැදිරියේත් රාජකාරි සඳහා මා රොස්ටර්  ගත කළා.

පැය හතරක සේවය සහ පැය අටක විවේකය ලෙස රොස්‍ටර්යේ සඳහන් වුවත් නිදන පැය කිහිපය හැර අනෙක් විවේක අවස්ථා වලදී පාලක මැදිරියට වී නෞකාවක් පැදවීමේ සියලු කටයුතු ඉගෙන ගන්නට මා උත්සුක වුණා.

ජැටියක රඳවා ඇති නෞකාවක් ඉන් මුදා ගනිමින් වරායෙන් පිටතට ගැනීමේ සිට නාවික සිතියමේ ගමන් මග සළකුණු කරමින් නිශ්චිත ගමනාන්තය දක්වා ධාවනය කොට නැංගුරම් ලෑම දක්වා වූ සමස්ත ක්‍රියාවලිය සුවිශේෂ පුහුණුවක් සහිතව කළ යුතු බරපතළ රාජකාරියක් බව මා තේරුම් ගත්තා.

ජලකඳ මත්තේ නොපෙනුණත් මුහුදු සිතියමට අනුව සටහන් කොට ඇති බාධක, ගල්පර මග හැර ධාවනය නොකළොත් නැවක් මුහුදු බත් විය හැකි බව මා තේරුම් ගත්තේ මෙලෙස පාලක මැදිරියේ රාජකාරි වලට සම්බන්ධ වීමත් සමඟයි.

“එඩිතර” නෞකාව සති තුනක කාලයකට උතුරු ආරක්ෂක වළල්ලේ සංචාරය නිමා කරන්නේ නැවේ වාර්ෂික අලුත්වැඩියා කටයුතු සඳහා කොළඹ නැව් තටාංගනයට රැගෙන ඒමෙන් බව මා දැන ගත්තේ නැවට ගොඩවී සතියකට හමාරකට පසුවයි.

පුහුණුව අවසානයේ විසිරයාමේ උත්සවයෙන් පසු දෙමාපියන් දැකීමට දින කීපයක නිවාඩුවක් ලද මා හට ඉන් සති තුනකට පසු නැවත කොළඹ බලා ගමන් කරන්නට ලැබීම මා මෙන්ම විධායක නිලධාරියකු ලෙස “එඩිතර” ට අනුයුක්ත කරනු ලැබූ මගේ කණ්ඩායමේ සරත් ජයතිස්සත් ප්‍රමෝදයට පත් කරන කාරණයක් වුණා.

සෙස්ස පස්සට…

ලබන සතියේ  “ බෑ.. කියලා බෑ.. මේ සීඕගේ ඕඩර්ස්…”

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත