“එඩිතර නෞකාවට අප අනුයුක්ත කරනු ලැබුවේ නාවික ඉංජිනේරු පුහුණුවට වුවත් පහළ මට්ටමේ ආධුනික නැවියෙකුට ලබා දෙන විවිධාකාර පුහුණු ද අපට ලබා දෙන්නට කොමාන්ඩර් රසී(z)ක් උත්සුක උණා.
වසර හතරක ඉංජිනේරු උපාධිය හදාරන අතර ඉංජිනේරු වැඩපළවල ද අප පුහුණුව ලබා තිබුණා. රජයේ කර්මාන්තශාලාවේ, ගන්නෝරුව කෘෂිකර්ම වැඩපොළේ මෙන්ම පේරාදෙණිය ඉංජිනේරු පීඨ කම්හලේ (Workshop) ද විවිධාකාර යන්ත්‍ර සූත්‍ර අතර අපට පුහුණුව ලැබී තිබුණා.
ලේත් (Lathe), මිලිං (Milling), ග්‍රයින්ඩිං (Grinding), ෂේපිං (Shaping), බෙන්ඩින් (Bending) වැනි යන්ත්‍රවල ක්‍රියාකාරීත්වය ප්‍රයෝගික පුහුණු වූ අපට ලී වැඩ (Woodwork) මෙන්ම වෙල්ඩිං (Welding), කාස්ටිං (Casting) වැනි ඉංජිනේරුමය ක්‍රියාවලීන්ට ද සම්බන්ධ වී තිබුණා.
එහෙත් නාවික ඉංජිනේරු විෂයය ඊට හාත්පසින් වෙනස් ප්‍රායෝගික අත්දැකීම් වෙත ළං කළා.
නැවේ පහළම තට්ටුවේ වූ යන්ත්‍රාගාරයට යන්නට පෙර නැවේ ඉහළ මාලයේ මලකඩ කැඩීම් (Chipping), බ්‍රෂ් කිරීම් (Brushing), තීන්ත ආලේප කිරීම් (Painting) ආදී වැඩවල අපව යොදවනු ලැබුවා. ඉන් අදහස් කළේ නැවක සෑම සියලු කටයුත්තක් පිළිබඳවම අපට පුහුණුවක් ලබා දීමයි. නිලධාරියෙකු සාමාන්‍ය සෙබළෙකුගේ රාජකාරිවල ඇති දුෂ්කරතා හඳුනා ගත යුතු බව නැවේ කපිතාන්වරයා අදහස් කළා.
විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාවෙන් උපාධිය සම්පුර්ණ කොට තිබුණත් අපගේ ඉංග්‍රීසි කථන හැකියාව වර්ධනය කොට තිබුණේ නෑ. කොටින්ම පැවරුම් ලිව්වේත්, දේශන වලට සවන් දුන්නෙත්, විභාගයට ලිව්වේත්, ඉංග්‍රීසි භාෂාවෙන් වුවත් Viva එකකදී කැඩුණු ඉංග්‍රීසියෙන් කතා කළා හැරුණු කොට ඉංග්‍රීසියෙන් කතා කරන පුරුද්දක් අප අතර තිබුණේ නෑ. එහෙත් නාවික හමුදා නිලධාරීන් අප සමඟ කතා කළේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණයි.
ඒ මඟින් සාමාන්‍ය නාවික සෙබළුන් හා නිලධාරීන් අතර පරතරයක් ඇති කරන්න අවශ්‍ය වී තිබුණා නිසැකයි.
අපට පුහුණු වන නිලධාරීන් ලෙස සුදු ඕවරෝල් (Overall) ඇඳුම් ලබා දී තිබුණා. පුහුණුවේ යෙදෙන හැම මොහොතකම ගණ රෙද්දෙන් මැසූ ඕවරෝල් ඇඳුම හා හෙල්මට් එක හා බූට් සපත්තු පැළදීම අනිවාර්ය වුණා. අවශ්‍යතාව අනුව අත් ආවරණ (Gloves) පැළඳුවා.
නැවේ කපිතාන්වරයා වූ කොමාන්ඩර් රසී(z)ක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ අධ්‍යාපනය ලබන අතර නාවික හමුදාවට බැඳුණු නිලධාරියකු බව මා දැන ගත්තේ මගේ පුහුණුවේ දවස් කීපයක් ගතවූ පසුවයි. ඒ නිසාමදෝ හෙතෙම මා වෙත කිසියම් සොෆ්ට් කෝණයකින් බැලුවා වන්නට පුළුවන්. කොහේ සිටියත් එකම පාසලක, සරසවියක බව දැනගත්තාම අප කොයිකාගේත් අතර අප්‍රකාශිත සබැඳියාවක් ඇති වෙනවා නේ.
මේ පුහුණුව දුෂ්කර සේ පෙනුනත් එය මගේ අනාගතය සඳහා මහෝපකාරී වූ බව බෝඩ් රූම් එකේ ආහාර ගන්නා අවස්ථාවක ඔහු පැවසුවා. නැවේ ඉහළ මතුපිට නොහොත් ඩෙක් එක (Deck) තැනින් තැන මළ බැදී තිබුණා. විවිධ භාණ්ඩ එහා මෙහා අදින විට සීරෙන නැවේ මතු පිට තලය ලුණු මිශ්‍ර මුහුදු ජලය විසිරිමෙන් ඉක්මනින් මළ බැඳුණා. ඒ නිසා නිරන්තරයෙන් මළකඩ චිප් කොට වයර් බ්‍රෂ් එකෙන් හෝ ග්‍රයින්ඩරයෙන් පිරිසිදු කොට තීන්ත ආලේප කළ යුතු වුණා. මුලින් මළ නොබැදීම සඳහා ඇන්ටි කොරෝසිව් ප්‍රයිමර් (Anti-corrosive primer) ආලේප කළා. වියැලුණු පසු ඒ මත කොළ පාට එනෙමල් තීන්ත ආලේප කළේ රෝලර් බ්‍රෂ් භාවිතයෙන්.
දවස දෙක යන විට මගේ සුදු ඕවරෝල් ඇඳුමේ විවිධ පැහැ තීන්ත ලප හා මළකඩ තැවරී දුර්වර්ණ වී තිබුණා. ඒ මදිවට බූට් සපත්තු මතු පිටත් තීන්ත තැවරුණා.
නැව දිනපතා උදේ ගැඹුරු මුහුදේ සංචාරයේ යෙදුණා. රාත්‍රියේ කිසියම් තැනක නැංගුරම් දැම්මා. සංචාරය කරමින් වෙනත් බෝට්ටු වලට අවශ්‍ය ඉන්ධන, ජලය හා ආහාර ලබා දුන්නා.
නැංගුරම් දැමීම සඳහා නැව නොගැඹුරු මුහුදට ගෙන යනවා. නැවේ නැංගුරම් පිහිටා ඇත්තේ ඉදිරි පස (Bow) දෙපසිනුයි. නැංගුරම ඉහළ හා පහළ ඇදීම සිදු කෙරුණේ යන්ත්‍රානුසාරයෙන්. නැංගුරම නොහොත් ඇන්කර් (Anchor) එක විශාල දම්වැලක් මගින් මුහුදු පතුළට අතහරිනවා. දහවල් නැව සංචාරය කරද්දී නැංගුරම ඉදිරිපස බඳට ආසන්නයේ සිර කොට එල්ලෙමින් තියෙනවා. නැංගුරම්ලන්නට නැතහොත් ඇන්කර් කරන්නට තීරණය කළ පසු මෝටරය ක්‍රියාත්මක කොට නැව් බඳේ රඳවා තිබෙන දම්වැල දිගේලි කරමින් ඇන්කරය මුහුදු පතුළට සේන්දු කරනවා. නැංගුරම දැමූ පසු සුළඟේ දිශාවට අනුව නැව නිශ්චිත දිශාවකට හැරී දම්වැලෙන් ඇදී නවතිනවා.
නැවේ පාලක මැදිරිය නොහොත් Control room එකට යන්නට මට අවසර ලැබුණේ සතියකට පසුවයි. එය හඳුන්වන්නේ බ්‍රිජ් (Bridge) නමින්. එහි විවිධ උපකරණ තිබුණා. සුක්කානම, රේඩාර් යන්ත්‍රය, ගයිරෝ කොම්පස් එක, රේඩියෝ සංඥා ඇතුළු හැම දෙයක්ම, ඉංජිනේරු විෂයයට ඇතුළත් වුණා.
කොටින්ම නැව කියන්නේ තනිකරම යාන්ත්‍රික ඉංජිනේරු විෂයයට බද්ධ වූ නාවික ඉංජිනේරු විද්‍යාව යටතට ගැනෙන ඉංජිනේරු වැඩ බිමක්. විශාල ශීතකරණ, වායු සමන යන්ත්‍ර, ඩීසල් එන්ජින්, කොම්ප්‍රෙසර්, විවිධාකාර පොම්ප ඇතුළු යන්ත්‍ර හා උපකරණ වලින් පිරි Engine Room එකට යන්නට මට අවකාශ ලැබුණේ දෙවෙනි සතියත් හමාර වූ පසුවයි.
ඒ අතර එක දිනක් මා කැඳවූ නැවේ කපිතාන්වරයා නාන ඇඳුමින් (Swimming kit) සැරසී ඩෙක් එකට එන්නැයි කියා නැවේ ඩෙක් එකේ සිට ගැඹුරු මුහුදට පිම්මක් පනින්නැයි නියෝග කළා. මට දෙලෝ රත් වුණා. මූලික පුහුණුවේදී පිහිනන්නට පුරුදු කොට තිබුණත් මා ඒ වන විට පිහිනීමේ දක්ෂයෙක් වී සිටියේ නැහැ. මට වඩාත් හුරු වී තිබුණේ උඩුබැලි අතට වැතිරී පාවීමට(floating) හා පිහිනීමටයි. මට අවකාශ ලැබුණේ ජීවිතාරක්ෂක ජැකට්ටුවක් (Life jacket) එකක් හැඳගන්නට පමණයි. මට මතක විදිහට එය මට ලබා දුන්නේ මාස්ටර් චීෆ් පෙටි ඔෆිසරයි (Master Chief Petty Officer). ඒ නමින් හඳුන්වන්නේ නාවික සෙබළුන්ගේ ඉහළම නිලය දරන්නායි.
මා නැවෙන් පහත මුහුද දෙස බැලුවා. නාවිකයින් කිහිප දෙනෙකු ගැඹුරු මුහුදේ පිහිනමින් සිටියා. දිය කෙළියේ යෙදෙමින් සිටියා.
“මට හොඳට පිහිනන්න බෑ” කියා කියන්නවත් අවකාශයක් නොදුන් කොමාන්ඩර් රසීක් Jump කියා කෑ ගැසුවා.
ඕනෑ මඟුලක් වෙද්දෙන් කියා සිතූ මා හොඳ හුස්මක් සිරකර ගෙන ගැඹුරු මුහුදට පැන්නා.
මා ගැඹුරු මුහුදේ පහළට ඇදී යනු දැනුණා. මේ මගේ ජිවිතයේ අවසානයද? නාවික හමුදාවට බැදුණේ දියේ ගිලී මිය යන්නද? වැනි සිතුවිලි සිතට එන්නටවත් කාලයක් නොතබා මා අත පය ගසා දමා මුහුද මතුපිටට ආවා. ඒ සැණින් හැකි වෙර යොදා පිහිනන්නට වෙර දරද්දී පිහිනමින් සිටි එක් නැවියෙක් Lifebuoy එකක් මා වෙත පා කර එව්වා. මා එහි එල්ලුණා. Lifebuoy යනු යමෙකුට වතුරේ නොගිලී පාවෙන්නට ආධාරකයක්.
සෙස්ස පස්සට…