බුදුන් වහන්සේ අවබෝධ කරගත් සාර්වත්‍ර, සර්වත්‍රික සත්‍ය නම් හේතු ඵල දහමට පදනම් වූ පටිච්ච සමුප්පාදය සහ චතුරාර්ය සත්‍ය යන ධර්මතාවන්ය. පසුගිය විස්තරයෙන් පටිච්ච සමුප්පාදය හඳුනාගත් අපි මෙවර චතුරාර්ය සත්‍ය සැකෙවින් විමසා බලමු.
බුදුන් වහන්සේගේ අසම සම ශ්‍රෙෂ්ඨත්වයේ කැපී පෙනෙන ගුණාංගයෝ දෙකක් වෙති. එනම් මහා කරුණාව සහ අනුපමේය ප්‍රඥාවයි. තමන් වහන්සේ සිදුහත් තවුසාණන්ව දුෂ්කර ක්‍රියා කරන අවදියේ ළඟින්ම හිඳ ඇප උපස්ථාන කළෝ, පස් වග මහණුන්ය. ඒ තමන් ඔවුන් ඉක්මවා දුෂ්කර ක්‍රියාවේ පරතෙරටම ගිය නිසා දැක් වූ ගෞරවයෙන් විය හැක. නමුත් දුෂ්කර ක්‍රියාව අතහරින්න තීරණයකර ආහාර පාන වළඳන්න ඇරඹූ විගස ඔවුහු සිදුහත් අතහැර ගියෝය. කරුණු එසේ වුවත් ඒ අය සමග කිසිම විරසකයක් නොමැතිව මුලින්ම ඔවුන්ට දහම් දෙසන්නට තීරණය කිරීමෙන් බුදුන් වහන්සේගේ කෘතගුණ පූර්වක කරුණා පෙරදැරි ආකල්පය පැහැදිළිය.
බුදුන් වහන්සේ ඉසිපතනයේ මිගදායට වඩින බව දුටු පස්වග මහණුන් එවිගස තීරණයකට පැමිණියේ එතුමාව සාදරයෙන් පිළිනොගෙන සිටීමටය.
“කවුරුත් පෙර ගමන් ගොස් පිළිගන්න එපා. උන් වහන්සේට වඩින්න පමණක් ඉඩ සලසන්න. පාත්‍ර සිවුරු ආදිය පිළිගන්න පෙරට යෑම අනවශ්‍යයි. මේ හිඳගෙන සිටින ආකාරයෙන්ම අපි ඉඳිමු. දුෂ්කර ක්‍රියා කිරීමේ උච්ඡතම අවස්ථාවේදී එය හැරදමා සුඛ විහරණයට නැඹුරු වූ මොහුට ගෞරව සත්කාර කිරීම අපට තරම් නොවේ”.
මෙසේ කතිකා කර ගත්තද බුදුන් වහන්සේ ළං ළං ව එනවිට කිසිවෙකුට හෝ නොනැගිට සිටිය නොහැකි විය. මේ අප විසින් හැර දමා ආවා වූ සිද්ධාර්ථ ගෞතම ද කියා සැක සිතෙන තරමට උන් වහන්සේ වෙනස් වී ඇත. ශාන්ත මුව මඬලත්, සන්සුන් ගමනත් පස්වග මහණුන් මවිතයට පත් කළ බව පෙනුනි. සියල්ලෝම පෙර ගමන් ගියහ. කෙනෙක් පාත්‍රය සහ අතිරේක සිවුර ආදී පාරිභෝගික වස්තු ඉල්ලා ගත්තේය. විගසින් පා දෝවනයට ජලය සූදානම් විය. තවෙකෙක් ආසන පැනවීය. ආ ගිය තොරතුරු විචාරමින් බුදුන් වහන්සේව මහත් සාදරයෙන් හා ගෞරවාදරයෙන් පිළිගත්හ.
“සිද්ධාර්ථ ගෞතමය, ඔබ අති දුෂ්කර අභ්‍යාස පදනම් කරගත් තවුස් දම් හැරපියා සැපවත් ජීවිතයකට අවතීර්ණ විය. එහෙත් පෙනුමෙන් ඔබ හරවත් ආධ්‍යාත්මික ජීවිතයකට පිළිපන් බවක් හැඟේ. කුමක් ද මේ වෙනස?” කොණ්ඩඤ්ඤ තවුසාණෝ විමතියෙන් ප්‍රශ්න කළහ.
“හිතවත් සගයිනි, එදවස මම සැපවත් ජීවිතයකට අවතීර්ණ වූයේ නොවෙමි. ආහාරයෙන් ශරීර ශක්තිය වඩවා ගන්න උත්සුක වූවා පමණි. ඒ අනෙකක් සඳහා නොව භාවනාවට යෙමු වීමට නම්, යම් ශක්තියක් අවශ්‍ය බැවිනි”.
“අප සිතුවේ ඔබ සුඛ විහරණයට ඇදී ගිය බවයි”.
“සය වසරක අති දුෂ්කර ක්‍රියාවන්ගෙන් විමුක්තියක් නොලද නිසා සම්ප්‍රදායික ක්‍රම හැර දමා මගේ ම මාර්ගයකින් විසඳුමක් සොයන්නට මට අවශ්‍ය විය. එය සාර්ථක වූ බව දන්වන්නයි මා පැමිණියේ. විදර්ශණා භාවනාවේ යෙදී මජ්ඣිම පටිපදාව ඔස්සේ බුද්ධත්වයට පත්ව නිර්වාණය අවබෝධ කර ගතිමි”.
බුදුන් වහන්සේ පිළිතුරු දුන් සේක.“එය අපට නොවැටහේ, ගෞතමයිනි. උග්‍ර තපස හැර වෙනත් විදියකින් අධ්‍යාත්මික සැනසුමක් කෙසේ ලබමුද?”
“මා ඒ ගැන පවසන්නයි මෙසේ පැමිණියේ. යම් ලොව්තුරු දහමක් ලැබුයේ නම් එය ඔබලාටද දන්වන බවට උග්‍ර තපස් රකින කාලයේ අපි පිළින කර සිටියෙමු. දැන් මා ඒ බුද්ධත්වය ලැබ හා පුරා කියා නමෝ විත්තියෙන් ඔබ සැමට මම පසක් කරගත් දහම දේශනා කරමි”.
මෙහිදී බුදුන් වහන්සේ පස්වග මහණුන් උදෙසා ධම්ම චක්කපවත්තන සූත්‍රය දේශනා කළ සේක.
“මහණෙනි, අභිනිෂ්ක්‍රමණය කළ පැවිද්දන් විසින් සේවනය නොකළ යුතු අන්ත දෙකක් ඇත. ලාමක වූ පඤ්ච කාමයන් ඇසුරු කරමින් එහි ඇලී ගැලී ලබන්නාවූ යම් සුවයක් වෙයිද, එය අත්හළ යුතු අන්ත දෙකින් එක අන්තයකි. කාමසුඛල්ලිකානුයෝගය නම් එයයි. ඊළඟට තමාව පීඩාවට, වෙහෙසට පත් කරන ශරීරයට දුක් වේදනා ගහණ වූ දුක් සහිත වූ ක්‍රියාවන්හි යෙදීමද අත්හළ යුතු අනිත් අන්තයයි. එය අත්ථකිලමතානුයෝගයයි”.
“මහණෙනි, ම විසින් මේ අන්ත දෙකටම නොපැමිණ, දැනීම උපදවන, ඥානය උපදවන, උපශමනයට (සන්සිඳීමට) හේතු වන අභිඤ්ඤාවට (විශිෂ්ට ප්‍රඥාව), සම්බෝධියට, නිවනට හේතුවන මධ්‍යම ප්‍රතිපදාව ප්‍රත්‍යක්ෂ කරගන්නා ලදී”.
බුදුන් වහන්සේ තවදුරටත් විස්තර දැක්වූහ.“ඒ මධ්‍යම ප්‍රතිපදාව කවරේද? එය ඒකාන්ත වශයෙන්ම අංග අටකින් යුක්තවෙයි. එනම්: යහපත් පෘතුල අවබෝධය, යහපත් පෘතුල සංකල්පනා, යහපත් පෘතුල වචන භාවිතයෙන් කතා කිරීම, යහපත් පෘතුල කර්මාන්තයන්හි යෙදීම, යහපත් පෘතුල ආජීවය හෙවත් යහපත් ආකාරයෙන් ජීවිකාව කරගෙන යාම, යහපත් පෘතුල ව්‍යායාමය නම් වූ වීර්යයෙන් වෑයම් කිරීම, යහපත් පෘතුල සිහිය හෙවත් යහපත් සම්ප්‍රජානය සහ යහපත් පෘතුල සමාධිය හෙවත් මානසික විනය පවත්වා ගැනීම යන මේ අංග අට ම විසින් ප්‍රත්‍යක්ෂ කරගත්, පිළිපැදිය යුතු ආර්ය මාර්ගය හෙවත් මධ්‍යම ප්‍රතිපදාවයි”.
ඉක්බිති බුදුන් වහන්සේ තමන් විසින් බුද්ධත්වය ලැබීමෙන් අවබෝධ කරගත් ආර්ය අෂ්ඨාංගික මාර්ගයද ඇතුළත් ජීවිතයේත්, ලෝකයේත් නියම ස්වභාව සත්‍යය දැක්වෙන චතුරාර්ය සත්‍ය පිළිබඳව විග්‍රහ කළ සේක. දුක්ඛ ආර්ය සත්‍ය, දුක ඇතිවීමට හේතුව වන සමුදය ආර්ය සත්‍යය, දුක නැති කිරීම හෙවත් නිවන නම් ආර්ය සත්‍ය, සහ එම නිවන් මග අවබෝධ කරගැනීමට අනුගමනය කළ යුතු මධ්‍යම ප්‍රතිපදා මාර්ගය නම් වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගය යන මේ සතර සත්‍යයි.
බුදු දහමේ සාරයවන චතුරාර්ය සත්‍ය පිළිබඳ විග්‍රහයක් දැනගත යුතුවෙයි. ‘ධම්ම චක්ක පවත්තන’ යනු ධර්මය නමැති ප්‍රඥා චක්‍රය බුදුන් වහන්සේ විසින් ඉදිරිය බලා පෙරළනු ලැබීමයි.
දුක්ඛ ආර්ය සත්‍යය
මුලින්ම දුක්ඛ ආර්ය සත්‍ය විමසා බලමු. ඉපදීම, වයසට ගොස් ජරාවට පත්වීම, ලෙඩ රෝග වැළඳී දුකට භාජනවීම සහ මරණයෙන් ජීවිතය කෙළවර වීම අප මුහුණදෙන මූලික කායික
දුක්ඛයන්ය. අප කවුරුත් දන්නා දුක නම් එයයි. මේ සතර බිය නිසා පැමිණෙන දුකට සියලු මනුෂ්‍යයන් ගොදුරු වේ. එනිසා බුදු වීමට එය අලුතෙන් සොයාගත් දුකක් නොවේ. එසේම ඒ ගැන සිත සිතා දුක් වන්නෝ විරලයහ. මැරෙණ බව සිතා කටයුතු කරනවා නම් රටේ මෙතරම් අපරාධ හෝ දූෂණ සිදුවේද? ලෙඩ රෝග, වියපත්වීම අනිවාර්යයෙන් සිදුවන බව දන්නා අපි ඒ ගැන සිත සිතා ජීවිතය පුරාම දුක්වෙවී පසුවන්නේ නැත.
තථාගතයන් වහන්සේ චතුරාර්ය සත්‍යයෙන් සොයා ගත් දුක ඊට වඩා සංකීර්ණ තත්වයකි. ඉහත කී කායික දුක හැම වෙලේම අපව දුකට පත් කරන්නේ නැත. නමුත් මිනිසා උපන් දා සිට මැරෙණ තෙක්ම සතුටින් වාසය නොකිරීමට හේතුවන නිමා නොවන දුකක් ඇත. එය නම් කිසිම දෙයකින් තෘප්තිමත් නොවී තව තවත් ලබා ගැන්මට ඇති ආශාව හෙවත් තණ්හාව නිසා හටගන්නා මානසික කනස්සල්ල නැමති දුකයි. ආශා දේ ලැබුනද, ඉනුත් තෘප්තිමත් නොවී ඉන්පසු එහි එකාකාරී බවින් මිදීමට අලුත් මාර්ග වලින් සතුට හා තෘප්තිය සොයා යාමේ ප්‍රයත්නය නිසා ද දුකට පත්වේ. මේ අතෘප්තිකර චිත්ත ස්වභාවය ලොව සියලු ප්‍රපංචයන් තුළම දැකිය හැක. ඉහත කී සතර බිය නම් වූ කායික දුක ඉක්මවා අපි නිතරම පෙලෙන්නේ මේ මනෝ මූලික දුක නිසාය. එය ඇතිවන සැටිත්, නැති කර දැමුවාම ලබන සුවයත්, නැති කර දමන මාර්ගයත් බුදුන් වහන්සේ විසින් සොයා ගන්නා ලද චතුරාර්ය සත්‍යයයි.
එනිසා බුදුන් වහන්සේ චතුරාර්ය සත්‍යයෙන් විග්‍රහ කරන දුක, අප දන්නා දුක ඉක්මවා ගිය ජීවිතයේ සහ ලෝකයේ සියල්ල තෘප්තිමත් භාවයට පත් නොවීම නිසා මරණය තෙක්ම මුහුණදෙන චිත්ත චෛතසික පීඩාවන් මුල්කරගෙන හටගන්නා මානසික කනස්සල්ලය. ලොව පවත්නා සියලුම ඉන්ද්‍රිය ගෝචර ප්‍රපංචයන් නිසා හටගන්නා අතෘප්තිමත් භාවය දුක වශයෙන් හැඳින්වින. මීටත් එහා ගැඹුරට යන්නේ නම් අනිත්‍යතාව, පරිපූර්ණත්වයට පත් නොවී යැයි හැඟීම, හිස්බව, අසහනකාරිත්වය සහ තිරසාර බවක් නැතිකම ආදී සංකල්පද දුක වශයෙන් හැඳින්විය හැක. අපගේ ජීවිතයේ සැපත පවතී. නමුත් මෙම සැපත ස්ථාවරව රඳවාගත නොහැකි වීමෙන් දුක හටගනී. ඇස, කන, නාසය, දිව, ශරීරය යන පඤ්චේන්ද්‍රියෝ මිනිසාට පඤ්ච කාම සැප ලබා දෙති. මිනිසා එය සතුටින් විඳී. එහෙත් මෙම කම් සැප වෙනස් වනවා පමණක් නොව දිගටම රඳවා ගැනීමට ද නොහැකිය. එවිට දුක සහ මානසික අවපීඩනය පැන නැගීම වැළැක්විය නොහැක. අනික්අතට මෙම සුඛය දිගටම රඳවා ගැනීමට මිනිසා සමත්වූවා යයි සිතමු. එවිට එකම සැපය නැවත නැවත විඳීමෙන් අතෘප්තිකර බවක් සහ එකාකාරී බවක් දැනී වෙහෙසට පත්ව වෙනත් නව මං ඔස්සේ සංතුෂ්ටිය සොයන්ට පටන් ගනී. මෙහි නැවතීමක් නැත. අවසානයක් නැත. සංතුෂ්ටිය යැයි යමක් ඇත්නම් එය ඇත්තේ සතුට සොයා යන ගමනේ මිස එය ලැබෙන ගමනාන්තයේ නොවන බව පසක් වේ.
අපි සැපත සෙවීමේදී එක් අරමුණකින් තවත් අරමුණක් කරා යොමුවෙමින් තෘප්තිය හෝ සැපත පසුපස ලුහුබඳිමු. අපේක්ෂා කළ දේ ලැබුනාම සතුටට තෘප්තියට පත්වේ. නමුත් එය තාවකාලිකය. බොහෝවිට ටික කලකින් එය තවදුරටත් අගය නොකරන තත්වයට පත්වේ. එනිසා ඉතා ඉක්මනින් එය සාමාන්‍ය තත්වයට ඇද දමා වෙනත් නැති දෙයක් අගය කිරීම කරා අපේ සංකල්ප යොමු කරන්නට යුහුසුලු වෙයි. එවිට වෙනත් නව ඇගයුම් සහිත අරමුණු සොයාගෙන ඒ පසු පස ලුහුබඳින්නට පටන් ගනියි. මෙසේ පළමු අරමුණ ඉටුකර ගත්තත් ඉන් තෘප්තිමත් නොවී තව තවත් අලුත් අරමුණු කරා සිත මෙහෙයවයි. දුක හටගන්නේ ආශාවේ නිමාවක් නොමැති නිසාය. මෙම ලුහුබැඳීම කරගෙන යන අතරතුර ජීවිතයේ පරම සැපත නොලබාම දිනක මරණයට පත්වෙයි. ලෝකායත්ත සැපත ලැබේ යයි බොහෝවිට සිතන්නේ තමන් ළඟ නැති දෙයක් තමන්වෙත අත්පත් කරගැනීමෙනි. එහෙත් එම ලැබීම සමගම නැතිබව පහව යයි. අවශ්‍ය යැයි සිතූ දෙය ලැබුනාට පසු ටික කාලයකදී ඉන් ලද තෘප්තියද දිය වී යයි. ඉන් ලද සැපතද ක්‍රමයෙන් අහෝසි වෙයි. එවිට අලුත් සැපතක් සොයා සිත යොමු කරයි. මේ නිසා ලෞකික සැපත කිසි ලෙසකින්වත් දිගටම ලැබිය නොහැකිය. එහි දී සිත තුළ ඉතිරිවන්නේ දුක්ඛ නම් මානසික කනස්සල්ල පමණි.
මෙසේ මෙහි අවසානයක් නැත. එනිසා සතුට වෙනුවට නිතර ඉතිරි වන්නේ දුක හෙවත් මානසික කනස්සල්ල සහ මුළු ජීවිතයම කෙරෙහි අතෘප්තියයි. අවසන කිසිවෙකුටත් ගැලවිය නොහැකි මරණයට පත්වෙයි. එදාට තමා ආශාවෙන් මහන්සියෙන් රැස්කළ උපභෝග පරිභෝග වස්තු පමණක් නොව ආදරණීයයන්වද සදහටම හැරදමා යයි. මේනිසා දුක ජීවිතයේ හැම ක්‍රියාකාරකමකම දැකිය හැකිවෙයි.
එබැවින් දුක්ඛ යන වචනයට පෘතුල අර්ථ ගනනාවක් තිබෙන බව දැනගත යුතුවෙයි. සතර බියෙන් ඇරඹී රළු ශාරීරික වේදනාවන්ද ඇතුළුව මානසික කනස්සල්ල දක්වා දුක විස්තර කළ හැක. මෙහිදී ඉපදීම දුකක් දැයි සලකා බැලිය යුතුය. මවටවත් දරුවාටවත් එය දුකක් නොවේ. එනිසා මෙහි ඉපදීම යනු මමත්වයේ ඉපදීමයි. දරුවා උපදින අවස්ථාවෙදීම මමත්වයද උපදී. උපදිනවිටම දරුවා කැමති දේ බොහෝ වෙති. අකමැති දේවල්ද බොහොම ඇත. නමුත් කැමති සියල්ලම ලැබෙන්නේ නැත. අකමැති සියල්ල නොලබා සිටීමට තැත් කළාට එය ඉෂ්ට වන්නෙත් නැත. එවිට ඉපදීම දුක තමයි. මෙසේ මුල සිටම අතෘප්තිකරදායි බව දුක වශයෙන් ජීවිතයට බලපෑම් කරයි.
“දුක පිළිබඳ බුදුන්ගේ සමස්ත පාරභෞතිකවාදයේ මර්මස්ථානය වූයේ දුකෙහි හේතුව පිළිබඳ ප්‍රශ්නයයි. සැබෑ දුකෙහි සැබෑ හේතුව සෙවිය යුත්තේ අප නෙත් අබියස පවත්නා සංයුක්ත ද්‍රව්‍යමය ලෝකයෙන් පිටත යම් තැනක යැ යි ඒත්තු යන පරිදි තර්ක කිරීමට උන් වහන්සේ අසමත් වූයේ නම් දුඃඛ සත්‍යය පිළිබඳ ඉගැන්වීම වැනි විස්මයජනක චින්තාමය මතුමහලක්, උපරිව්‍යුහයක් බිඳ හැළෙන්නේය”.
(බුද්ධ චරිතය, මහාචාර්ය සුචරිත ගම්ලත්; පිටුව 436)
ඉතිරි සත්‍ය තුන පිළිබඳව ඊළඟ කලාපයෙන් බලාපොරොත්තු වන්න.