19 වන සියවසේ ඇමෙරිකාවේ ලුයිසියානා ප්‍රාන්තයේ, නිව් ඕලියන්ස් නගරයේ විසූ, කළු ඇමෙරිකානුවන් විසින් සුභාරංචි ගීත ගායනා ශෛලිය නැතහොත් GOSPEL SINGING හෝ BLUES ගායානා විලාසය මූලාශ්‍රය කරගනිමින් නිර්මාණය කරන ලද සංගීත ආර JAZZ නමින් හඳුන්වනවා.
1959 වසරේ නිකුත් වූ JAZZ සංගීත තැටි හතරක් ඇමෙරිකානු සංගීත ඉතිහාසය වෙනස් මගකට යොමු කරන්නට සමත් වු වග කියාපාන 1959 THE YEAR THAT CHANGED JAZZ නමින් වාර්තා චිත්‍රපටයක් පසුගිය දිනෙක වෙළෙඳපොලට නිකුත් වුණා. මයිල්ස් ඩේවිස්ගේ කයින්ඩ් ඔෆ් බ්ලූ – ඩේව් බෲබෙක්ගේ ටයිම් අවුට් – චාල්ස් මින්ගෙස්ගේ මින්ගෙස් ආහ් උම් සහ ඕනේට් කෝල්මන්ගේ ද ෂේප් ඔෆ් ජෑස් ටු කම් [Miles Davis KIND OF BLUES, Dave Brubeck TIME OUT, Chrals Minges MINGES AH UM, Ornet Coleman SHAPE OF JAZZ TO COME] නම් සංගීත තැටි හතරයි මේ වාර්තාවට සම්මාදන් වන්නේ.
පෝල් බර්නේස් විසින් අධ්‍යක්ෂනය කරන ලද මේ වාර්තා චිත්‍රපටයට JAZZ සංගීත ඉතිහාසය, එහි විකාශය, විවිධ කාලවකවානුවල කරලියට ආ සංගීත ශිල්පීන්ගේ විස්තර හා ඉතා කලාතුරකින් දකින්න ලැබෙන අයිතිහාසික චිත්‍රපට දර්ශන ඇතුළත් කොට තිබෙනවා.
චිත්‍රපටියේ කථා කරන තොරතුරු වලට අනුව 1959 දී නිකුත් වූ මේ සුවිශේෂ සංගීත තැටි හතරින් මයිල්ස් ඩේවිස්ගේ කයින්ඩි ඔෆ් බ්ලූ තැටියේ පිටපත් මිලියන පහක් මේ වනවිට අලෙවි කොට අවසන්. ජෑස් සංගීත ලෝකයේ වැඩියෙන්ම අලෙවි වූ සංගීත තැටිය ලෙස කයින්ඩි ඔෆ් බ්ලූ ඉතිහාසගත වෙනවා.
මේ චිත්‍රපටයේ ජෑස් ඉතිහාසය පිළිබඳ රස තැන් රාශියක් සඳහන් වෙනවා. ටයිම් අවුට් සංගීත තැටිය නිර්මාණය කළ ඩේව් බෲබෙක් ක්වාටට් හතර දෙනාගේ කල්ලියේ තුන් දෙනෙක්ම ඩේව් බෲබෙක්, පෝල් ඩෙස්මන්ඩ් සහ ජෝ මෙරෙලෝ සුදු ජාතිකයින්. ඉතා විශිෂ්ට ලෙස ඩබල් බේස් වාදනය කළ ඉයුජින් රයිට් කල්ලෙක්. වතාවක් සුදු කළු බේදය උග්‍රව පැතිරුනු ඇමෙරිකාවේ දකුණු ප්‍රාන්තයක සුද්දන්ට පමණක්ම වෙන්වූ විශ්වවිද්‍යාලයක පැවැත්වුනු ප්‍රසංගයක වේදිකාවට ගොඩ වෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී විශ්වවිද්‍යාලයේ පරිපාලනය සංගීත කණ්ඩායමේ නායක ඩේව් බ්රෲබෙක්ට කියනවා කළු ජාතික ඉයුජින් රයිට් නොමැතිව ප්‍රසංගය පවත්වන්න කියලා.
බ්රෲබෙක් මේ ඉල්ලීම එක හෙලා ප්‍රතික්ෂේප කරනවා. විශ්වවිද්‍යාල පරිපාලකයින් කොතරම් ඉල්ලීම් කලත් බ්රෲබෙන් නෙවෙයි එකග වෙන්නේ. ප්‍රසංගය පමා වෙනකොට ශිෂ්‍යයින් ගෝෂා කරන්නට පටන් ගන්නවා. අවසානයේ පරිපාලකයින් කියනවා ඉයුජින් රයිට්ව වේදිකාවේ නොපෙනෙන ඈත කොනකට ගාල් කොට ප්‍රසංගය පවත්වන ලෙස. බ්රෲබෙක් මේ ඉල්ලීමට එකගව ප්‍රසංගය ආරම්භ කරනවා.
ප්‍රසංගයේ දෙවැනි අංගයට පෙර බ්රෲබෙක් ඉයුජින් රයිට්ට කියනවා ඉයුජින් ඔබේ මයික්‍රෆෝනය හරිහැටි වැඩ කරන්නේ නැහැ. ඒ නිසා එන්න ඉස්සරහට. මගේ මයික්‍රෆෝනය පාවිච්චි කරන්න.
විශ්වවිද්‍යාලයේ සභාපතිට අමතක නොවෙන පාඩමක් උගන්වන අටියෙන් බ්රෲබෙක් මේ කළේ ප්‍රයෝගයක් කියලා ඉයුජින් රයිට්ට තේරුනේ නැහැ. ඉයුජින් වේදිකාවේ ඉදිරියටම ඇවිත් තමන්ගේ ඒකල වාදනය ඉදිරිපත් කළාම මුළු ප්‍රසංග ශාලාවම කන් බිහිරි වෙන තරමේ අත්පොලසන් නාදයක් දී මේ කළු ඇමෙරිකානුවා පිළිගත්තා කියලා බ්රෲබෙක් මේ වාර්තා චිත්‍රපටියේ තැනක සඳහන් කරනවා.
අහන්න ඩේව් බෲබෙක්, පෝල් ඩෙස්මන්ඩ්, ජෝ මෙරෙලෝ සහ ඉයුජින් රයිට් ඉදිරිපත් කරන ටේක් ෆයිව් නම් ජෑස් සංගීත ඛන්ඩය