මීහරක් කතාවක්

අපේ මීහරකා පිලිපීනයේ මිනිසුන්ට කරබාවාය. නම විතරක් නොව මීහරකාට ලැබෙන ගරු නම්බු නාමද වෙනස්ය. අපේ රටේ මීහරකාය කියන්නේ කෙනෙකුට අපහාසයට කියන අනවර්ථ නමකි. මෝඩයකු, අපිරිසිදු මඬේ ලගින්නකු එයින් අදහස් වේ. මේ නිසා මෝඩ මීහරකුන්, මීහරක් වැඩ කරන මෝඩයන් අපේ රටේ සුලභය. එහෙත් පිලිපීනයේ ජනතාව මීහරකාට සලකන්නේ බොහෝ ගරුසරුවය. ජාතික වස්තුවක් ලෙසය. ඉවසීම, ශක්තිවන්තකම සංකේතවත් කරන නාමයක් ලෙසය. Bubalus bubalis නම් විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මීහරකා පිලිපීනයේ පමණක් නොව ගුවමි රටේද මැලේසියාවේ හෙන්රි සෙම්ටිලියන් ප‍්‍රාන්තයේ නිළ සතාය.

කොයි රටේ හිටියත්, කුමන නමකින් හැඳින්වුවත් මීහරකා යනු වැඩි කලබලයක් නැති දැහැමෙන් සෙමෙන් ජීවත්වන සතෙකි. ඒත් මීහරකුන්ද කලබල වන අවස්ථා තිබේ. එවැනි අවස්ථාවල හාම්පුතුන් කලබල වුණොත් වැඩේ දික් ගැසේ. මා විසින් ලියූ සිනාසෙන සුදු හාමුදුරුවෝ නමින් හඳුන්වන අජාන් බ‍්‍රහ්මවංසෝ මහතෙරුන්ගේ දේශනයක, කලබල වූ මීහරකකු පිළිබඳ කදිම කතාවක් විස්තර වේ. මේ සිද්ධිය සිදුවුණේ තායිලන්තයේ උන්වහන්සේ වැඩ විසූ වන අරණ අසබඩය. කතාව මෙසේය.

මීහරකුන් රංචුවක් දක්කාගෙන යන ගොවියකු පන්සල ඉස්සරහ ගිය වෙලාවේ මොකක්දෝ කාරණාවකට එක මීහරකකු කලබල වුණේය. මීහරකාගේ හාම්පුතා වූ ගොවියා මීහරකාගේ බෙල්ලේ මැද තිබුණු ලණුව අල්ලාගෙන මීහරකා මෙල්ල කරන්නට මාන බැලූවේය. ඔහු ලණුව ඇඟිල්ලක පටලවාගෙන දුවන මීහරකා නතර කරගැනීමට වෑයම් කළේය. නමුත් සිදුවුණේ නොසිතූ දෙයකි. දුවන මීහරකා හාම්පුතාගේ ඇඟිල්ලක්ද කඩාගෙන දුවන්නට පටන් ගත්තේය. ටිකක් දුර දුවගොස් පුරුදු පරිදි නිසංසල වුණේය.

සිදුවුන එකම දේ මෝඩ හාම්පුතාට ඇඟිල්ලක් අහිමි වීමය. වන අරණේ හාමුදුරුවරු ගොවියාට ප‍්‍රථමාධාර දී රෝහලට යැව්වෝය. ඇඟිල්ලක් අහිමි වුණත් කලබල වූ මීහරකා අප සැමට හොඳ පාඩමක් ඉගැන්නුවේය. පාලනය කරන්නට බැරි දේ පාලනය කරන්නට යෑමෙන් ඇඟිල්ල නොව බොහෝ දේ අහිමි වේ.

ස්වාමිපුරුෂයා පාලනය කරන්නට යන බිරින්දෑවරු, තරුණ දරුවන් පාලනය කරන්නට යන දෙමාපියෝ මීහරකාගෙන් පාඩම් ඉගෙන ගත යුතුවේ. කලබලයකදී කලබල වී බොහෝ දේ අහිමි කරගන්නවා වෙනුවට සන්සුන්ව කටයුතු කිරීම මේ කතාවෙන් ඉගෙන ගත හැකි තවත් පාඩමකි.

ඊළඟට කියන්නට යන්නේ මීට වෙනස් මගේ අත්දැකීමකි. ඔස්ටේ‍්‍රලියාවේ වෙසෙන අපේ මිතුරු පවුලක සාමාජිකයෝ අප සමග වනසතුන් නරඹන්නට යාල අභයභූමියට ගියෝය. පවුලේ දූවරු දෙන්නාද අඹුසැමියන්ද හැරුණු විට අපේ පවුලේ කට්ටියද ගමනට සහභාගී වුණෝය.

වනසතුන් නරඹමින් වාහනයේ නැගී යනවිට අලි ඇතුන්, කොටින්, වලසුන් තියා මුවකුද දකින්නට නොලැබුන වෙලාවේ කැලෑව මැද මීහරකෙක් සිටිනු දැක මම ‘‘අන්න මීහරකෙක්’’ කියා කෑගැසුවෙමි.

ඒ මොහොතෙම මගේ යාලූවාගේ වැඩිමහල් දියණිය බෑගිරි ගසමින් හඬන්නට පටන් ගත්තාය. මම විස්මයට පත්වුණෙමි. ‘‘මීහරකෙක් දැක්කාම හඬන්නෙ මොකද?’’ යි මම ඇගෙන් ඇසීමි. ‘‘ගෙදරදී පොඩි වරදක් කළත් අම්මා මට මීහරකා කියල බනිනවා. මීට ඉස්සර මම මීහරකෙක් දැකල තිබුනෙ නැහැ. මීහරකා ඇත්තට දැක්කාමයි මට අම්මා කරන අපහාසය තේරුනේ’’ ඇය හඬමින් කීවාය.

සමරසිංහ ගුණසේකර

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත