රටක සාහිත්‍ය, කලාව පැවතිය යුත්තේ එරට ජනතාවට මෙන්ම පලකයින්ටද ඉදිරියෙන්ය. ඒ අනුව සාහිත්‍යවේදීන් ඇතුළු කලාකරුවන්ගේ භාවිතය පැවතිය යුත්තේද ජනතාවට මෙන්ම පාලකයන්ටද ඉදිරියෙනි.
එහෙයින්ම සාහිත්‍ය කලාවන් අරබයා කිසියම් රසවින්දනයක් ඇති, ඒවා පරිශීලනය කරන, එමගින් සිය ජීවිතයට පරමාදර්ශී සිතුම් පැතුම් එක් කර ගන්නා ජනතාවක් හා පාලකයින් සාහිත්‍යවේදීන් ඇතුළු කලාකරුවන් සැලකිය යුත්තේ තමන්ගේ පෙර ගමන්කරුවන් ලෙසය.
දැන් සිදුවන්නේ එය නොවේ. සියල්ල කණ පිට හැරී ඇත. ජනතාවගේ ඡන්දයෙන් පත් වන පොදු ජන අරමුදලෙන් වැටුප් ලබන ජනතා නියෝජිතයින්, ජනතා සේවකයින් හැසිරෙන්නේ සියල්ලට ඉහළින් තමන් වැජඹිය යුතුය යන සිතුවිල්ලෙනි. ඊට උඩගෙඩි දෙන ජනතාව පසෙක තැබුවද සාහිත්‍යවේදීන් ඇතුළු කලාකරුවන් ක්‍රියා කරන්නේද ඒ ආකාරයටය.
මන්ත්‍රීවරුන්ට, ඇමතිවරුන්ට, අගමැතිට, ජනාධිපතිට යනාදී ලෙස කිසිදු දේශපාලකයෙකුට තමන් ආ ගමන අමතක කොට, සියල්ලන් අතහැර තමන් යන්නට යන ගමන ගැන සිතා කටයුතු කරන්නට මඟ හෙළි පෙහෙළි කොට දෙන්නේම කලාකරුවන් ඇතුළු දේශපාලකයන්ට පෙර ගමන් යා යුතු එහෙත් දේශපාලකයින් ඉදිරියේ පසු ගමන් යන ඇතැම් ක්‍රියාධරයෝය.
මේ වින්නැහියට උඩ ගෙඩි දෙමින් හැසිරෙන්නේ බලය අත ඇති දේශපාලකයින්ගෙන් වරදාන, වරප්‍රසාද බලාපොරොත්තු වන අවස්ථාවදීන්ය.
දරුවා ඉහළ පාසලකට දමා ගන්නට, විදෙස් ශිෂ්‍යවත්වයක් ලබා ගන්නට, ණය මුදලක් ලබා ගන්නට, යාන වාහන තනතුරු හිඟා යන්නට, සභාපතිකමක් තානාපතිකමක් ලබා ගන්නට යනාදී වශයෙන් වූ විවිධ අරමුණු පෙරදැරි කොට ගෙන දේශපාලකයන් ඉදිරියේ වල්ගය වනනා කුක්කන් ලෙස හැසිරෙන කලාකරුවන්ගේ චර්යාව අජූතය, අප්‍රසන්නය, පීචංය.
මෙහි කූටප්‍රාප්තිය සාහිත්‍ය උත්සව වලට ප්‍රධාන ආරාධිතයින් ලෙස දේශපාලකයින් ගෙන්වා ගැනීමට වලිකෑමය. උත්සව සංවිධානය කරන්නේද, මූලිකත්වය දෙන්නේද, සංවිධාන අටවා ගන්නේද එවන් සැඟවූ යටි අරමුණු මතය.
මේ දේශපාලකයින් යන එන තැන පසු පසින් යන ආරක්ෂක බලමුලු කිසිදු පැකිළීමකින් තොරව සාහිත්‍යධරයන් ඇතුළු කලාකරුවන්ගේ කිරිපල්ල අතපත ගාන්නේ ඔවුන් නිහීනයින් ලෙස සළකාය.
පුදුම කෙලියකි. උත්සවයක් සංවිධානය කොට ඊට අරධිතයෙකු ලෙස දේශපාලන නායකයින් ගෙන්වා ගන්නා කලාකරුවන්ට සිද්ධ වෙන්නේ හොරුන්, මංකොල්ලකාරයින්, මිනීමරුවන්, ත්‍රස්තවාදීන් ලෙස සැලකුම් ලබන්නටය. ආරක්ෂක අංශ පරීක්ෂා කරන්නේ ඒ ආකාරයටය.
මේ තත්වය වෙනස් වෙන්නේ කවදාද?
ස්වර්ණ පුස්තක, ගොඩගේ, විද්‍යෝදය වැනි සාහිත්‍ය සම්මාන උත්සව වලද OCIC, රයිගම් වැනි දෘශ්‍ය කලා සම්මාන උලෙළ වලටද දේශපාලකයින් ගෙන්වා නොගැනීමෙන් මුළුමහත් සාහිත්‍යකරුවන්ට, කලාකරුවන්ට නිසි ගෞරවය දැක්වීමට පියවර ගෙන තිබීම ගැන අදාළ සංවිධායකයන්ට ගෞරවය හිමි විය යුතුයි. මේ ඉතා හොඳ ප්‍රවණතාවකි.
ඉන් පරිබාහිර අන් සියලු සාහිත්‍ය කලා උත්සව වලටද ප්‍රධාන ආරාධිතයින් ලෙස දේශපාලකයින් ගෙන ඒමේ කුප්ප ආශාවන් හා උවමනාවන් පරාජය කිරීමට සාහිත්‍යකරුවන් ඇතුළු කලාකරුවන් පෙළ ගැසිය යුතුය.