වාර්තාගත ව ඇති ආකාරයට මෙරට පිහිටුවන ලද ප්‍රථම ඡායාරූප ශාලාව 1862 පමණ පිටකොටුවේ ශාන්ත බස්තියන් කන්දේ අංක 10 දරණ ස්ථානයේ පිහිටා තිබූ ඩබ්ලිව්. එල්. එච්. ස්කීන් සහ සමාගම ලෙස පිළිගැනෙයි. ඉන්පසු ව වාර්තා වන්නේ දමිළ ජාතික එස්. කේ. ලෝටන් මහතා විසින් යාපනයේ පිහිටුවන ලද එස්. කේ. ලෝටන් සහ සමාගම’ ය. ආධුනික ඡායාරූප ශිල්පියකු වූ හෙතෙම 1876 දී පමණ ඔහු සතු දැනුම හා අත්දැකීම් අනුව යමින් ව්‍යාපාරයක් ලෙස මෙම ආයතනය ආරම්භ කොට තිබේ. ‘හාෆ්ටෝන් ක්‍රමය’ ශ්‍රී ලංකාවට හඳුන්වාදීමේ පුරෝගාමියා ඔහු ය. ඔහුගේ පුත්‍ර කේ. ආර්. ලෝටන් ද පසුව එම ව්‍යාපාරය ව්‍යාප්ත කළේ ය. ඔවුන්ගේ ඡායාරූප ශාලා කොළඹ සහ යාපනයේ පිහිටුවා තිබිණි.
කොළඹ කොම්පඤ්ඤ වීදියේ ‘හෝප්ටවුන්’ ඡායාරූපශාලාවේ හිමිකරු වූ වූ ඒ. ඩබ්ලිව් ඇන්ඩ්‍රි මහතා පසුව නොරිස් පාරේ ඡායාරූප ශාලාවක් ඇරඹී ය. වාර්තාගත වන අන්දමට පුවත්පතක ඡායාරූප ශාලාවක් පිළිබඳ පළවී ඇති ප්‍රථම දැන්වීම ඇන්ඩ්‍රි විසින් 1895 අගෝස්තු 31 වන දින ‘ලක්මිණි පහන’ පුවත්පතේ පළ කළ දැන්වීමයි.
එම දැන්වීම පළවූයේ මෙලෙස ය.
ඡායාරූප ගැනීම – ඒ. ඩබ්ලිව්. අන්ද්‍රෝ මහතා
“යුරෝපයේ ඡායාරූප ගන්නවුන්ට කිසි අමුත්තක් නැතිව ඡායාරූප ගැනීම හොඳාකාරව දත් මේ මහතා කොම්පඤ්ඤවීදියේ දුම්රිය නවතන ස්ථානය අසල තම කර්මාන්ත ශාලාව පිහිටුවා තිබේ. බොහෝ කල් නරක් නොවී තබාගැනීමට ඕනෑම ප්‍රමාණයක ඡායාරූප සකස් කර දෙන්නට පුළුවන් ය. සිංහල අයට පහසු විදියට, ගාස්තුවත් ඉතා ස්වල්ප වශයෙන් ගන්නා බැවින් සියලු සිංහල මනුෂ්‍යයන් හොඳින් සහ ලාබයටත් වැඩ කරවා ගන්නට කැමති නම් මෙම මහත්මයාගේ කර්මාන්ත ශාලාවට පැමිණිය යුතු ය.”
1901 දී මෙරටට පැමිණි වේල්ස් කුමරු හා කුමරියගේ ඡායාරූප ශිල්පියා වූයේ ද ඇන්ඩ්‍රි ය.
1903 පිලිප්පෙ එර්ඩොස් මහතා විසින් අරඹන ලද ‘කොලෝනියල් ෆොටෝග්‍රෆි කම්පනි’ පිහිටවනු ලැබුවේ කොළඹ කොටුවේ ය. වික්ටෝරියා ආකේඞ්හි පිහිටා තිබූ එම ආයතනය ඊස්ට්මන් කොඩැක් ආයතනයේ ලංකා නියෝජිතයා ලෙස කටයුතු කළේ ය. ඔවුන් තම ඡායාරූප ශාලාව නම් කොට තිබුණේ Photo Studio (Atelier) & Requisites යනුවෙනි. සෑම ඡායාරූප අවශ්‍යතාවක් ම ඉටුකළ එම සමාගම ඡායාරූප ශිල්පයේ ඒකාධිකාරයක් ගොඩනංවාගෙන සිටියේය. ආධුනික ඡායාරූප ශිල්පීන්ගේ පටලපට විකාශය කිරීම හා මුද්‍රණ කටයුතු ද ඔවුන් අතින් සිදුවිය.
1890 දෙසැම්බර් 31 දින කොළඹ බ්‍රිස්ටල් ගොඩනැගිල්ලේ ආරම්භ වූ තවත් ඡායාරූප ශාලාවක් විදේශ ගත වන්නන්ට ගමන් බලපත්‍ර සඳහා ඡායාරූප ලබාදීමට කටයුතු කළේය. ඒ. ඩබ්ලිව්. ඒ. ප්ලාටේ නම් වූ එම ඡායාරූප ශාලාවේ හිමිකරුවා මෙරට ඡායාරූප කලාව වෙනුවෙන් සුවිශේෂ මෙහෙවරක් කළ ඡායාරූප ශිල්පියෙකි. ඔහුත් ඔහුගේ බිරිය වූ ක්ලේරා ප්ලාටේ මහත්මියත් තම ව්‍යාපාරය වූ ‘ප්ලාටේ සහ සමාගම’ 1893 කොල්ලුපිටියේ ගාලුපාරේ අංක 267 දරන ස්ථානයට ගෙන එන ලදි. ලංකාවේ ඡායාරූප “රිටචින්/ෆිනිෂිං” ක්‍රමය ඇරඹුවේ ප්ලාටේ මහත්මියගේ සොහොයුරකු වූ හයිනමන් මහතා විසිනි. 1900 මුල් අවදියේ දී ප්ලාටේ සමාගම තම ශාඛාවක් නුවරඑළියේ ද ආරම්භ කළහ.
1882 පමණ කාලයේ දී ජුවන් සිල්වා නමැති ඡායාරූප ශිල්පියකු විසින් එළිමහන් ඡායාරූපකරණයේ නියුක්තව සිටියේ ය. කලක් ස්කීන් සමාගමේ සේවය කළ ඔහු ගාල්ලේ ඡායාරූප ශාලාවක් ආරම්භ කළේ ය. එවක ඡායාරූප ශාලාවල භාවිත වූයේ ‘ප්ලැටිනෝටයිප්’ නමින් හැඳින්වුණු විශාල වීදුරු තහඩු ය. ඉම්පීරියල් තහඩු, ඉල්ෆඞ් තහඩු, ඊස්ට්මන් ඡායාරූප තහඩු, පී.ඕ.සී. තහඩු සහ කොඩැක් තහඩු යනුවෙන් පටල පට වෙනුවට භාවිත කළ තහඩු වර්ග තිබිණි. පටල පටය හඳුන්වාදීමත් සමඟ ගෙවාට්, ඉල්ෆඞ්, කොඩැක්, වෙල්වට්, වොලොක්ස් යනාදී විවිධ පටලපට මෙරට භාවිත විය. ලියර්, බ්‍රවුනින්, වැනි කුඩා අත්කැමරා ආනයනය කෙරිණි. සාමාන්‍ය කැමරාවක් රු. 7.50 වූ අතර උසස් ම වර්ගයේ කැමරාවක් රුපියල් 27.50 සිට 31.50 අතර මිලට අලෙවි විය.
1903 ජනවාරි 22 දින පුවත්පත් දැන්වීමක් පළකළ ස්කීන් සහ සමාගම තමන් ලංකාවේ ඕනෑ ම දිස්ත්‍රික්කයක ඡායාරූප ගන්නා බව සඳහන් කළේ ය. 1900 වන විට යූනියන් පෙදෙසේ ජෝන් සහ සමාගම, ප්ලාටේ, කාගිල්ස් සමාගම, ඇපොතිකරීස්, ටර්මිනස් ආර්ට් ස්ටුඩියෝ, බ්‍රිස්ටල් ස්ටුඩියෝ කොළඹ නගරයේ සුප්‍රකට ඡායාරූපශාලා ලෙස සැලකිණි. පසුකලෙක ස්කීන් සහ සමාගම අභාවයට ගියේ ය. ඉහත සඳහන් ඇතැම් ඡායාරූපශාලා, හිමිකරුවන් හා පරිපාලනය වෙනස් වුව ද ඒ නම්වලින් ම මුල් ස්ථානවල හෝ වෙනත් ස්ථානවල අදත් දැකිය හැකි ය.
එකල ඡායාරූප ශාලා යනු අතිශය ලාභ උපයන ව්‍යාපාරයක් විය. එමෙන් ම එම ව්‍යාපාර පරම්පරාවෙන් ඊ ළඟ පරම්පරාවට දායාද වන ලකුණක් ද පෙනෙන්නට තිබුණේ ය. නමුත් ඉතා පැහැදිලි ව දැකිය හැකි කරුණක් වූයේ එය උපරිම පරම්පරා තුනකට පමණක් සීමා වීම ය. මෑත කාලීන ව ක්‍රමික ව රටේ සිදු වූ දැවැන්ත ආර්ථික පරිහානි ද සමග සහ ඩිජිටල් ආගමනය නිසාත් ඡායාරූපාගාර අවශ්‍යතා මිනිසුන් වෙතින් ගිලිහී ගියේ ය. එම නිසා ඡායාරූප ශිල්පය උරුම කරගත් හතරවැනි පරම්පරාවේ අය අතිශයින් සීමිත විය. එසේ හතරවැනි පරම්පරාවට ද යෂ්ටිය හුවමාරු වූ එක ම ඡායාරූපශාලා ව්‍යාපාරය වන්නේ මාතර, වැලිගම මූලික ව ආරම්භ වූ “විතානගේ“ පරම්පරාව පමණයැයි මම සිතමි. 1959 වසරේ දී, ලංකා ඉතිහාසයේ සිංහල භාෂාවෙන් පළ කරන ලද පළමු ම ඡායාරූප ශිල්ප පොත රචනා කරන ලද්දේ මේ මාතර විතානගේ පරම්පරාවේ මුල් පුරුක වූ එච්. ඇම්. විතානගේ මහතා ය. ඔවුන්ගේ පස්වැනි පරම්පරාව ද ගාල්ල නගරය ආශ්‍රය කරමින්, මේ විෂයය ක්ෂේත්‍රයට අත තබමින් ලෝක වාර්තාවක් පිහිටුවන ලකුණු දැනටමත් පෙනෙන්නට තිබේ.
වසර 1900න් පසු සිරිලක ඡායාරූපාගාර සහ ඡායාරූපශිල්ප වෘත්තිය සිංහල සහ දමිල ව්‍යාපාරිකයන් අතර පමණක් අරක්ගත් ව්‍යාපාරයක් විය. ඒ අතර එක ම එක මුසල්මානු චිත්‍රාගාරයක් නාවලපිටිය නගරයේ පිහිටුවා තිබිණි. වසර 2000න් පසු සිංහල දමිල ඒකාධිකාරය බිඳ දමමින් මුසල්මානු ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් ද මේ ඡායාරූප ව්‍යාපාරයට අත ගැසුවේ ය.
මූලාශ්‍ර
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා – ඡායාරූපමය පුවත්පත් කලාව – ඉතිහාසය හා ව්‍යාප්තිය
ඉන්ද්‍රනාථ තේනුවර – ඩිජිටල් ඡායාරූපකරණය 2 – පිටු අංක 37, 38, 39.