ඩී එස් දයාරත්න

දොන් සේදර ගේ දයාරත්න අප බොහෝ දෙනා හඳුනාගත්තේ ඩී එස් දයාරත්න යනුවෙනි. ඒ ගුවන්විදුලි ප්‍රවෘත්ති ප්‍රකාශය ඔස්සේ එන, මෙන්න ප්‍රවෘත්ති ප්‍රකාශය ඩී එස් දයාරත්න විසින්, යන ගාම්භීර වචන පෙළිනි. ශ්‍රී ලංකාවට මුලින්ම රූපවාහිනිය (ITN – ශාන් වික්‍රමසිංහ) හඳුන්වා දුන් අවස්ථාවේ දී එහි පළමු ප්‍රවෘත්ති නිවේදනය ඉදිරිපත් කරන්නේ ද දයාරත්නයන් ය. ශ්‍රී ලංකාවේ රූපවාහිනී තිරයක් ඔස්සේ විකාශනය වූ පළමු ප්‍රවෘත්ති ප්‍රකාශයෙහි ප්‍රවෘති ප්‍රකාශකයා වූයේ ඔහු ය. එකල ප්‍රවෘත්ති නිවේදකයින් ලාබෙට බඩු වික්කේ නැත. එහෙයින් ඔහුට ද අනන්‍ය වූ ප්‍රවෘත්ති කටහඬක් විය. (එවකට ගුවන්විදුලියේ ප්‍රතාපවත් හඬ පෞරුෂයකට හිමිකම් කී සිරිල් රාජපක්ෂ, අශෝක තිලකරත්න, අමරබන්දු රූපසිංහ, බර්ටි ගලහිටියාව ආදීන් ඔහුගේ සමකාලීනයන් විය.) ඒ ප්‍රවෘත්ති කටහඬ හිතමිතුරු සුළඟක් බවට පත්වූයේ මා ඔහු හා මහනුවර සේවයේ දී සේවය කළ සමයේ දී ය. බොහෝ ඇසූ පිරූ තැන් ඇති වැඩිහිටියෙකු වූ ඔහු නවකයින් වූ අපට නිරන්තරයෙන්ම කියා දුන් පාඩමක් විය. ඒ එහි ගුණාත්මක බව පිළිබඳ පාඩමයි. මොන දේ කළත් එය ඉතා පිළිවෙළට කළ යුතු බව පැවසූ ඔහු ආදර්ශමත් ලෙස එය ප්‍රයෝගිකව ද අප හට ඉටු කර පෙන්වූයේය. එමෙන්ම පිළිවෙල නොමැති තැන ඒ ගැන නොබියව කියා සිටියේය.

මා ලන්ඩන් හි බීබීසී සංදේශය වැඩ සටහනේ සේවය කරන සමයේ මහනුවර නගරයේ බස් නැවතුම් පොළකදී  ඔහුව අහම්බෙන් මුණගැසුනෙමි. ඒ වන විට පුරා වසර 10 ක් පමණ අප හමුවී තිබුණේ නැත. ආගිය තොරතුරු විමසීම පසෙක තබා ඔහු බීබීසී වැඩසටහන් නිර්දය ලෙස විවේචනය කළේය. සංදේශය වැඩසටහන ඒ වන විට කටුක ගුවන්විදුලි අත්දැකීමක් බවට පරිවර්තනය වී ඇතැයි කියා එක එල්ලේ කියා සිටියේ තර්කානුකූලව ය.

මම ඒ විවේචනය එලෙසින්ම සංදේශය කාර්ය මණ්ඩලය වෙත දන්වා සිටියත් යුධ වාර්තාකරණයේ

ගිලී සිටි ඔවුන්ට ඒ විවේචනයට සවන්දීමේ රුචියක් නොවී ය. පසුකලක සංදේශය ගුවනින් ගැලවී යන තුරුම, මේ බව ඔවුන්ට ඒත්තු ගැන්වීම මට කළ නොහැකි විය

ඩී එස් පිළිබඳ කතා ගොන්නකි.

ඔහු මහනුවර සේවයේ පාලකව සිටිය දී එක් නිෂ්පාදිකාවක් මැදිරි වෙන් කිරීම සම්බන්ධයෙන් මතුවූ ගැටළුවක් රැගෙන ඔහු වෙත පැමිණියේ දැඩි ආවේගශීලී විලාශයෙනි. සුපුරුදු පරිදි ම ඩී එස් කිසිදු කලබල ගතියක් නොපෙන්වීය.

” මම ඔයාගේ මහත්තයා නෙවෙයි. මේකේ ලොක්කා. දැන් ලොක්කාට ප්‍රශ්නෙ කියන්න”

නිෂ්පාදිකාවගේ ආවේගය මොහොතකින් සමනය වූයේ සෙසු කාර්ය මණ්ඩලයේ සිනා හඬ මැද්දේ ය.

කාටත් නොමසුරුව උදව් කළ ඩී. එස්.  මගේ නැගණිය මහනුවර පාසලකට දමා ගැනීමට උදව් කළ ආකාරය සිහිපත් වන විට ඔහු ගැන ඇතිවන්නේ ආදරණීය හැඟීමකි.

 ඒ හැඟීම අභිබවා නැගෙන තවත් හැඟීමක් ඇත.

ඒ දැඩි ලෙස අධිකාරිවා දී වූ ගුවන් විදුලි සංස්ථාව තුළ, ඩී එස් නිර්භීතව කොන්ද කෙළින් තබා ගෙන රාජකාරි කටයුතු කිරීම උදෙසා අපගේ සන්තානයන් තුළ ඔහු වෙනුවෙන් උත්පාදනය වූ ගෞරවයයි. කොළඹ පරිපාලනය දේශපාලන බලපෑම් මත තවත් පාලකයෙක් මහනුවර සේවයට එවූ විට ඔහු ඉතා කාරුණික ලෙස එය නව පාලකයාට වටහා දුන්නේ ප්‍රධානීන් දෙදෙනෙක් සිටිය නොහැකි බවය.

නව පාලකයා යළිත් කොළඹ බලා පිටත් විය.

ඔහු හැම විටම සේවකයින් වෙනුවෙන් පෙනී සිටි බව එවකට ගුවන් විදුලියේ සිටි ප්‍රේමලාල් විජේසිංහ සගයා පවසයි.

විශ්‍රාම යාමට ඔන්න මෙන්න තිබිය දී දේශපාලන හේතු මත ඩී එස් දයාරත්නයන් මහනුවර සේවයේ සිට කොත්මලේට පිටමං කිරීමට ඔහුගේ සමකාලීනයකු වූ, එවකට ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ජනදාස පීරිස් තීරණය කළේය. 

” මේක මගේ අත්දෙක බැඳලා ගත්ත තීරණයක්, මං ඔයාට කොළඹ තනතුරක් දෙන්නම්” ජනදාස පීරිස් පාපෝච්චාරණයක් කළේය.

යළිත් මහනුවරට පැමිණි ඩී. එස්.  දයාරත්න තම ඉල්ලා අස්වීමේ ලිපිය කොළඹට තැපැල් කොට තමන් රැකියාව අත් හරින බව දැන්වූයේය.

එතැන් පටන් ශාස්ත්‍රීය කටයුතු සඳහා තම දිවිය කැප කළ ඩී. එස්. දයාරත්න දැන් ඉතා අගනා පරිවර්තන කෘති සම්පාදනය කරමින් කාලය ගත කරයි. දැනට වසර දෙක තුනකට පෙර සිරිලක මුල්ම නාරිවේද විශේෂඥ වෛ‍ෙද්‍ය ලූෂන් ද සිල්වාගේ ස්වයංලිඛිත චරිතාපදානය “ ජීවක ජීවන චාරිකා” නමින් පරිවර්තනය කළ ඔහුගේ නවතම කෘතිය “රේඩියෝ සිලෝන් මයික්රෝෆොනයෙන් සැඟවුණු කතා” නමින් එලි දක්වා තිබේ. එය ගුවන් විදුලි විෂයයේ ඉංග්‍රීසි මාධ්‍ය විශේෂඥයෙකුව සිටි මර්වින් ජයසූරිය මහතාගේ The Three F’s Behind Radio Ceylon Microphone කෘතියේ සිංහල පරිවර්තනයයි. ඒ මහඟු කර්තව්‍යයන් තුළ ඔහු විසින් වගාකර ගත් ගුණාත්මක බව සුරැකී තිබේ. සැහැල්ලු සිතින්, සුන්දර සිනහවෙන් යුතුව අදත් මහනුවර වීදි දිගේ ඇවිද යන ඩී එස් දයාරත්න අපට නම් සුන්දර දසුනකි. ප්‍රියයාණෙනි මේ ජීවිතය තුළ ඔබ හමු වීම ගැන මම අවංකවම සතුටු වෙමි.

One Response

  1. Beautifully written. Captures the true self of DS Dayaratne, a simple, humble and an honest human being. Thank you!

Comments are closed.

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත