වැරදිලා හොඳ දත් ගැලවීම…..

Anchor-alochana-column

අප නාවික හමුදාවට බැඳෙන විට නාවික හමුදාපති වූයේ රියර් අද්මිරාල් අශෝක ද සිල්වායි. නාවික හා සමුද්‍රයීය විද්‍යා පීඨයේ Commandant ලෙස කටයුතු කළේ කැප්ටන් තිසේරා. එහි Training Commander වූයේ කොමාන්ඩර් රාජරත්නයි. (ඉන්දීය නාවික හමුදා බල ඇණිය ඉදිරියට ගිය රාජරත්න ගැන කතා පසුවට)

අපගේ පුහුණුව සකස් කොට තිබුණේ විද්‍යා පීඨයේ න්‍යායික හා ප්‍රායෝගික පුහුණුව, (Theory & Practical training) කැලෑ පුහුණුව (Jungle training), මුහුදේ පුහුණුව (Sea training), වෙඩි පුහුණුව (Firing training) ලෙසිනුයි.

න්‍යායික පුහුණුව සඳහා දේශන පැවැත්වීමට වෙන් වෙන්ව පාසල් පිහිටුවා තිබුණා. අප වෙන් කොට තිබූ අංශය අනුව වෙන වෙනමත්, පොදුවේත් උදේ වරුවේ දේශන පැවැත් වුණේ දිනපතා පෙරඩ් ග්‍රවුන්ඩ් ගොස් මාච් ෆාස්ට් කිරීම පුහුණු වීමෙන් පසුවයි. 

“කණ්ඩායම …. සීරුවේන් සිටින්…! කණ්ඩායම… පහසුවේන් සිටින්…! කණ්ඩායම…ගමනේ යා…. වම…දකුණ..වම .! Left ..right…left…!”

Gunnery Instructor රත්නතුංගගේ හඬ පිටියෙන් පිටතත් ගිගුම් දුන්නා. නියෝග වලට ඒ ආකාරයෙන්ම අවනත වීමට අපව හුරු කළා. වැරදීමක් වූ විට punishment ලැබුණා. ක්‍රමක්‍රමයෙන් සියලු දෙනාම එකම නියෝගයකින්, එකම රිද්මයකට මාච් ෆාස්ට් කරන්න පුරුදු වුණා. සීරුවේන් සිටින් විධානයට දකුණු පාදය ඔසවා පොළොවට පතිත කරද්දී අප කණ්ඩායමේ 16 දෙනාගේම පාද එකම මොහොතක චරාස්…හඬින් බිම පතිත විය යුතු වුණා. එක් අයෙකුගේ හෝ පාදයක් පමා වී චරාස්..චරස් …ලෙස හඬ පිටවුණා නම් හැමෝටම පිටිය වටා රවුම් කිහිපයක් දිවීමේ දඬුවම් ලැබුණා. එකෙකුගේ වරදකින් බොහෝ විට කණ්ඩායමටම දඬුවම් දීම කණ්ඩායම් සාමුහිකත්වය පුරුදු කිරීමේ උපක්‍රමයක්.

ඉන් අනතුරුව විවිධ පාසල් වෙත ගොස් දැනුම ලබා ගන්නා අතර rigging හා knots (කඹ පරිහරණය හා විවිධ ගැට) ප්‍රායෝගිකව ඉගැන්වූවා. මුහුදේදී නැව් හා යාත්‍රා ජැටියට සම්ප්‍රාප්ත වීමේදී හා නික්ම යාමේදී මේ පුහුණුව ඉතා වැදගත්.

ඒ අතර වෛද්‍ය පරීක්ෂණ වලට සහභාගී වීම අනිවාර්ය වුණා. වෛද්‍ය පරීක්ෂණයෙන් අසමත් වුවහොත් දොට්ට දමන බව අප දැනගෙන හිටියා.

නාවික රෝහල පිහිටා තිබුණේ පුහුණු විද්‍යා පීඨයට යාබදවයි. අපව කුඩා කණ්ඩායම් ලෙස ඊට සහභාගී කරනු ලැබුවා. මා විටින් විට මද දුරකින් නිතිපතා දුටු පුහුණු වන නාවික සෙබළිය හා කතාබහ කරන්නට ලැබුණේ මෙසේ රෝහලට ගිය විටයි. ඇයත් පැමිණ සිටියේ වෛද්‍ය පරීක්ෂණ සඳහායි. ඒ මා විශ්වවිද්‍යාල සිසුවෙකුව සිටියදී මහනුවර ගුවන්විදුලි සේවයේ වැඩසටහන් වලට සහභාගි වීම සඳහා ගිය විට හඳුනාගත් ශිල්පිනියක වූ ලංකා සොයුරියයි. ගුවන්විදුලි නාට්‍ය හා විචිත්‍රාංග සඳහා අප දෙදෙනා එකට හඬ කවා තිබුණා. ඒත් නාවික හමුදාවේදී ඇය සාමාන්‍ය සෙබළියක් හා මා අධිකාරීලත් නිලධාරියෙකු ලෙස විශාල පරතරයක් නිරායාසයෙන්ම ගොඩනැඟී තිබුණා.

නාවික රෝහලේ සිවිල් තාක්ෂණ ශිල්පියෙකු ලෙස රැකියාව කළ අනුර බී. සෙනෙවිරත්න කවියා මුණ ගැසීමෙන් පසු නාවික හමුදාව ගැන බොහෝ තොරතුරු දැන ගත්තා.

දන්ත රෝහලට ගොස් දත් පරීක්ෂා කළ පසු මගේ වම් යටි හක්කේ නරක් වූ දතක් ගැලවිය යුතු බව දන්ත වෛද්‍ය සින්නයියා තීරණය කළා. ඒ, අප නාවික හමුදාවට බැඳෙන විට Midshipmen වූ මෑතකදී නාවික හමුදාපති ලෙස කටයුතු කළ ට්‍රැවිස් සින්නයියාගේ පියතුමායි. විශ්‍රාම වයසට ළංව සිටි කොමාන්ඩර් සින්නයියා වැරදි දත් ගලවන්න රුසියෙක් බවයි ජ්‍යෙෂ්ඨයින්ගේ අදහස වුණේ. එහි සත්‍යාසත්‍යතාව කවරක් වුවත් මා දත ගලවන්න ගියේ පරාණ බයේ.

මගේ දකුණු යටි හක්කට හිරිවැටෙන්න ඉන්ජෙක්ෂන් එකක් ගැසූ පසු මට ම මගේ දත් තෝරාබේරා ගෙන සිතින් හඳුනාගන්න අපහසු වුණා.

මගේ බිය තවත් වැඩි වුණේ දත් දොස්තරගේ මුවින් මත්පැන් ගඳක් වහනය වූ බැවිනුයි. දත ගලවා හිරි ඇරුණු පසු ගලවා ඇත්තේ නිවැරදි දත බව දැනගන්නා තුරුම මා සිටියේ විචිකිච්ඡාවෙන්.

සෙස්ස පස්සට….

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත