වචනෙ වැරදුණොත් මළ කෙලියයි

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

අප පේරාදෙණිය සරසවියේ සිප් සතර හදාරද්දී තෝරාගත් එක් විෂයයක් සිංහලයි. සිංහල භාෂාවේ නූතන සිංහලය ගැන අපට කියාදුන්නේ මහ ඇදුරු එදිරිවීර සරත්චන්ද්‍රය. එතුමන්ගේ මුල්ම දේශනය ‘කවියාගේ හා විද්‍යාඥයාගේ වචන භාවිතයයි’.

දේශනයේ හරය මෙසේය.

වචන විවිධ පරමාර්ථ මුල්කර ගනිමින් භාවිතා වේ. විද්‍යාඥයෝ කිසියම් නිශ්චිත යමක් හැඳින්වීමට නිශ්චිත අරුතක් දෙන, භාවික හැඟීම් ඉස්මතු නොකරන වචන භාවිතා කරති. බොහෝවිට මේ වචන පාරිභාෂික වචන නමින් හඳුන්වයි. උදාහරණයක් ගතහොත් අප ජීවත්වන, අප පොළව නමින් හඳුන්වන ග්‍රහ වස්තුව හැඳින්වීමට භූ විද්‍යාඥයන් භාවිතා කරන්නේ පෘථිවිය නම් වචනයයි. පෘථිවිය යැයි කිව් විට සෞරග්‍රහ මණ්ඩලයට අයත් වෘත්තාකාර හැඩයකින් යුක්ත කිසියම් දිග පළලකින් හා ප්‍රමාණයකින් යුක්ත අංශක 23 ක් ඇලව පිහිටි තමා වටේ භ්‍රමණය වෙමින් සූර්යයා වටේද භ්‍රමණය වන ග්‍රහ වස්තුවක් හැඳින්වේ.

නමුත් පෘථිවිය යන්නට පොළව, මිහිකත, මිහි මඬල, දෙරණ ආදී තවත් නොයෙකුත් වචන භාවිතා වේ

“පොළව පැලෙන බොරු කියන්න එපා.”

“පොළව පලාගෙන අපායට යාවි.”

වැනි යෙදුම්වලදී අපේ සිතට විවිධ හැඟීම් පහළ වේ.

මිහිකත නලවාලා – මඟ මල් ගන්වාලා යැයි කියනවිට පෘථිවිය සමාන කරන්නේ කාන්තාවකටය. එවිට අප සිත් තුළ ඇතිවන්නේ සියුමැලි ගැහැණියක වැනි සුකුමාර වස්තුවකි.

මේ විදියට කවියෝ මිහිමඬල, මහී කාන්තාව, දෙරණ වැනි භාවිත වචනද උචිත තැන්හි භාවිතා කරති. එවැනි වචන යෙදූ තැන අනුව අප සිත් තුළ ශෝකය, ආදරය, කරුණාව, කෝපය, පිළිකුල, භය වැනි භාවිත හැඟීම් ඇතිවේ. නමුත් පෘථිවිය යැයි කිව් විට අප තුළ එවැනි භාවිත හැඟීම් ඉස්මතු නොවේ.

ශරීරයේ විවිධ අංග හැඳින්වීමට වෛද්‍යවරු හා වෙනත් විද්‍යාඥයෝ එවැනි නිශ්චිත යෙදුම් භාවිතා කරති. නමුත් කවියන් භාවිතා කරන්නේ හැඟීම් ඉස්මතු කරන යෙදුම්ය.

Backbone විද්‍යාඥයන්ට කශේරුවය. කවියෝ කොන්ද, කොඳු ඇට පෙළ වැනි භාවිත වචන පාවිච්චි කරන්නේ මෙකී කශේරුවටමය.

කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන එන ආච්චි ගැන කවියන් පැබඳූ කවිය කශේරුව නමාගෙන, හැරමිටි ගහගෙන යැයි කීවොත් නුහුරු ගතියක් දැනෙන්නේ මේ නිසාය. Liver යනු ශරීරයේ වැදගත් අවයවයකි. කවියෝ පීකුද්ද, ඇතැම්විට කැවුත්ත නමින් හඳුන්වති. මේ අවයවයට විද්‍යාඥයන් කියන්නේ අක්මාව කියාය. මේ වගේම Heart යන්න

විද්‍යාඥයන්ට හෘදය වස්තුවය. පෙම්වතුන් පෙම්වතියන්ට ළය මඬල වන්නේත් පෙම් හදවත මෝරලා යැයි සිංදු තනන අයට ප්‍රේමය මෝරන විට මෝරන අවයවයක් වන්නේත් මේ හෘදය වස්තුවමයැ.

සමහරු හෘදය වස්තුව හැඳින්වීමට කැවුත්ත කියාද භාවිතා කරති.

මස් කඬේට මස් ගන්න ගිහින් අප ඉල්ලන්නේ කැවුතු නොව පීකුදුය.

“ඇඟේ ලේ අඩුයි. පීකුදු කෑවොත් හොඳයි” කියන දොස්තර “කැවුතු කෑවොත් හොඳයි” කීවොත් ජංජාලයකි.

මේ නිසා කවියන් විද්‍යාත්මක වචන යොදා කවි ලිව්වොත්, විද්‍යාඥයන් භාවිත වචන යොදා පරිභාෂිත වචන විස්තර කළොත් සිදුවන්නේත් මේ වගේ සංතෑසියකි.

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Ad
වර්ගීකරණය
කර්තෘ
සංරක්‍ෂිත