මුහුදු පුහුණුවෙන් පසු යළි විසිර යාම තෙක්…

එඩිතර නෞකාවේ මාසයක පමණ මුහුදු පුහුණුවෙන් පසු නාවික හා සමුද්‍රයීය විද්‍යා පීඨයේ දෙවෙනි හා අවසන් අදියර පුහුණුව සඳහා නැව් වල හා විවිධ ආයතන වල සිටි අප සියලු දෙනාවම නැවත ත්‍රිකුණාමලයට කැඳවනු ලැබුවා.

සැපයුම් අංශයේ පුහුණු වන නිලධාරීන් යාපනයේ “එළාර” කඳවුර හා ත්‍රිකුණාමලයේ නාවික කඳවුර වෙත අනුයුක්ත කොට තිබූ අතර විධායක හා ඉංජිනේරු අංශවල පුහුණු වන නිලධාරීන් අනුයුක්ත කොට තිබුණේ නෞකා හා ප්‍රහාරක යාත්‍රා වෙතයි.

අප යළිදු එක් වූයේ විසිර යාමේ පෙළපාළිය සඳහා පුහුණුව ලබන අතර තුර මාසයක කාලයක් ලැබූ ප්‍රායෝගික පුහුණුව සිද්ධාන්ත සමඟ ගලපා ගැනීමටයි. එළැඹී මාස කිහිපය අප ඉතා අවිවේකී වූවා සේම මුල් වටයට වඩා කිසියම් නිදහසක්ද භුක්ති වින්දා.

මා ඊට හේතුව ලෙස දකින්නේ අප ක්‍රමක්‍රමයෙන් නාවික හමුදා ජීවිතයට හුරු වෙමින් සිටීමයි. ඒ අනුව උසස් නිලධාරීන් ඉදිරියේ හැසිරිය යුතු ආකාරයත්, ඔවුන් හා ගනුදෙනු කළ යුතු ආකාරයත් අප ගෙවී ගිය කාලයේ ඔවුන් සමඟම හැල හැප්පිමෙන් අවබෝධ කොට ගෙන තිබුණා.

එසේම නෞකා හා ආයතන වලට අනුයුක්තව සිටීම නිසා නාවික හමුදාවේ නිලධාරීන් විශාල ප්‍රමාණයක් අපට මුණ ගැසී තිබුණා.

විද්‍යා පීඨයේ ගුරුවරුන්ගේ භූමිකාව රඟන නිලධාරීන් හා පුහුණුව ලබන නිලධාරීන් අතර වූ දුරස්ථභාවයට හාත්පසින්ම වෙනස් සමීප සබැඳියාවක්, විශේෂයෙන් නෞකා හා ප්‍රහාරක යාත්‍රා වල පුහුණුව ලබද්දී ඒවායේ නිලධාරීන් හා පුහුණු වන නිලධාරීන් අතර ඇති වුණේ නිරායාසයෙන්.

ආවේක්ෂණ කලාපයේ නෞකාවක හෝ ප්‍රහාරක යාත්‍රාවක එක දිගට දිවා රෑ දින ගණන්, සති ගණන් රැඳෙනවා යනු ජීවිතයත්, මරණයත් අතර දෝලනය වන කාලයක්, මරණ බිය කා හටත් පොදුයි. එය උසස් නිලධාරියෙකුද, පුහුණු වන නිලධාරියෙකුද කියා වෙනසක් නැති හැඟීමක්.

කොයි මොහොතේ මුහුදු කොටි ප්‍රහාරයක් ඇති වේද? කොයි මොහොතේ “floating bomb” වල නැව වැදී පුපුරා යාවිද යනාදී ලෙස අවිනිශ්චිත ගමනක තමයි යෙදෙන්න සිදුවී තිබුණේ. ඒ වන විට කුඩා බෝට්ටුවක් දෙකක් මුහුදු කොටි ප්‍රහාර වලින් දියබත් වී තිබුණා.

කෙසේ වුවත් විසිර යාමේ පෙළපාළිය දවසේ අධිකාරිලත් නිලධාරීන් ලෙස නාවික හමුදා සේවයට එක් වන තුරු ඉහළ නිලධාරීන් අපව අතේ දුරින් තබා ගැනීමට උත්සාහ කළේ පැවති සම්ප්‍රදාය අනුව බව මගේ විශ්වාසයයි.

අප සමඟ විසිර යාමට නියමිත තවත් කණ්ඩායම් දෙකක් සිටියා. එකක් කැඩෙට් බඳවා ගැනීම් යටතේ නාවික හමුදාවට එක් වී “midshipmen” ලෙස පුහුණුවෙමින් සිටි පිරිසයි. මෑත යුගයේ නාවික හමුදාපති ධූර දැරූ රියර් අද්මිරාල්වරුන් වන රණසිංහ හා සින්නයියා සිටියේ ඒ කණ්ඩායමේ. දැනට නාවික හමුදාපති ධූරයේ කටයුතු කරන රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අපට පසුව විසිර යන කණ්ඩායමට අයත් වුණා.
එසේම අප සමඟම සමකාලීනව නාවික හමුදාවට බඳවා ගත් පළමු නාවික කාන්තා නැවි බලකායත් විසිර යාමට නියමිත වුණේ අප සමගම එකම පෙළපාළියකදී. ඒ නිසා එම විසිරයාමේ පෙළපාළිය වඩාත් වර්ණවත් වුණා.

සුදු ඇඳුමෙන් සැරසී තුවක්කු රැගෙන කාන්තා නැවියන් පෙළපාළියේ ගමන් කරද්දී විසිර යන නිලධාරීන් කඩු අතින් ගෙන පෙළපාළියට එක් වුණා.

ඒ අත්දැකීම ජීවිතයේ කෙනෙකුට අත්විඳින්නට ලැබෙන ඉතා දුර්ලභ අවස්ථාවක්. පෙරඩ් පිටිය පුරා බූට් සපත්තු වල චිරි චිරියත්, පෙළපාළිය සීරුවෙන් සිටීන්, පෙළපාළිය පහසුවෙන් සිටීන්, පෙළපාළිය දකුණු පෙළ බලා ගමනේ යා…. යනාදී ලෙස Gunnery Instructor (GI) රත්නතුංගගේ දෝංකාර දුන් හඬත් මේ මොහොතේත් මට සිහිපත් වෙනවා.

විසිරයාමේ පෙළපාළිය දා රාත්‍රියේ ත්‍රිකුණාමලය නාවික කඳවුරේ නිලධාරී නිවස්නයේ පැවති සාදයේදී අපට මුල් වරට මත් පැනින් සංග්‍රහ කරනු ලැබුවා. අපට ඉහළ නිලධාරීන් මචං කියා අමතන්නට පටන් ගත්තා. හැමෝම එකම පවුලක සහෝදරයින් වගේ ප්‍රීතියට පත් වුණා. අපට පසුදින සිට නිලධාරී නිවස්නයේ D බ්ලොක් එකේ කාමර වෙන් කොට දී තිබුණා.

ඒ සමඟම යළි එකිනෙකා දිවයින පුරා නාවික හමුදා ආයතනවලටත්, නෞකා හා ප්‍රහාරක යාත්‍රා වලටත් අනුයුක්ත කෙරෙන ආඥා නිකුත් වී තිබුණා.

කලින් පුහුණුව ලැබූ එඩිතර නෞකාවේම සහායක ඉංජිනේරු නිලධාරියා (Assistant Engineer Officer) ලෙස මා පත් කොට තිබුණා.

 සෙස්ස පස්සට

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත