ශ්‍රී ලංකා ද්වීපයේ බුදු දහම තහවුරු කිරීමට චුල්ල හත්ථි පදෝපම සූත්‍රයේ දායකත්වය…

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

ලංකාද්වීපයට බුදු දහම හඳුන්වා දීමෙන් පසුව මෙරට ජනයා නව දහම වැළඳගත්තේ තමන් එතෙක් විශ්වාසය තැබූ ප්‍රාග් බෞද්ධ ඇදහිලි මුළුමනින්ම අතහැර දමා නොවේ. ඒ වෙනුවට එම විශ්වාසයන් ද යම් තරමකට බුද දහමට ඈඳාගැනීමට ඔවුහු උත්සුක වූහ. අද දක්වා ජනප්‍රියව පවතින බෝධි පූජා, බාරහාරවීම්, යාදිනි සහ කන්නලව් ආදිය මෙයට හොඳම නිදර්ශන ලෙස දැක්විය හැකිය. මේ පිළිබඳ වෙනත් ලිපියකින් කරුණු දැක්විය යුතු යැයි හැඟේ. කෙසේ වුවත් බුදු දහම නිසා එම ප්‍රාග් බෞද්ධ ඇදහිලි යම් තරමකට මැඩගෙන නිර්මල ධර්මාවබෝධය ලැබීමට තරම් මෙරට ජනයා වාසනාවන්ත විය.

අනුරාධපුර පළමු රජු වශයෙන් සැලකෙන පණ්ඩුකාභය (ක්‍රි.පූ.437-367) රජුගේ පුත් මුටසීව රජුගේ ඇවෑමෙන් ඔහු පුත් තිස්ස මෙරට රාජ්‍යත්වයට (250-210) පත්වුනි. ඒ වනවිටත් ලංකාද්වීපයේ පැවතියේ ‘ගාමිණී‘ වරුන්ගේ පාලන ක්‍රමයක් බව ඉතිහාසයෙන් පැහැදිළි වෙයි.
‘වාණිජා සමිතිං කත්වා නා නා රට්ඨතො ආගතා
ධනහරාය පක්කංසු එකං කත්වාන ගාමිණිං‘
‘නොයෙක් ප්‍රදේශවලින් පැමිණි වෙළෙන්දෝ රැස්වී එකෙකු ගාමිණී කොටගෙන ධනය සොයනු පිණිස නික්මුණාහුය‘ (Jathaka Nidhana -iv- p35 and Rouse’s Translation – p222)

දඹදිව අශෝක අදිරජුගේ අනුග්‍රය යටතේ මෙරට ගාමිණී පාලනය යටපත් කර රාජාණ්ඩු ක්‍රමයක් බිහිවිය. එයට පුරෝගාමී වූ තිස්ස ඒ යටතේ පළමු රජු ලෙස සැලකේ. අශෝක අදිරජුගේ අභිධානය වූ ‘දෙවියන්ට ප්‍රිය‘ නාමය තිස්ස රජු ද එවක් පටන් තම නමට ද ඈඳාගත්තේ, ‘දේවානම්පිය තිස්ස‘ නම් විය. එහෙත් ඒ යුගයේ ශිලා ලිපිවල වුවද රජු හඳුන්වා ඇත්තේ ‘දෙවනපිය ගමිණි තිස‘ නාමයෙනි. මෙසේ රාජාණ්ඩු ක්‍රමය හඳුන්වා දීමත් සමගම අශෝක අදිරජු මෙරට බුදු දහම ප්‍රචලිත කිරීමට ද මූලික වූයේය. තම පුත් මහින්ද මහ රහතන් වහන්සේ මෙරටට වැඩම කරවන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ඒ ක්‍රි.පූ.247 වර්ෂයේ පොසොන් පුන් පොහෝ දිනයේ දීය. මෙරට බුදු දහම ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා එතුමන් වහන්සේ සමග උත්තිය, ඉට්ඨිය, භද්දසාල සහ සම්බල තෙරණුවන් සිව් නම ද, සුමන සාමනේර හිමි සමග භණ්ඩුක උපාසක ද පැමිණියහ. මේ සිද්ධිය දීපවංශයේත් (ක්‍රි,පූ.4) මහාවංශයේත් (ක්‍රි,පූ.5) සඳහන්ව ඇත. මිහිඳු මා හිමිගේ පැමිණීම දැක්වෙන වංශකතා තොරතුර තහවුරු කිරීම සඳහා පුරාවිද්‍යාත්මක සාධක ලැබී තිබීම අති විශේෂ වූ කාරණයකි. අම්පාර දිස්ත්‍රික්කයේ රජගලතැන්න ඓතිහාසික පුද බිමේ පිහිටි ඉපැරණි ගිරි ලිපියක මෙසේ අභිලේඛනය කර ඇත. “යෙ ඉමදිප පටමය ඉඩිය අගතන ඉටික තෙර මහිද තෙරහෙ තුබෙ”
මෙහි අර්ථය නම්, “මෙම දිවයිනෙහි උත්කෘෂ්ඨ භාග්‍ය සඳහා පැමිණි ඉට්ඨිය හා මහින්ද තෙරුන්ගේ ස්ථූපයයි”. (Inscriptions of Ceylon – Vol.1 35p) මෙය ලියැවී ඇති බ්‍රාහ්මී අක්ෂර හා භාෂාව අනුව එය ක්‍රි.පූ. 3වන සියවසේ අග භාගයට අයත් බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා තහවුරු කරයි. මිහිඳු මා හිමි ලංකාවට වැඩම කළ බව තහවුරු කරන මහා දාඨික මහානාග රජුගේ (ක්‍රි.ව.07-19) මිහින්තලේ ගිරි ලිපියද මෙහි ලා සඳහන් කළ යුතුය.
මිහිඳු මා හිමියන් වහන්සේ දෙවනපෑතිස් රජුට තමන් ඇතුලු පිරිස හඳුන්වා දෙන්නේ ධර්ම රාජයන්ගේ ශ්‍රාවකයින් වශයෙනි. දඹදිව සිට මෙරට ජනයා කෙරෙහි අනුකම්පාවෙන් දහම් දෙසීමට පැමිණි බව පවසති. එතුමාණෝ මිස්සක පවුවේදී රජු මුණගැසුන අයුර ආදිය කුඩා ළමුන් පවා දන්නා බැවින් මෙහි සඳහන් නොකළ ද රජු ඇතුලු පිරිසට මුලින්ම දේශනා කළ ධර්මය කුමක්දැයි යම් වටහා ගැනීමක් අප තුළ තිබිය යුතුය. බුදු දහම පිළිබඳව කිසිත් නොදන්නා පිරිසකට බුදු දහම කුමක්දැයි හඳුන්වා දීම මෙන්ම ඒ අය බුදු දහම වැළඳ ගැනීම පිණිස උනන්දු කරවීමට කුමන අන්දමේ `දේශනාවක් කළ යුතු දැයි මිහිඳු හිමි මනාසේ වටහාගෙන තිබූ බව එතුමාණන්ගේ මුල්ම දේශනාවෙන් පැහැදිලි වේ.
එතුමාණෝ ඒ සඳහා තෝරාගන්නේ බුදු හිමි විසින් දේශනා කරන ලද මජ්ඣිම නිකායේ චුල්ල හත්ථි පදෝපම සූත්‍රයයි. මෙය කෙතරම් ඤාණාන්විත තෝරාගැනීමක්දැයි විමසා බලමු. මිහිඳු මහ රහතන් වහන්සේට රජු මුණගැසෙන්නේ වන පියසකදී බව අප දනිමු. එනිසාම දෝ මිහිඳු හිමි පළමු ධර්ම දේශනය සඳහා තෝරා ගත්තේ වනයට අදාල කතාවකින් ඇරඹෙන චුල්ල හත්ථි පදෝපම සූත්‍රයයි. එහිදී මුලින්ම වනයේ දී නියම සද්දන්ත ඇතෙකු හඳුනාගන්නා අයුර බුදුන් වහන්සේගේ දේශනාව අනුව පහදා දෙති. ඇත් අඩි සලකුණේ විශාලත්වයෙන් හෝ ගස්වල දළ ඇනි පහරවල උස අනුව හෝ, අතු කඩා බිඳදැමූ ප්‍රමාණයේ උස අනුව හෝ මහ ඇතා හඳුනාගත නොහැකිය. ඊට අමතරව තවත් බොහෝ කරුණු සලකා බැලිය යුතු වෙයි. ඒ අයුරින්ම බුදුන් වහන්සේ කවරෙක් ද සංඝයා වහන්සේලා කවර පිරිසක් ද ආදී තොරතුරු මේ සූත්‍රයේ අඩංගුය.
බුදුන් වහන්සේ දැනුමෙන් සහ චරණයෙන් පිරිපුන් නිසා විජ්ජාචරණය. මනා ගති පැවතුම් ඇති බැවින් සුගතය. ලෝ තතු දත් බැවින් ලෝකවිදුය. අනුත්තරය. හික්මවිය යුතු පුරුෂයන් දමනය කළ හැකි බැවින් පුරිස දම්මසාරථීය. දෙව් මිනිසුන්ට ගුරුවරයෙකි. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත් උත්තමයෙකි. ඉන්පසු බුදුන් වහන්සේ පැවිදි දිවියට පිළිපන් අයුර විස්තර වෙයි. එසේ මහණ වූ බුදුන් වහන්සේත් එතුමාණන්ගේ ශ්‍රාවක භික්ෂු පිරිසත් සීලයෙන් යුක්ත වූහ. ප්‍රාණ වධයෙන් මුළුමනින්ම වැළකුනහ. අවි ආයුධ පරිහරණයක් නොමැත්තේය. පවට ලැජ්ජා වූහ. කරුණාවන්තයහ. සියලු ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පාවෙන් වසති. නුදුන් දෙය නොගනී. සොර සිතක් නොමැත. පිරිසිදු සිතින් අබ්‍රහ්මචරියාවෙන් කල් ගෙවති. අසත්‍ය නොපවසති. සැබෑ වචන පවසන්නේ සැබවින්ම සැබෑව ගළපන ගති ඇතිව ස්ථිර කථා ඇත. ලෝකයා අතර විරුද්ධ කථා ඇති නොකෙරේ. මිනිසුන් අතර බිඳවීම් ඇති නොකරති. භේද නොකරති. සමගි වූවන්ගේ සමගිය තහවුරු වීමට අනුබල දෙති. සමගියෙහි ඇලුම් බහුලකොට ඇත. පරුෂ වචන භාවිතයක් නොමැත. යම් වචනයක් නිදොස් වේද බොහෝ දෙනාට ප්‍රියද, කණට මිහිරි ද ප්‍රේමණීය ද සිත් සතුටු කරයි ද යහපත් ද එබඳු අයුරින්ම භාෂණයේ යෙදෙති. ප්‍රලාප පවසන්නේ නැත. කාලයට සුදුසු දෑම කතා කරති. අර්ථයෙන්, ධර්මයෙන්, විනයෙන් යුත් උපමා හා කරුණු සහිතව සීමා ඇතිව බස මෙහෙයවන්නෝය. නිධානයක්මෙන් සිතෙහි තැන්පත් කරගත යුතු වචනම පවසන්නාහ.
පැලෑටියේ සිට සියලුම ගස් වැල් සිඳීම් බිඳීම් නොකරති. දිනකට එක වේලක් වළඳන්නේ රාත්‍රි භෝජනයෙන් හා නොකල්හි භෝජනයෙන් වැළකුනාහ. නැටුම් ගැයුම් වාද්‍ය වෘන්ද ආදියෙන් ද විසූක දර්ශණයන්ගෙන් ද වැළකුනේ වෙයි. මල් පැළඳීම් සුවඳ විළවුන් ගැල්වීම් හා ඒවායින් සැරසීමෙන් ආදී තමන්ගේ අඩුතැන් පුරවමින් අලංකාර කරගැනීමෙන් තොරවෙති. උස් ආසන මහ ආසන පරිහරණයක් නොමැත. රන් රිදී මසුරන් කාසි කහවණු නොපිළිගනිති. අමු ධාන්‍ය, අමු මස් ද පිළි නොගනී. ස්ත්‍රීන්, තරුණියන්ගෙන් තොරවූයේ වෙයි. මෙහෙකාර මෙහෙකාරියන් නැත. එළු, බැටලු, ඌරු, කුකුළ් මෙන්ම ඇත්, අස්, ගව ආදී සතුන් පිළිනොගනී. කෙත් වතු නැත. ගිහියන්ගේ දූත මෙහෙවරවල නොයෙදෙයි. විකිණීම් සහ මිලට ගැනීම් ද නොකරති. රැවටීම්, වඤ්චා බලහත්කාරකම් කිසිසේතම නැත.
කය වැසීමට සිවුර ද යැපීමට ප්‍රමාණවත් ආහාරයෙන් ද තෘප්තිමත් වෙති. ඉන්ද්‍රිය සංවරයෙන් මනා සේ තැන්පත්ය. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදියේ දී කෙලෙසුන්ගෙන් තෙත් නොවූ නිරාමිස සැපය පමණක් විඳින්නාහ. සතර ඉරියව්වෙහිදීම නුවණින් යුතුව ඒ බැව් දැන අවධානයෙන් යුතුව ක්‍රියා කරන්නාහ. අනුභවය ද පානය ද රසවිඳීම ද නුවණින් යුතුවම කරති. මල මුත්‍ර පහ කිරීමේදී වුව ද නුවණින් යුතුව ඒ බැව් දැන ක්‍රියා කරති.
පිණ්ඩපාතයෙන් ලද කුමන හෝ අහරක් වළඳා අවසන් වූයේ, පසු බත් කාලයෙහි ආහාරයෙන් වැළකී පර්යංකයෙන් ශරීරය සෘජුව තබාගෙන සිත අරමුණෙහි පිහිටුවා හිඳගනියි. එහිදී තෘෂ්ණා හෙවත් ලෝභ රහිත සිතින් සිත පිරිසිදු කරගනී. සිත කෙලෙසන ක්‍රෝධයෙන් දුරුවූයේ වෙයි. සියලු සතුන් කෙරෙහි කරුණවෙන් සිත පුරවා ගනී. කයෙහිත් සිතෙහිත් අලස බව නම් වූ ථීන මිද්ධය දුරුකර ගනී. ඇතුළත සංසිඳුන චිත්තසන්තානය සඳහා උද්ධච්ච කුක්කුච්චයෙන් තොරව සිත පිරිසිදු කරගනී. විචිකිච්චාව හෙවත් සැක දුරු කරගනී. මෙසේ සිත කිලිටි කරන ප්‍රඥාව දුර්වල කරන පංච නීවරණයන්ගෙන් මිදුනේ වෙයි.
භාවනාවෙන් විතර්ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථම ධ්‍යානයට සපැමිණ වාසය කරති. මෙය තථාගතයන් වහන්සේගේ ඤාණ පදය වශයෙන් හඳුන්වති.
මේ සියල්ල එක්තැන් වූ කල භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධ කියාද, එතුමාණන් දෙසූ ධර්මය යහපත්කොට දේශනා කරන ලද්දේ යැයි කියාද, එතුමන්ගේ ශ්‍රාවක සංඝතෙම යහපත් මගට පිළිපන්නේ ය කියාද හැඳින්විය හැකිය.
මෙසේ දන්නා, දක්නා සිත කාම ආශ්‍රවයන් කෙරෙන් බිඳේ. භව ආශ්‍රවයන් කෙරෙන් බිඳේ. අවිද්‍යා ආශ්‍රවයන් කෙරෙන් බිඳේ. ඤාණය පහළවෙයි.
සූත්‍රාවසානයේ බුදුන් වහන්සේ වෙත පැමිණි ජාණුස්සෝනි බ්‍රාහ්මණයන් වෙත මෙසේ වදාළහ. “බ්‍රාමහ්මණය, තථාගතයන් මෙතෙකින් සම්‍යක් සම්බුද්ධ යැයිද, තම ධර්මය යහපත්කොට දේශනා කරන ලද්දේ යැයි ද, ආර්ය ශ්‍රාවක සංඝතෙම මෙතෙකින් යහපත්ව පිළිපන්නේ යැයි කියාද තීරණයට පැමිණෙයි. බ්‍රාහ්මණය, හස්ති පාදය උපමා කොට ඇති ධර්මය මෙපමණකින් සම්පූර්ණවෙයි” වදාළහ.

මිහිඳු හිමියන් විසින් දේවානම්පිය තිස්ස රජුගේ අවබෝධතා ශක්තිය මැන බැලීම සඳහා මුලින් ම විචාරණ ලද බුද්ධි පරීක්ෂණය (අඹ ගස් පැනය හා නෑදෑයන් ගැන විමසූ ප්‍රශ්න) අනුව රජුට මේ දහම තේරුම් යාම පිළිබඳ ගැටලුවක් පැන නගින්නේ නැත. එසේම බුදු දහම ගැන කිසිවක්ම නොදන්නා කෙනෙකුට මෙවැනි සූත්‍රයකින් බුදුන්, දහම් සහ සඟුන් පිළිබඳ පරිපූර්ණ විස්තරයක් කිරීමට මීට වඩා හොඳ සූත්‍රයක් තිබේදැයි සැක සහිතය. රජතුමා බුදු දහමේ ස්වරූපය වටහා ගත්තා පමණක් නොව එය ප්‍රචාරයට රාජ්‍ය අනුග්‍රහ දැක්වීම ම උතුම් කාර්යයකි. එම බුද්ධිමත් තීරණය නිසා මෙරට ස්ථාපිත වූ බුදු දහම ශත වර්ෂ 24ක පමණ කාලයක් පුරාම ආරක්ෂා වී පවතී.

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Ad
වර්ගීකරණය
කර්තෘ
සංරක්‍ෂිත