මිනිසා ළඟින්ම ඇසුරු කරන සතා බල්ලාය. අවුරුදු විසිදහසකටත් ඉස්සර කාලේ සිටි වෘකයන් මිනිස් ඇසුරට ඇවිත් ඒ ඇසුර නිසා ගෙදර හදන බල්ලා නම් මිතුරා මිනිසාට සමීප වුණේ යැයි විද්‍යාඥයෝ කියති. මිනිසුන් ඇසුරේදී බල්ලන් දක්වන සෙනෙහස, විශ්වාසය නම් බල්ලා මිනිසාගේ කල්‍යාණ මිත්‍රයා ලෙස සලකතත් බල්ලන් තරම් මිනිසුන්ගේ නව නින්දාවට ලක්වූ වෙනත් සතෙක් නැති තරම්ය.
මිනිසුන් අතර කෙනෙක් පහත් වැඩක් කළොත් ‘බලු වැඩ කරන්න එපා’ යැයි කියති. රණ්ඩුවට ගියාම ‘බල්ලා වගේ බුරන්න එපා’ කියමින් අහක සිටින බල්ලෝ රණ්ඩුවට පටලවා ගනිති.
කච්චිය පිච්චියට ගියත් බල්ලා හෙලුවෙන් යැයි බල්ලා අඳින පලඳින විලාසයද අපහාසයට ලක් කරති. ‘හිමින් ගමනකුත් නැහැ බල්ලට ඇති වැඩකුත් නැහැ’ කියමින් බල්ලාගේ ගමන් බිමන් පවා අපහාසයට ලක් කරති.
කෑමක් සවුත්තු වුණොත් ‘බල්ලෙකුටවත් කන්න බැහැ’ කියන අතර අඩි පුඩි ගහන අය බලු පදම ගැනත් කතා කරති. ‘බල්ලන් බිරුවාට තවලම යනවා’ කියන අතර ‘හඳට බුරන බල්ලා වගේ’ යැයි කියමින් අහක සිටින බල්ලන් නින්දාවට ලක් කරති.
පිරිමි පිරිමි රණ්ඩු වනවිට පර බල්ලා, වල් බල්ලා කියනවා පමණක් නොව වෙනත් කුණුහරුපද බල්ලන්ගේ නමට එකතු කර එකිනෙකාට අපහාස කරති. ගැහැණු රණ්ඩු කරනවිට බල්ලා බැල්ලි වෙයි. පර බැල්ලි, වල් බැල්ලි පමණක් නොව ඊටත් වඩා බරපතල අපහාස වචන යොදා අහක සිටින බල්ලන් රණ්ඩුවලට පටලවා ගනිති.
අද බලු කතාව අවසන් කරන්නේ බලු මිතුරන් දෙදෙනෙකුගේ දෙබසකිනි.
බොරැල්ලේ බාර් එකකට ගොස් රෑ බෝවන තුරු අඩි පුඩි ගැසූ බලු මකුනන් දෙදෙනෙක් පාරට බසින විට හොඳටම රෑ වී තිබුණේය. පාරේ වාහනද නැත.
“මචං බල්ලෙක් එනකං ඉන්නවද පයින්ම යනවාදැ”යි එක් මකුනෙක් අනිත් මකුනාගෙන් වෙරි මතෙන්ම ඇසුවාලු.
-සමරසිංහ ගුණසේකර-