සිදුහත් තවුසාණන්ගේ ධර්ම ගවේශණය (සිව්වන කොටස)

පසුගිය කලාපයෙන් සිදුහත් තවුසාණෝ බුද්ධත්වයට පත්වන අවස්ථාවේ කෙලෙස් සමග සටන් කළ අයුර, මාර පරාජය වශයෙන් සඳහන් කළ බැව් මතක ඇතැයි සිතමි. අද එම අවස්ථාවේ එතුමාණෝ ක්‍රියා කළ ආකාරය සූත්‍ර පිටකයේ සඳහන් වන අයුරු විමසා බලමු. කෙලෙස් පැරදවීම සඳහා එය මාරයා සේ සලකා අමතනු ලැබූ ආකාරය මෙලෙස සසඳා දක්වා ඇත.

“පාපී මාරය, තාගේ පළමු සේනාව කාමයෝය. එනම් පංචකාම භෝගයන් විඳීමේ අනවරත නොතිත් ආශාවන්ය. දෙවැන්න භාවනාවෙහි නොඇලීමය. තෙවැනි සේනාව සාගින්න හා පිපාසයයි. සිව්වැනි සේනාව තෘෂ්ණාවයි. පස්වැනි සේනාව ථීන මිද්ධ හෙවත් මැළිබව හා නිදිමත අලස ගතියයි. සයවැන්න විචිකිච්ඡාව හෙවත් සැකයයි. ඊළඟට අනුන්ගේ ගුණ මකාදැමීම හා දරදඬු ස්වභාවය දැක්විය හැකියි. ලාභය, කීර්තිය, සත්කාරය වැනි දේ බොරුවෙන් ලබා ගැනීම හා තමන් උසස් කොට අනුන් පහත් කොට කථා කිරීම තාගේ අවසන් පහර දෙන සේනාව යි.” (සුත්ත නිපාතය, පබ්බජ්ජා සූත්‍රය).

මින් පැහැදිළි වන්නේ මාරයාත් ඔහුගේ සේනාවත් අන් කවරක්වත් නොව අප සිත් තුළම හටගන්නා පාපී චේතනාවන් වශයෙන් බුදුන් වහන්සේ විසින් නිර්වචනය කළ බව නොවේද? මේ හැම විස්තරයකින්ම දැක්වෙන්නේ මාරයා අප අසල නිතරම ගැවසෙන, අපට කරදර ව්‍යසන පමුණුවන, කෙලෙස් සහ අපේම තිරශ්චීන ගති සිරිත්, චර්‍ය්‍යාවන් බවයි. ඒවායින් කඩිනමින් මරණය කරා අප ළංවීම සංකේතවත් කරයි. අනිත් අතට මරණය යනු සතර බියෙන් එකක් පමණි. මාරයා වෙනෙකෙකි. ඔහු අප වෙත එන්නේ නැත. මරණය මහා මේරු පර්වතය මෙන් නොසැලී සිටී. දිනෙන් දින මරණය කරා යන්නේ අපිම වෙමු. එනිසා මෙහි මාරයා නම් තමන් තුළ පවත්නා කෙලෙස් බව වටහා ගත යුතුවෙයි. එම කෙලෙස් මුලිනුපුටා දැමීම බුදුවීමයි. සැබෑ මාර පරාජය එයයි. සිදුහත් තවුසාණන් ගේ දැහැන් බිඳීමට ලාලිත රැඟුම් පෑ මර දූ වරු තිදෙනා නම් කර ඇත්තේ ‘තණ්හා, රතී සහ රගා’ නමිනි. එනම් තෘෂ්ණාව, කාම රතිය සහ රාගයයි. එසේ නම් ඒ රැඟුම් පෑවේ යැයි සංකේතාත්මකව කීවේ මූලිකම කෙලෙස් තුන වූ තණ්හාව, කාම රතිය සහ කාම රාගය පිළිබඳව බව පැහැදිළිය. “ලෝකයා විසින් පැරදවිය නොහැක්කා වූ ඔබේ මාර හමුදාවටම මම ප්‍රඥාවෙන් පහර දෙමි”. සිදුහත් තවුස් තෙම මාරයා ඇමතූහ. 

“මුඩු මහණ, මා වැනි යක්ෂයෙකු දැක තොපට භය නූපදීද?”

“මාරය මම ඒකාන්තයෙන්ම තොපට හෝ අන් කිසිවෙකුට හෝ භය නොවෙමි”.

“තොපට කුමක් නිසා එසේ භය නූපදීද?”

“දානාදී පාරමිතාවන් සම්පූර්ණ කිරීම නිසාය”.

“තොප දන් දුන් බව කවරෙක් දනිද් ද?”

“පාපිෂ්ඨය, ඊට සාක්ෂිකරුවෙකු අවශ්‍ය වේද?” කියා බෝසත් තෙමේ මාරයා ඉදිරියේ සාක්ෂිකරුවෙකු ලෙස පොළොව මහී කාන්තාව කැඳවීම සඳහා මහ පොළොවෙහි අත ගැසීය. (සුත්ත නිපාතයේ පධාන සූත්‍රය, මහා වස්තුව හා ලලිත විස්තරය) මහායාන ආභාෂය ලත් බුදු පිළිමවල භූමි ස්පර්ශ මුද්‍රාව ලෙස නිරූපණය කර ඇත්තේ මෙම කතාන්දරයයි.

අවසන පැරදී ශෝකයෙන් පරිපීඩිතව දොම්නසට පැමිණි ඒ මාර නැමති පාපිෂ්ට යක්ෂයා එකෙනෙහිම අතුරුදහන් වූයේලු. මාරයා සමග ඇති වූ සටන සහ මාර පරාජය බෝසතුන් මහත් වැර වෑයමින් සියලු කෙලෙස් නැසූ මානසික සටන නිරූපණය කරන සංකේතාත්මක පුරාණෝක්තියක් බව වැටහේ.

මාරයා පළවා හළ බෝසත් තෙමේ පෙර පරිදිම ප්‍රථම ධ්‍යානයට සමවැදී චතුර්ථධ්‍යානය දක්වා පිළිවෙලින් බවුන් වැඩූහ. ජීවිතයේත් ලෝකයේත් සත්‍යය සොයාගෙන මිස මෙතැනින් නොනැගිටිමියි අධිෂ්ඨානයෙන් යුතුව විදර්ශනා වැඩීම ඇරඹූහ. කුසල් සිත එකඟ කරගෙන පිරිසිදු වූ සිතින් දීප්තිමත්ව කෙලෙස් රහිතව සිත මෘදු කරගති. සිත, කළ යුත්තට අනුකූලව ස්ථිරව පිහිටියේය. කම්පා නොවීය. ක්‍රම ක්‍රමයෙන් ආශ්‍රවක්ෂයකර ඥානය (කෙලෙස් නැති කරන නුවණ) පිණිස සිත නැමී ගියේය. එකල්හි තවුසාණෝ මෙය ‘දුක’ යැයි තතු සේ දැනගති. සතර බියෙන් සැදි කායික දුඃඛයන්ට එහා ගිය අනවරතයෙන් ජීවිතයට දුක්දෙවන මානසික අතෘප්තිය නම් වූ ධර්මතාවය වටහා ගත්හ. 

දෙවනුව මේ එම ‘දුක’ ඉපදීමට හේතුව යැයි තතු සේ දැනගති. එනම් කාම තෘෂ්ණාව, භව තෘෂ්ණාව සහ විභව තෘෂ්ණාවයි. තෙවනුව මේ එම දුක නැති කිරීම නම් නිර්වාණය යැයි තතු සේ දැනගති. අනතුරුව මේ දුක නැති කිරීමේ මාර්ගය යැයි තතු සේ දැනගති. එය මධ්‍යම ප්‍රතිපදාව හෙවත් ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. ඊළඟට සිත කිලිටි කරන්නාවූ කෙලෙස් ආශ්‍රවයෝ මේවා යැයි තතු සේ දැනගති. මේ එම ආශ්‍රවයන්ගේ හටගැන්ම යැයි තතු සේ දැනගති. මේ එම ආශ්‍රවයන්ගේ නැති කිරීම යැයි තතු සේ දැනගති. මේ එම ආශ්‍රවයන්ගේ නැති කිරීමේ මාර්ගය යැයි තතු සේ දැනගති. එසේ දැනගත්තා වූ සිදුහත් තවුසාණන්ගේ සිත කාමාශ්‍රවයන්ගෙන් මිදුනේය. භව ආශ්‍රවයන්ගෙන් මිදුනේය. අවිද්‍යා ආශ්‍රවයන්ගෙන් මිදුනේය. එසේ මිදුන කල්හි මිදුනේ යැයි දැනීම පහළ විය. එදින එළිවන යාමයේ ආශ්‍රවක්ෂයඥානය නම් වූ අරහත් මාර්ගය අවබෝධ කරගන්නා ලදී. එමගින් අවිද්‍යාව නසන ලදී. ඒ වෙනුවට විද්‍යාව උපන. මෝහය නැමති අඳුර නසන ලදී. එකල්හි ප්‍රඥාව නැමති ආලෝකය උපනි. අප්‍රමාදව කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යම් ආකාරයකින් සිදුවිය යුතු නම් එසේ සිදුවිය. එතැන් පටන් සම්බෝධිය අවබෝධ කරගත් සිදුහත් ගෞතම තෙමේ ‘සම්මා සම්බුදු’ වශයෙන් හැඳින්වින. 

ඊළඟ කලාපයෙන් බුදු දහමේ හරය වන පටිච්ච සමුප්පාදය විස්තරාර්ථ සහිතව දක්වන්නට අපේක්ෂා කරමි. ඉන් අනතුරුව ඒ හා බැඳුන චතුරාර්ය සත්‍යය විස්තර සහිතව ඉදිරිපත් කරන්නට අදහස් කරමි.

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත