බුදු දහමේ හරය – පටිච්චසමුප්පාදය (සැකෙවින්)

the-dhamma-exploration-of-siduhath-bodhisatta

ධර්ම ගවේශණයේ කූඨප්‍රාප්තියට පත්වීම නිසා සිදුහත් තවුසාණෝ සම්මා සම්බුද්ධ වූ බව පසුගිය කලාපයෙන් අපි දැන ගතිමු. එහිදී එතුමන් වහන්සේ අවබෝධ කරගත් සාර්වත්‍ර, සර්වත්‍රික සත්‍ය නම් හේතු ඵල දහමට පදනම් වූ පටිච්ච සමුප්පාදය සහ චතුරාර්ය සත්‍යයි. මෙතැන් සිට ඒ ගැන තතු කවරේදැයි ථේරවාද සූත්‍ර පිටකය පරිශීලනය කරමින් විමසා බලමු.

 

‘ප්‍රතීත්‍යසමුප්පාදය’ (පටිච්චසමුප්පාදය)

බුද්ධත්වයෙන් පසු ගෞතම බුදුන් වහන්සේ දින කිහිපයක් පුරා බෝධි මූලයේ වැඩවාසය කරමින් ආවර්ජනයේ යෙදුන සේක. විනය පිටකයට අනුව බුදුන් වහන්සේ බෝ රුක අසල ගෙවූයේ සති හතරක් පමණි. පළමු සතිය බෝධි වෘක්ෂ මූලයේ ගත කළේ පටිච්චසමුප්පාදය යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරමිනි. බුදුන් වහන්සේ පසුව පටිච්ච සමුප්පාදය දේශනා කළේ සත්වයාගේ පැවැත්ම සකස් කරන ක්‍රියාවලිය පහදා දීම සඳහායි. මෙය බුදුන් වහන්සේ විසින්ම අවබෝධ කරගන්නා ලද ඤාණ සම්භාරයකි. පටිච්ච කියන්නේ ’හේතුව’ නැමති තේරුමයි. සමුප්පාද නම් උත්පාදනය වීම නොඑසේ නම් හටගැනීමයි. කුමන හේතුවක් නිසා කුමක් හටගන්නවාදැයි බැලිය යුතු වෙයි. 

මෙහිදී මුලින්ම නිවන් අවබෝධ කරගැනීම සඳහා අත්හළ යුතු දෘෂ්ටීන් දෙකක් තිබෙන බව බුදුන් වහන්සේ වටහා ගත්හ. දිගින් දිගට පැවතීගෙන යන නිත්‍ය ආත්මයක් අප තුළ පවතී යැයි සාවද්‍ය දෘෂ්ටිය වැළඳගත් මහණ බමුණන් ඇත. ඔවුහු එම ආත්මය තම සිරුරින් පළවා හැරීමේ අධ්‍යාශයෙන් උග්‍ර දුෂ්කර ක්‍රියා ඔස්සේ තපස් රකිමින් සිරුරට වධ බන්ධන පමුණුවති. ආත්මය දිගින් දිගට පුනරුත්පත්තිය මගින් ගමන් කරනවායයි අදහන මෙය ශාස්වත දර්ශණයක් හෙවත් ආරම්භයක් හෝ අවසානයක් නැතිව සදාකාලිකව ආත්මය පවතින බව හැඟවෙන ශාස්වත දෘෂ්ටියයි. මෙම ශාස්වත දෘෂ්ටිය අත්හළ යුතු එක අන්තයකි. තවත් පිරිසක් මිනිසාගේ මරණයත් සමග ආත්මයද අහෝසි වනවා යැයි දෘෂ්ටිගත වී වර්තමාන ජීවිතය හැකිතාක් සැපවත් ලෙස සතුටින් සුඛ විහරණයේ යෙදී ගත කරන්නැයි පොළඹවති. මෙය උච්ඡේද වාදය ලෙස හඳුන්වනු ලබන දෘෂ්ටියයි. 

බුදු දහම අනුව මේ ශාස්වත හා උච්ඡේද නම් වූ අන්තවාදී දෘෂ්ටි දෙක අතර මැද ජීවිතය සහ ලෝකය පිරිසිඳ දැකිය හැකි මධ්‍යස්ථ දර්ශණයක් බුදුන් වහන්සේ අවබෝධ කර ගත් සේක. එය පටිච්චසමුප්පාදයයි. පටිච්චසමුප්පාදය එතෙක් භාරතයේ හෝ වෙනත් රටක හෝ භාවිත වූ ධර්මයක් නොවේ. එම නාමය පවා කිසිම වාක් කෝෂයක තිබූ වචනයක් ද නොවේ. එය බුදුන් වහන්සේ විසින් ම තම ස්වයංභූඤාණය මෙහෙයවා අවබෝධ කරගත් ලොව තත්‍ය ස්වරූපය විදහා දැක්වෙන විශිෂ්ට ධර්මතාවයකි. ලොව පැරණිම වෛදික හින්දු ආගම ඇතුලු ඉපැරණි භාරතයේ කෙතරම් ආගම් හා දර්ශණ පැවතුනත් මෙවැනි ගැඹුරු තේරුමක් සහිත, ගැඹුරු අර්ථ ගැන්වූ ‘ප්‍රතීත්‍යසමුප්පාද’ නම් වචනය සහ එම දර්ශණය බුදුන් වහන්සේ විසින් අවබෝධ කරගන්නා තෙක් කිසිවෙකු හෝ එය නොදැන සිටියහ. ‘ප්‍රතීත්‍යසමුප්පාද’ය ඇත්තවශයෙන්ම ලෝක ස්වභාවයයි. අවබෝධ කරගැනීමට මඳක් දුෂ්කර වුවත් එයයි සත්‍යය. හේතුව නිසා ඵලය හට ගන්නවා යැයි සඳහන් කරන මෙම හේතුඵල දහම කිසිසේත් තර්කයට ගොදුරු නොවන්නකි. නිපුණත්වයෙන් පූර්ණ නැණ නුවණ වර්ධනය කර දැනගතයුතු ධර්මයකි.

‘ප්‍රතීත්‍යසමුප්පාද’ නියමය නම් ඕනෑම දෙයක් විවිධ හේතූන් නිසා සිදුවන බව ප්‍රත්‍යක්ෂයෙන් දැනගැනීමයි. එයම හේතුඵල වාදයයි. ‘එය පවතින නිසා මෙය ඇතිවේ’. හේතුවත් ඵලයත් එයින් ගම්‍ය වේ. ‘එය ඉපදුන විට මෙය උපදී, එය නොමැති වූ විට මෙය ඇති නොවේ. එය නිරුද්ධ වූ විට මෙය නිරුද්ධවේ’. මෙසේ අතීත, වර්තමානය වෙනුවට ප්‍රත්‍යුප්පන්න සහ අනාගත යනුවෙන් කාල තුනම හැඳින්වීම නිසා ලෝකය පිළිබඳ තතු නියමාකාරයෙන් විස්තර, විවරණ කරන මෙම ‘ප්‍රතීත්‍යසමුප්පාද’ සංකල්පය ඉන්ද්‍රිය ගෝචර සංකල්ප ඉක්මවා පවතී. එසේම එය වෙනත් සැඟවුනු රහසිගත ඉගැන්වීම් ධර්මයක නොරැඳී විස්තර කර දැක්වීමට බුදුන් වහන්සේ සමත් වූ සේක. සම්මා සම්බුදුවරයාණන් කෙනෙකු පහළ වුවත් නොවුවත් උප්පත්තිය හේතු කොටගෙන ජරා, ව්‍යාධි, මරණ සිදුවෙනවාමයි. එම නියාමය වෙනස් කළ නොහැකි ධර්මතාවයකි. තථාගතයන් වහන්සේ වෙතින් ඉටුවන්නේ එම ධර්මතාවය මනාව දැන පිරිසිඳ අන්‍යයන්ට විස්තරාර්ථ සහිතව ඉදිරිපත් කිරීමයි. “ඒහි පස්සිකො” ‘එව බලව’ යයි දැනුම් දෙයි. බුදුන් වහන්සේගේ මෙම විග්‍රහයෙන් පැහැදිළි වන්නේ එතුමාණන් විස්තර කළ ‘ප්‍රතීත්‍යසමුප්පාද’ ය ලෝක ස්වභාවයේ තතු ඇති සැටියෙන් දැක්වීමක් මිස තමන් වහන්සේගේ උපකල්පනයක් නොවන බවයි. මෙය ලොව සැම තැනකම සැම දෙයකම දක්නට ලැබේ. සැම දෙයක්ම හටගන්නේ හේතු මත රැඳීමෙනි. මෙය ඇතිවෙන නිසා එය ඇතිවෙයි. මෙය නෙැමැති වුවහොත් එය ද නොමැති වෙයි. බුදුන් වහන්සේ දේශනා කර වදාළේ පටිච්චසමුප්පාදය තේරුම් ගන්නා තැනැත්තා ධර්මය දැන වටහා ගනී යනුවෙනි. එසේම ධර්මය දකින්නා පටිච්චසමුප්පාදය දක්නේ වෙයි. මෙම පටිච්ච සමුප්පාදය යේ අංග දොළොස තෙරුම් සහිතව දැන ගනිමු. මෙය සූත්‍ර ධර්මයේ සඳහන් වන්නේ ‘ද්වාදශ නිධානනි’ වශයෙනි.

 

අවිජ්ජා පච්චයා සංඛාරා , 
නොදැනීම හෝ වැරදියට දැනගැනීම හෙවත් මුලාව හේතුවෙන් කර්ම රැස් කරයි. (සංඛාරා නම් අප කරන සියලු දේය)

සංඛාරා පච්චයා විඤ්ඤාණං,
එම කර්ම හේතුවෙන් විඥානය හෙවත් යමක් පිළිබඳව දැනීම හා හැඟීම ලැබෙයි.

විඤ්ඤාණ පච්චයා නාම රූපං,
විඥානය හෙවත් යමක් පිළිබඳව ඇතිවන හැඟීම සහ දැනීම හේතුවෙන් නාම රූප දෙක පහළවෙයි.

නාමරූප පච්චයා සළායතනං,
නාම යනු චිත්ත චෛතසිකයන්ය, රූප නම් භෞතික රූපයෙන් සැදි ශරීරයයි. ඒවා හේතුවෙන් සළායතන ඇතිවේ.

සළායතන පච්චයා ඵස්සො,
සළායතන යනු ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මනස නම්වූ ඉන්ද්‍රිය සයයි. එම සය නිසා ස්පර්ශය හටගනී. 

ඵස්ස පච්චයා වේදනා,
ඵස්ස නම් ස්පර්ශය නිසා සුඛ, දුක්ඛ, උපේක්ෂා ආදී වේදනා හෙවත් දැනීම්, හැඟීම්, වින්දනයන් හටගනී.

වේදනා පච්චයා තණ්හා,
හැඟීම්,දැනීම් නම් වේදනා හේතුකරගෙන තෘෂ්ණාව, ආශාව ඇතිවේ.

තණහා පච්චයා උපාදානං,
තෘෂ්ණාව හේතුකොට ගෙන උපාදානය නම් වූ දැඩිව වැළඳ අල්වාගැනීම ඇතිවේ.

උපාදාන පච්චයා භවො,
උපාදානය හේතුවෙන් භවය හෙවත් පැවැත්ම ඇතිවේ.

භව පච්චයා ජාති,
භවය නිසා ජාති නම්වන ඉපදීම ඇතිවේ.

ජාති පච්චයා ජරා,මරණ,ශොක,පරිදෙව,උපායාස…
ඉපදීම හේතු කොටගෙන ජරාව, මරණය, ශෝකය, වැලපීම, දැඩි චිත්ත වෙහෙස ආදී නොයෙක් දුක් උපදී.

 

පටිච්චසමුප්පාදය අනුලෝම වශයෙන් මෙසේ දැක්වෙයි. අවිජ්ජා හෙවත් නොදැනීම හෝ වැරදියට දැන මුලාවට පත් වීම නිසා කුසල අකුසල මෙන්ම, එම හේතූන් නිසා හටගන්නා බොහෝ දේ (කර්ම) රැස්කරන මනුෂ්‍යයා ඒ ඒ දේවල් පිළිබඳ හැඟීම සහ දැනීම ඇතිකරගනී. එය විඥානයයි. විඥානය හට ගැනීමට සිතත්, කයත් තිබිය යුතුයි. මේ සිත සහ කය නාම–රූප වශයෙන් හැඳින්වේ. නාම-රූප දෙකට විඤ්ඤාණය පැමිණුනාම මනුෂ්‍ය ක්‍රියාකාරිත්වය සැබවින්ම ප්‍රබල වෙයි. සිත සහ කය නිසා ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මනස නැමති ආයතන හය උපදී. මෙම සළායතන හෙවත් පඤ්ච ඉන්ද්‍රිය සහ මනස නිසා ඵස්ස නැමති ඇසෙන් පෙනීම, කනින් ඇසීම, නහයෙන් ගඳ සුවඳ දැනීම, දිවෙන් රස පහස දැනීම, ශරීරයෙන් ස්පර්ශය සහ මනසින් ආරම්මණ ආදී ලෙස ස්පර්ශ අරමුණු ලබා ගනී. එමගින් වේදනා හෙවත් වින්දනයක් ලැබෙයි. එය සුඛ, දුක්ඛ සහ උපෙක්ඛා වශයෙන් ත්‍රිවිධාකාර වෙයි. මෙම වින්දනය නිසා තෘෂ්ණා ආශාව ඉපදෙයි. එවිට එය රඳවා ගැනීම සඳහා දැඩිව ඇද වැළඳ ගැනීමට උත්සාහයක යෙදේ. එය උපාදානය වේ. උපාදානයෝ සතර වැදෑරුම්ය. උපාදානය සතර ආකාරයකින් මිනිස් සිතේ පහළ වේ. මුලින් ම කාම උපාදානයයි. පඤ්ච කාම සම්පත්තීන් ඇද වැළඳ ගැනීම ඉන් සිදුවෙයි. දෙවනුව දිට්ඨි උපාදානයෙන් වැරදි වැටහීම් නැමති මිත්‍යා දෘෂ්ටීන්ට සිත ඇදී ගොස් ඒවා වැළඳ ගනියි. තෙවනුව සීලබ්බත උපාදානයෙන් වැරදි ව්‍රත සහ වැරදි වත් පිළිවෙත් කරා සිත ඇදී ගොස් එවැනි දේ විමුක්තිය සඳහා යයි වැළඳ ගනියි. සිව් වැනිව අවිද්‍යා උපාදානයෙන් චතුරාර්ය සත්‍යය පිළිබඳව නොදැන වෙනත් වැරදි දෘෂ්ටි වල එල්බගනී. පටිචිචසමුප්පාද යේ දී මෙම උපාදානයන් නිසා භවය හටගනී. භවය යනු පවතිනවාය යන අර්ථයයි. පැවැත්ම අවශ්‍ය නිසා ජාති හෙවත් ඉපදීම ඇතිවෙයි. ඉපදුනාට පසු මහලුවෙලා ජරාවට පත්වීම සිදු වෙනවාමයි. ලෙඩ රෝග ඇති වී දුකට පත් වීමේ ප්‍රවණතාවක් ද ඇත. මෙසේ මනුෂ්‍යයා කායික දුක්ඛයන්ට ගොදුරුවීම නොවැලැක්විය හැකියි. 

පටිච්චසමුප්පාද ධර්මය මහාවග්ගයෙහි සාරාංශ ගතකර තිබෙන්නේ ඉහත දැක්වෙන ආකාරයෙනි. එයම ප්‍රතිලෝම වශයෙන් මෙසේ දක්වා තිබේ. එනම් ‘රාගය සම්පූර්ණයෙන්ම පහ වීමෙන් ඉන් සැදුම් ලත් අවිද්‍යාවේ විනාශය නිසා සංස්කාරයෝ නසනු ලැබෙත්. සංස්කාරයන්ගේ නැසීමෙන් නාමරූප නැසේ. නාමරූප නැසීමෙන් විඥානය නසනු ලැබේ. විඥානය නැසීමෙන් ස්පර්ශය (ඵස්ස) නැසේ. (ඵස්ස) ස්පර්ශය නැසීමෙන් ඉන්ද්‍රිය සයේ (සලායතන) විෂය ප්‍රදේශ නැසේ. එම සලායතනයන්ගේ විෂය ප්‍රදේශ සයේ නැසීමෙන් සංවේදන (වේදනා) නැසේ. සංවේදන නැසීමෙන් තෘෂ්ණාව නැසේ. තෘෂ්ණාව නැසීමෙන් ඇල්ම (දැඩිව වැළඳ ගැනීමේ ස්වභාවය හෙවත් උපාදානය) නැසේ. ඇල්ම හෙවත් උපාදානය නැසීමෙන් භවය (පැවැත්ම) නැසේ. භවය නැසීමෙන් උපත නැසේ. උපත නැසීමෙන් ජරා, මරණ, ශෝක පරිදේව දුක් දොම්නස් භග්නාශා නැසේ. මෙසේ මුළු මහත් දුක් රැසේ නැසීම වේ’ 

පටිච්චසමුප්පාදයෙන් විග්‍රහ කරන්නේ මෙම සත්‍යයි. මුල් බුදු සමයේ විස්තර විවරණවලට තාර්කික පදනමක් බුද්ධි ගෝචරව ලැබී ඇත්තේ පටිච්චසමුප්පාදයෙන් හෙවත් හේතුඵල දර්ශණය තුළිනි. ලොව සැමදේම සිදුවන්නේ එකිනෙකට සාපේක්ෂ ලෙස බැඳුනා වූ හේතුව සහ එහි ඵලය අතර සහ සම්බන්ධය නිසා බව මෙයින් ඉගැන්වෙයි. මෙය චක්‍රයක් නිසා මුල, මැද හෝ අගක් සෙවිය නොහැකිය. අවිද්‍යාවෙන් චක්‍රය ඇරඹූයේ එමගින් සංස්කාරයන් බිහිවී ජීවිතය බැඳීම් කරා ගෙනයන බැවිනි. එසේම සංස්කාරයන් නැමති අප කරන දේවල් තෘෂ්ණාව බවට පෙරළීම නිති සිදුවිය හැක. මිනිසාගේ පෞද්ගලිකත්වය වැඩිවශයෙන් තීරණය වන්නේ ඔහුගේ සංස්කාරයන් මගිනි. එනම් ඔහු කරන දේ අනුවය. ජීවිතය යහපත් හෝ අයහපත් අතට හැරවීම සංස්කාරයන් සතුය. එසේම සංස්කාරයන් එක් අතකින් හානිකර තෘෂ්ණාවන් බවට පරිවර්තනය විය හැකිය. අනිත් අතට සංස්කාරයන් සමනය කිරීමෙන් නිවන් සුවය අත්පත් කරගත හැකිය. 

මේ අයුරින් ශාස්වත ආත්මයක් ඇතැයි යන මතය ප්‍රතික්ෂේප කළ බුදුන් වහන්සේ පඤ්චස්කන්ධය හා පටිච්චසමුප්පාදයේ අංග දොළස පදනම් කරගනිමින් මිනිස් ජීවිතය විවරණය කළහ.

 බුද්ධත්වය ලැබ බෝධි මූලයේ වැඩ සිටිමින් මෙසේ යෝනිසෝ මනසිකාරය හෙවත් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් පටිච්චසමුප්පාදය මෙනෙහි කරන බුදුන් වහන්සේ මෙවැනි නිගමනයකට පැමිණියහ. “මා වටහා ගත් මේ ධර්මය ගැඹුරුය. එය සාමාන්‍ය ජනයාට තේරුම් ගැනීමට අපහසු වියහැකියි. ගතානුගතිකත්වයට හුරු වූ පොදු ජනයා ඉන් ගලවා ගැනීම අසීරුවනු ඇත. එනිසා මෙම දහම දෙසීම පසෙක ලා භාවනානුයෝගීව ඉතිරි කාලය විසීම වඩා යෝග්‍ය නොවේද?” යි එතුමාණන්ට සිතින. 

ඒ සමගම යටිසිත කීවේ ‘ඔබගේ ව්‍යායාමය පුද්ගල විමුක්තිය නොවේ. එමනිසා මනුෂ්‍ය වර්ගයාට ඔබ සොයාගත් සත්‍යය සරල ලෙස තේරුම් යන ආකාරයෙන් දේශනා කරන්න. ඔවුන් වටහා ගනීවි’. මෙම චෛතසික පෙළඹවීම නිසාත් තමන් තවමත් පන් තිස්වන වියේ පසුවන්නෙකු නිසා ඇති තරම් කාලය ලැබෙන නිසාත් තමා සොයාගත් ධර්මය දේශනා කිරීමට ඉටා ගත්තේ ස්වයං මානසික තර්ක විතර්ක වලින් පසුවය. එතුමාණෝ උද්ගාමී ක්‍රමය යටතේ උපහැරන, කතාන්දර නිදර්ශන ආදියෙන් සාමාන්‍ය ජනයාට ධර්මය දේශනා කළහ. වඩා උගත් දැනුම් තේරුම් ඇති සැදැහැවත් ජනයා සඳහා තර්ක විතර්ක ඉදිරිපත් කරමින් වඩා ගැඹුරින් නිර්ගාමී තර්ක ක්‍රමය ඔස්සේ ධර්මය පැහැදිළි කළහ. මේ අනුව මුල්ම දහම් දෙසුම සඳහා ආළාර කාලාම හෝ උද්දක රාම හමුවීමට අදහස් කළත් ඒ වනවිට ආචාර්යවරුන් දෙදෙනාම අභාවප්‍රාප්ත වී ඇති බව දැනගත්හ. ඊළඟට කල්පනාවූයේ දුෂ්කර ක්‍රියා අත්හළ විගස තමන්ව අතහැරගිය පස්වග මහණුන් ගැනය. ඔවුහු බරණැස ඉසිපතනයේ මිගදායෙහි වැඩ වසන බව දැන බුදුන් වහන්සේ එහි වැඩියහ. තමන් වහන්සේ වටහාගත් ආර්ය සත්‍යය ඔවුන්ට දේශනා කිරීම බුදුන් වහන්සේගේ ප්‍රථම සාමුක්කංසික ධර්ම දේශනය විය. ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවයි.

ඊළඟ කොටසින් ඒ ගැන විමසා බලමු.

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත