බක් මහ දීගේ

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

මෝසාර්ට් ගේ “ෆිගාරෝ ගෙ විවාහය Marriage of Figaro” ප්‍රථම වතාවට වේදිකාගත වූයේ 1786 මැයි පලමුවෙනිදා වියෙනාහිදී. එහි ලිබ්රෙටෝව ලොරෙන්සෝෙ ද පොන්ටේ විසින් විරචිතයි.

එහි සිංහල අනුවර්තනය වූයේ “බක්මහ අකුනු” නාට්‍යය සහ “බක්මහ දීගේ” චිත්‍රපටය. දයානන්ද ගුනවර්ධනගෙ. මෙයින් බක්මහ දීගෙ චිත්‍රපටය මුලින්ම තිරගතවූයේ 1969 දෙසැම්බර් 31 දින. අපගේ සිංහල චිත්‍රපට වංශයේ පලමු චිත්‍රපටය ලෙස 1925 තිරගත වූ “ රාජකීය වික්‍රමය නොහොත් ශාන්තා” ගතහොත්, බක්මහ දීගේ එහි 211 වැන්නයි. (එතකොට කඩවුනු පොරොන්දුව 3 වැන්නයි)

ෆිගාරෝ, සිටුවර අල්මවීවා ගේ ප්‍රධාන සේවකයා. ඔහුගේ බිරිඳ, සිටුතුමීගේ සේවිකාව සුසන්නා, ෆිගාරෝගේ හා සුසන්නාගේ විවාහය වටා ඔපෙරාව දිග හැරෙනවා.

සිටුතුමා සුසන්නාට ආසක්ත වෙලා. ප්‍රේමයේ පහස වෙනුවෙන් ඔහු මොවුන් දෙදෙනාගේ විවාහය පමා කරනවා.

සිටුතුමිය, සුසන්නා, ෆිගාරෝ, වෙන වෙනමත්, අවසානයේ එකතුවීත්, සිටුතුමාව දමනය කර පාඩමක් ඉගැන්වීමට කුමන්ත්‍රනය කරනවා.

අවසානයේ උයනක රාත්‍රියේ සිටුතුමා හමුවීමට කැමැත්ත දක්වන සුසන්නා වෙනුවට, එතනට එන්නෙ සුසන්නාගේ සේවිකා ඇඳුමින් වෙස්වලාගත් සිටුතුමියයි. ඈ සමඟ ආදර රංගනයෙන් පසුවයි සිටුතුමාට වැටහෙන්නේ ඒ කවුරුවත් නොව තමන්ගේම බිරිඳ බව.

බක්මහ දීගේ හිදී අල්මවිවා සිටුතුමා හා සිටුතුමිය වලව්වක මුදලිතුමා හා ලමාතැනී වෙනවා. (රඟපාන්නේ ඩැනියෙල් මුතුමාල සහ අයිරාංගනී සේරසිංහ)

එතකොට ෆිගාරෝ – ජාසුන්(එල්සන් දිවිතුරුගම?), සුසන්නා – පබුලිනා (අනුලා කරුනාතිලක) චෙරුබීනෝ- ප්‍රේමදාස (ධර්මසිරි බණ්ඩාරනායක).

අර පරිද්දෙන්ම මුදලිතුමා ගාවට එන්නට පොරොන්දු වෙන පබුලිනා ලෙස ඇගේ ඇඳුමින් සැරසී එන්නේ ලමාතැනී.

අවසන ලමාතැනී මුදලිතුමාට සමාව දී බාරගන්නවා. ජාසුන්ගේත් පබුලිනාගේත් විවාහය ද වෙන කීපදෙනෙකුගේ විවාහ ද සම්මතයි.

මෙහි අති විශිශ්ට රංගනයක යෙදෙනවා අයිරාංගනීත්, ධර්මසිරිත්. සංගීතය සෝමදාස ඇල්විටිගල ගේ. ඔහු සංගීතය අනවශ්‍යව උලුප්පන්නේ නැතිව අවස්ථා තීව්ර කිරීමට සිය හසල සංගීත බුද්ධිය මැනවින් භාවිතයේ යොදවනවා.

බලන්න පහත ජවනිකාව.

ප්‍රේමදාස තමන් ලියූ කවියක් පෙන්නනවා ලමාතැනීට. ඔහු භද්‍ර යෞවනයෙක්. ආලය සොයන්නෙක්. ලමාතැනී ගැන උනත් ඔහුට ආශාවක් නැතිවා නෙමේ, සේව්‍ය සේවක සම්බන්ධයෙන් එහාට ගිය. මිනිස්සුන් වන අපි අවස්ථාවාදී සත්තු. ලමාතැනීගේ සැමියා, මුදලිතුමා සල්ලාලයෙකු බවත්, විශේශයෙන්ම පබුලිනා එලාගැනීමට විශාල මෙහෙයුමක යෙදී ඉන්න බවත් නොදන්නා කෙනෙක් නෑ වලව්වේ. ප්‍රේමදාසත් ඒක දන්නවා.

කෙනෙකුගේ ආදරයෙන් ගිලිහීම/ ආදරයට ලක් නොවීම අපගේ ආත්මවිශ්වාසය, පෞරුශය කඩාවට්ටන දෙයක්. අප සමාජමය ජීවින්. ලිංගික සහකරුවෙකුගේ අවධානයට ලක් නොවීම අපේ පැවැත්ම ප්‍රශ්නාර්ථයක් කරන අතර, මහා අස්ථාවර භාවයකට පත්ව එදිනෙදා ජීවිතය බංකොලොත් කරනවා.

එවන් අයෙකු කාගෙන් හෝ ආදරය, සෙනෙහස, ශාරීරික උනුසුම පතනවා විය හැකියි. කෙනෙක් ගේ ආරක්ශක වලල්ල දුර්වල කල හැක්කේ, සියුම්ව, වක්‍රාකාරයෙන්, සුන්දර වේශයෙන්, ටිකෙන් ටික කාලයක් තිස්සේ.

ප්‍රේමදාස ගේ කවියේ තියෙන්නේ;

“දියට නැමුනු මල්, පවනට හැලිලා

පෙනපිඩු සමගින් පා වෙන්නේ.

පුලුන් වලා මත සඳරැස් වැටිලා

සුලං සමග විසිරී යන්නේ …… ”

මට මේ පද හතර බාවනාවකට කමටහන් වගේ. මෙවන් ගීත අසමින් වැඩකරන දිනවල වැඩකරන මට, මේ ගීතය යද්දී මම වැඩ අඩාල කරන්නේ මගේ ගීතයට ඇති අවධානය නිසා වැඩේ පලුද්දක් ඇති වේදැයි බියෙන්.

එම පද හතරින් මුලු බක්මහ දීගෙම අර්ථ දක්වනවා වගේ. සුන්දරත්වය, ඉතා කුඩා නොවැදගත් සේ පෙනෙන දේ වල ඇති අතිමහත් විශ්මිත මනරම් බව උදාහරන දෙකකින් සම්පින්ඩනය වෙලා මුලු රාත්‍රි විශ්වයම හකුලා දක්වනවා.

“ දියඹ නැගෙන රැලි දිය මත හැපිලා

දිය කඳ දස අත පැතිරෙන්නේ.

ලොවේ මිහිර දෑතින් නොලබාලා

සුසුම් කිකල සැනසුම දෙන්නේ ……”

මේ දෙවන පද පේලියේදී ලමාතැනී, ලිංගිකව සක්‍රීය ස්ත්‍රියක් හැටියට තමන්ට තමාගේ ව්‍යසනය ඉඟිවෙනවා.

ඉතා Tight Frame එකක ඇය ඒ බව දක්වන්නෙ ඉතා සුලු මුහුනේ වෙනස්වීමකිනුත්, සෙමෙන් ඇගේ පපුව වෙත ඇදෙන මහේශාක්‍ය මුදු පැලඳී සුන්දර ඇඟිලි වලිනුත් පමනයි.

ඈ ඉදිරියේ ප්‍රේමය සොයන, කාන්තා රාත්‍රි ඇඳුමින් සැරසී ඉන්න ප්‍රේමදාසගේ කම්මුල වෙත අත යන මුත් එය ස්පර්ශ වන මොහොතේ ඇය අත නවත්තනවා.

මුදලිතුමාට ඇති අවසරය ලමාතැනීට නෑ

ලොවේ මිහිර දෑතින් ලබන්නට පුලුවන් උනත්,

අපට සමාජමය වශයෙන් නියමවූ සම්බාධක/ භූමිකා තියෙනවා. කඩ කලොත් බයානක සමාජ ආර්ථික විපාක ව්‍යසන ගෙන දෙන.

Gender Roles,…
සමාජමය පිරිමියා විඳින ප්‍රතිලාබ නෙමේ සමාජමය ගැහැනියට තියන්නේ: ඈ නිරන්තරයෙන් හොඳ ලෙස පෙනිය යුතුයි. නරක/ දුශ්ට/ ආත්මාර්ථකාමී අවශ්‍යතා හැඟීම් කාන්තාවකට තියෙන්න බෑ. රාජ්‍යයත් ආගමත් විසින් නිර්නය කරන ලද සිර කූඩුවේ සීමා වලට අවනත විය යුතුයි.

ඇගේ අත නවතිනවා.

එසේ නම් ඇය කුමක්ද කල යුත්තේ?

හොඳින් හිරබත් කෑමයි!

තම සීමා තුල ඉඳිමින්, ආවේග බර සිය සැමියා, උපාය ඥානයෙන් තමා වෙත ගෙන්වා ගැනීමයි.

ඒ අදිටනින් ඈ පබුලිනා ලෙස උයනට පිවිසෙනවා.

“ මලකින් මලකට ගොස් පැනි බොන්නට

මා හිමි බඔරුනි, ඔබ සැරසෙන්නේ

මා හිමි බඔරුනි, ඔබ සැරසෙන්නේ ….”

ඇයගේ තරහින් තොර අවබෝධයෙන් පිරීගත් චිත්තය සෝමදාස ඇල්විටිගලයන්ගේ සංගීතය මඟින් විදහා පානවා. ඒත් ඈට ප්‍රශ්නයක්;

“ කලුවර මහ රෑ කෙලෙසද හිමියනි

මල් වල හැඩරුව හඳුනා ගන්නේ……”

කාන්තාව පිරිමින්ගේ විශේශ ගෞරවයට / ආදරයට / ප්‍රදර්ශනයට / බලයට පත්වීමට යොදා ගන්නා ප්‍රපංචයක් වූ දා සිට ඔවුහු හුවමාරු වටිනාකමෙන් යුතු භාන්ඩ විතරයි.

එය තේරෙන් නැති කෙනෙක්ට තමයි එහෙම ගැටලුවක් පැන නගින්නේ.

“ අලුත් මලක් යැයි අමතක වී ඔබ

පැනි බිවු මලටම වැරදී එන්නේ

ඒ ආ විට මං පෙති හකුලාගෙන

නැවත නොයන ලෙස ඔබ රැක ගන්නේ ”

ඔපෙරාවේදී, සේවිකාව යැයි රැවටී ආදර රංගනයේ යෙදෙන සිටු තුමා බොහෝ පසුවයි දැන ගන්නේ ඒ තමාගේ බිරිඳ බව.

මෙතන තියෙන උත්ප්‍රාසය ඔබට දැනෙනවද?

කාන්තාවන් මාරු කරමින් වෙනස සොයා යන ඔහු දැක්කා ද

තමන්ට වෙන වැරදීම; එහෙම වෙනසක් නැති බව?

අපි මේ නිරීක්ශනය කලේ බක්මහ දීගෙ චිත්‍රපටයේ විනාඩි 6 ක පමන කාලයක්; මුල් නිර්මානය වූ ‘ෆිගාරෝගේ විවාහය’ සමඟ ගලප්පමින්

මට හිතෙන දේ තමයි ලෝකයේ අති විශිශ්ට නිර්මානයක් ලෙස සැලකෙන, අවුරුදු 200 කටත් වඩා පැරනි මෙම ඔපෙරාව ඉතා හොඳින් විඳ, වටහාගෙන, මුල් කතාවට හානියක් නොවන සේ, අපේ රටේ ගැහැනුන්ට මිනිසුන්ට ගැලපෙන්නට අනුවර්තනය කල ගීත නාටකයක් හා ගීතමය චිත්‍රපටයක් නිර්මානය කරන්නට දයානන්ද ගුනවර්ධනයන් කොහොම නම් පතාක නිර්මානකරුවෙක් විය යුතුද? බක්මහ දීගේ නොවේද අපේ ශෛලිගත චිත්‍රපටය?

එය අවුරුදු කාලෙට පමනක් පට්ටගහන, දැන්වීම් අතෝරක් මැද්දේ බලන චිත්‍රපටයක් ගානට වැටුනේ කොහොමද? විනාඩියෙන් විනාඩිය, ඉතා සැලකිල්ලෙන් සකසා ඇති, අංග රචනා , කැමරා කෝන, සංගීතය, රඟපෑම් අප නොදකින්නේ ඇයි …..?

හේමන්ත සොයුරා සහ මම දිනක් මේ චිත්‍රපටයේම එන “ආදර හැඟුම් ” ගීතය ගැන කතාබහකදී , ඔහු මගෙන් ඉල්ලා සිටියා එම ගීතය ගැන ලියන ලෙස

එය ලියන්ට ගිය මම අන්තිමට මේ ලියුවේ එහි එන වෙනත් ගීත දෙකකුත්, බක්මහ දීගේ කතාවත්, ඒ කතාවේ ඉතිහාසයත් ගැන.

කමක් නැහැ, මම,.ඔබෙන් ඉල්ලා සිටින්නේ ඒ සුලු දැනුමෙන් සන්නද්ධව “ආදර හැඟුම්” ගීතය අසන ලෙස, එතනින් එහාට වචනයෙන් කියන්න දෙයක් නෑ මට.

( ලේඛකයාගේ ඉල්ලීම පරිදි මේ ලිපියෙහි අක්ෂර වින්‍යාසය සංස්කරණයෙන් තොරව එලෙසින්ම ඉදිරිපත් කොට ඇත)

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

2 Responses

  1. මධුර ජවනිකා- ආනන්ද ජවනිකා නාට්‍ය දෙකේ මුද්‍රිත පිටපත් දෙක කියවන ඕනෑම කෙනෙක් විශ්මයෙන් මුසපත් වෙනවා නිසැකයි! පාදක සටහන් රොත්ත හා පරිශීලිත පත-පොත ගැන තියෙන සටහන්!

    දයානන්ද ගුණවර්ධනයන් බොහෝ ඇසූ-පිරූතැන් සහිත බහුශ්‍රුතයෙකු බවට වෙන කිසිම සාක්කියක් ඕනෑ නැහැ. නිර්මාණ කෞශල්‍යයෙන් හෙබි එහෙම කෙනෙකු නිර්මාණ කාර්යයක නියැළෙද්දී ඔහුගේ මතක සංචිතයේ ගොනුවී;තෙරපී තිබෙන දේවල් රසභාව උපද්දමින් පුනරුත්පත්තිය ලබන්නේ කොතරම් අපූරුවටද?

    මේ ගීතය අහද්දී ‘කළුවර මහා රෑ – කෙලෙසද හිමියනි – මල්වල හැඩ රුව – හඳුනාගන්නේ?’ කොටස ගමේදී; පොදු ජන වහරේදී කියවෙන හැටි මතකයි නේද? ‘කළුවරට කොයි ගෑනිත් එකයි!’ (මේක බොහොම පටු ප්‍රකාශයක්.) නමුත් ඒ කාරණයම නොවෙයිද, මොනවට ජනශ්රුති අධ්‍යයනය කර තිබුණු දයානන්දයන් වලව්වක ළමාතැනී වැනි වංශවත් කාන්තාවකගේ මුවට නංවන්නේ; ඉතා සංවර විලසින්?

    ඔහුගේ පිරිපුන් ප්‍රභාවට මේ කාරණයම ප්‍රමාණවත් සාක්ෂියක්, මට නම්!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Ad
වර්ගීකරණය
කර්තෘ
සංරක්‍ෂිත