කහ පීත්ත පටිය

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

“ඔබ බැඳලද?”

“හරියටම දන්නෙ නැහැ”

“හරියටම දන්නේ නැහැ?”

……නඩුව යන අතරේදීත් බිරිඳට කිව්වා මම අවුරුදු ගනනකට හිරේ යයි කියලා…

“ඒක දරාගන්න අමාරුනම්, දරුවෝ අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න බැරිනම්, ඔබ මාව අමතක කරන්න. ජීවිතය, වෙන කෙනෙකු සමග හෝ පටන් ගන්න. මම ඒක දරාගන්නම්…”

එයා හරිම අපූරු ගැහැණියක් ….

ඇයට මම කිව්වා මට ලියුම් ලියන්න අවශ්‍ය නැහැ කියලා….

_____________

ඔය මම පරිවර්තනය කලේ පීට් හැමිල් කියන තීරු රචකයා නූතන ඇමරිකානු ජනප්‍රවාදයේ එන කතාවක් ආශ්‍රයෙන් 1971 දී New York Post පුවත්පතට ලියූ අනුවර්තිත කෙටි කතාවේ පොඩි කොටසක්. 1972 දී Readers Digest සඟරාව මේ කතාව ඔවුන්ගේ සඟරාවේ නැවත පළ කරනවා.

ඒ කතාවේ පෙළ මෙහෙමයි…

නිව් යෝර්ක් ඉඳලා ලොර්ඩඩේල් යන තරුණ කණ්ඩායමකට බසයේදී වින්ගෝ කියන හිරෙන් නිදහස් වෙලා එන පුද්ගලයාව මුණ ගැහෙනවා.

ඒ කණ්ඩායමේ ඉන්න තරුණියක් සහ වින්ගෝ අතර ඇතිවන දෙබසේ කොටසක් තමයි ඔබ කලින් කියෙව්වේ.

අවුරුදු හතරක් තිස්සේ වින්ගෝගේ ඉල්ලීම පරිදි බිරිඳ ඔහුට ලියන්නේ නැහැ. වින්ගෝ දන්නේ නැහැ ඔහුගේ පවුල තවමත් ඔහුට තියනවද කියලා.

හිරෙන් නිදහස් වෙන්න සතියකට කලින් වින්ගෝ බිරිඳට ලියුමක් ලියනවා. එහි ඔහු බිරිඳගෙන් ඉල්ලීමක් කරනවා…

ඔබ මාව නැවත බාරගන්න කැමතිනම් ජැක්සන්විල් වලට ටිකක් මෙහා බර්න්ස්වික්වල පාර අයිනේ තියෙන ලොකු ඕක් ගහේ කහපාට ලේන්සුවක් බැඳලා තියන්න…

තරුණ කණ්ඩායම මේ කතාව අහලා නොඉවසිලෙන් ජනෙල් වලින් එලිය බලාගෙන ඉන්නවා. බර්න්ස්වික් ඉතා වේගයෙන් ලඟා වෙනවා, එක්වරම ජනෙල් වලින් බලාගෙන ඉන්න තරුණ තරුණියන් කෑගහන්නත්, ප්‍රීති ඝෝෂා කරන්නත්, සමහරු අඬන්නත් පටන්ගන්නවා.

මේ දෙස ගල්වෙලා වගේ බලාගෙන වින්ගෝ ඉහල සිට පහලට කහපාට ලේන්සු සිය ගණනක් ගැටගැසූ ඕක් ගහ දකිනවා…!

මේ කතාව කියවන රසල් බ්‍රවුන් මෙය ගීතයකට ඉතා උචිත ප්‍රස්තුතයක් බව තේරුම් ගෙන ඔහුගේ ගීත රචක සහායකයා වන අර්වින් ලවීන් සමග  “Tie a Yellow Ribbon Round the Ole Oak Tree” යන ගීතය රචනා කරනවා. ලේන්සුව වෙනුවට පීත්ත පටියක් ආදේශ කරන ඔවුන්, තරුණ කණ්ඩායම වෙනුවට බස් රථයේ රියදුරා ආදේශ කරනවා.

Tony Orlando and Dawn යන සංගීත කණ්ඩායම ගයන මේ ගීතය 1973 දී රටවල් 10 ක ගීත දර්ශක වල මුල් ගීත දහය අතරට එනවා, එයින් රටවල් අටක මෙය අංක එක බවට පත් වෙනවා.

පසුව ඇතිවන බුද්ධිමය දේපල හබයක් නිසා පසු කලෙකදී රචකයින් දෙපල මෙහි මූලාශ්‍රය ලෙස පීට් හැමිල්ගේ  කෙටි කතාව නම් කරන්නේ නැහැ. ඔවුන් කියන්නනේ ගීතයට මුල් උනේ ඇමරිකානු ප්‍රවාදය බවයි.

   

මේ කතාව හරිම රොමැන්ටික් නිසාත්, ගීතය අතිශය ජනප්‍රිය වන නිසාත් ලොව වටා මේ පිලිබඳ නොයෙක් කතා හැදෙනවා. ගීතයෙන් කියවෙන කතාව සැබෑවටම සිදුවූවක් ලෙස ප්‍රබන්ධ ගොඩ නැගෙනවා….හරියට ලංකාවේ ෆේස්බුක් කතා වගේ…..

නමුත් මේ ගීතය ජනප්‍රියත්වයෙන් එහා ගිය සමාජ ප්‍රපංචයකට මුල පුරනවා.

කහ පීත්ත පටිය, නැතිවූ කෙනෙකු, නැතිනම් පැහැරගෙන ගිය හෝ අතුරුදහන්වූ කෙනෙකු නැවත බලාපොරොත්තු වීමේ සහ පිළිගැනීමේ සංකේතය බවට පත්වෙනවා.

ශ්‍රේෂ්ඨ පර්සියානු ශිෂ්ටාචාරයක් වෙත නැවත ඉරානය කැඳවාගෙන යාමට සිහින දුටු ලිබරල්වාදී ෂා රජුගේ ඉරාන රාජ්‍යය පෙරලා දමා අයතොල්ලාහ් කුමෙයිනිගේ ඉස්ලාමික ඉරාන රාජ්‍යය බිහිවන 1979 දී අත් අඩංගුවට පත් ඇමරිකානුවන්ගේ සියරට පැමිණීමේ බලාපොරොත්තුව ඇමරිකානු ජාතිකයින් සංකේතවත් කරන්නේ කහ පීත්ත පටි වලින්. ඉන් පසු මෙය ලොව වටාම භාවිතා වෙන සංකේතයක් බවට පත් වෙනවා.

පසුගිය වකවානු වලදී කහ පීත්ත පටිය බ්‍රිතාන්‍යයේ, කොරියාවේ සහ හොංකොං වලදීත්, ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ලෝගුවෙත්, නැතිවූ අයගේ පුනරාගමනයේ සංකේතය ලෙස පැළඳෙනවා.

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Ad
වර්ගීකරණය
කර්තෘ
සංරක්‍ෂිත