නාවික හමුදාවට කෙල්ලො ඇවිත්…!

Anchor-alochana-column

නාවික හමුදාවට බඳවාගෙන ත්‍රිකුණාමලයේ නාවික හා සමුද්‍රයීය විද්‍යා පීඨයේ රැඳවූ මුල් සතියේදී ම අප ඉතා වේගයෙන් හමුදාකරණයට හුරුවෙමින් සිටියා. උදේ පාන්දර 5.00 ට අවදි වීම, හිරු නැගෙන මොහොතේ ශාරීරික ව්‍යායාම කිරීම, කළු සපත්තු වල toe එක මුහුණ පෙනෙන කන්නාඩියක් සේ දිලිසෙන ලෙස පොලිෂ් කිරීම, නිදාගත් ඇඳේ බෙඩ්ෂීට් මෙන්ම කොට්ට උරය කිසිදු රැල්ලක් නොනැගෙන සේ ඉතා පිළිවෙළට සකස් කිරීම යනාදී වශයෙන් ආරම්භ වූ හුරු පුරුදු හැන්දෙන් ගෑරුප්පුවෙන් ආහාර ගැනීමට පුරුදු වීම දක්වා ඇදී ගියා. නාවික හමුදාවට ආවේණික වූ හුරු පුරුදු අපට පුහුණු කරනු ලැබුවේ ඒවා හරි හැටියට පිළි නොපැද්දොත් දඬුවම් ලැබෙන ආකාරයටයි.

කිසිවකු ගේ ජීවිතයට ආවේණික වූ හුරු පුරුදු වෙනස් කිරීමට නම් කිසියම් ආකාරයක නීති පනවා දඬුවම් කිරීම් කළ යුතු බවට මා තේරුම් ගත්තේ මා ලැබූ හමුදා පුහුණුව සමඟයි. රටක විනය පවත්වා ගැනීමටත් මේ ආකාරයෙන් නීති සහ දඬුවම් පැණවීම ක්‍රියාත්මක කළ යුතු බව මා විශ්වාස කරන්නට පටන් ගත්තේ ඉන්පසුවයි. නාවික හමුදාවෙන් ඉවත් වී අවුරුදු තිහකට ආසන්න කාලයක් ගත වී තිබියදීත් මගේ ජීවිතයේ කිසියම් ආකාරයක ක්‍රමවත් දෛනික ජීවන රටාවක් පවතින්නේ නම් ඊට ගෞරවය හිමි වන්නේ නාවික හමුදා පුහුණුවටයි. 

අප එකිනෙකාගේ සිරුරේ මිමි ගෙන හමුදා නිල ඇඳුම් මැසීමට ගතවූ සතියක හමාරක කාලය තුළ අපට අඳින්නට සිදුවූයේ සුදු අත් දිග කමිසය, කළු දිග කලිසම සහ ටයි පටියයි. උදෑසන ශාරීරික අභ්‍යාස සඳහා අඳින පීටී කිට් (Physical Training Dress) එක ලෙස අප හැඳින්වූ සුදු කොට කලිසමත්, සුදු ටී ෂර්ටයත්, සුදු මේස් සමඟ සුදු කැන්වස් සපත්තුත් පැළඳි අප උදෑසනම කිරිකොක්කුන් සේ පෙනෙන්නට ගත්තා. එළිය වැටෙන්නටත් පෙර අපගේ අංශ භාර නිලධාරී ලුතිනන් කොන්මාන්ඩර් අබේසේන සුදු පීටී කිට් එක ඇඳගෙන අපගේ නිවස්නය ඉදිරියේ පෙනී සිටියා. ත්‍රිකුණාමලය නාවික හා සමුද්‍රයීය විද්‍යා පීඨය පිහිටා තිබුණේ නාවික තටාකාංගන බිමේමයි. අක්කර සිය ගණනකින් යුතු වූ නාවික තටාකාංගන බිමේ එක් පසෙක පුහුණු විද්‍යා පීඨය පිහිටා තිබුණු අතර නාවික රෝහල, හමුදා පුහුණුව දෙන පෙරේඩ් පිටිය, ක්‍රීඩා පිටිය හා ක්‍රීඩාගාරය, මෑතදී කතාබහට ලක්වූ ගන් සයිට් හෙවත් උණ්ඩ ගබඩාව, ආමරිය, නිලධාරී හා සෙබළ නිවස්න, නාවික ජැටිය, නැගෙනහිර ආඥාපති කාර්යාලය, හමුදාවේ නොවන නාවිකයින් පුහුණු කිරීමේ මධ්‍යස්ථානය, වෙඩි පිටිය (එනම් වෙඩි තැබීමට පුහුණු කරන බිම) ආදී ස්ථාන හැරුණුකොට තිබුණේ කැලෑවයි. උදෑසන ශාරීරික ව්‍යායාම් සඳහා අපට මේ බොහෝ ස්ථාන මැදින් දිවෙන පාරවල් දිගේ දිව යන්නට සිදු වුණා. නිරන්තරයෙන් ක්‍රීඩාවලට සහභාගි වී සිටි පිරිස් වලට එතරම් අපහසු නොවූවත් විශ්වවිද්‍යාල වලදී කිසිදු ලෙසකින් ක්‍රීඩා වලට සහභාගී නොවූ අය හොඳහැටි “මඩ කෑවා”.

උදෑසන ආහාර ලෙස බොහෝ විට ලැබුණේ පාන් පෙති, බටර්, ජෑම්, චීස්, බදින ලද බිත්තර, බේකන් වැනි ආහාරයක්. බදින ලද කුකුළු කකුලක්, මාළු පෙත්තක් මෙන්ම තැම්බූ එළවළු ලැබෙන අවස්ථා තිබුණා. මේ හැමදේම කන්නට සිදු වුණේ හැඳි ගෑරුප්පු භාවිතා කරමිනුයි. මා එතෙක් කිසිදා හැඳි ගෑරුප්පු භාවිතා කොට ආහාර ගෙන තිබුණේ නෑ. එහෙයින් මට එය නුහුරු අත්දැකීමක් වුණා. හැඳි ගෑරුප්පු වලින් ආහාර ගැනීම හුරු කරන්නට අපගේ නිවස්නයට නිලධාරියෙකු පැමිණියා. ඒත් නියමිත කාලය තුළ ආහාර ගැනීමට බැරි වූ විට භාගයට බඩගින්නේ තමයි ඉතිරි වැඩ වලට යන්නට සිදු වුණේ. ඒ නිසාම බඩ පිරෙන්න කන්න නම් ඉක්මනින් හැන්ද ගෑරුප්පුව භාවිතා කිරීම ඉගෙන ගන්න අපට නිරායාසයෙන්ම සිද්ධ වුණා.

නාවික හමුදාවේ පරිපාලන ව්‍යුහයත්, මුහුදේ නාවික කටයුතුත්, නාවික ඉංජිනේරු ශිල්පයත්, සන්නිවේදන ක්‍රමවේදත් යනාදී බොහෝ කරුණු පිළිබඳ න්‍යායාත්මක දේශනවලට මෙන්ම ප්‍රායෝගික පුහුණුවටද අප දවස පුරා සහභාගි වුණා. නාවික හමුදාවේ නිලධාරීන් සහ සෙබළ නිලයන්ගේ පරස්පරතා මෙන්ම ත්‍රිවිධ හමුදාවන් අතර තිබෙන නිලයන්ගේ සමාන අසමානකම්, උස් පහත් කම් පිළිබඳ අප අවබෝධයක් ලබා ගත්තේ මේ අතරයි. උදාහරණයක් ලෙස යුද හමුදාවේ කැප්ටන්වරයෙක‍් යනු කනිෂ්ඨ නිලධාරියෙකු වුවත් නාවික හමුදාවේ කැප්ටන්වරයෙක් නැත්නම් කපිතාන්වරයෙක් යනු ඉහළ මට්ටමේ නිලධාරියෙකු බව අප වටහා ගත්තා. නාවික හමුදාවේ ලුතිනන්වරයෙක් හා ගුවන් හමුදාවේ ෆ්ලයිට් ලෙෆ්ටිනන්වරයෙක් සමාන වන්නේ යුද හමුදාවේ කපිතාන්වරයෙකුටයි. එසේම නාවික හමුදාවේ කපිතාන්වරයෙක් යනු යුද හමුදාවේ කර්නල්ට සමාන නිලයක්. ගුවන් හමුදාවේ මේ නිලය සමාන වූයේ ගෲප් කැප්ටන්ටයි.

හමුදාවේ සමහර නිලතල ඉංග්‍රීසියෙන් ලියන ආකාරය අප මුලදී නොදැනුම්වත්කමින් උච්චාරණයේ දී වැරැද්දූ අවස්ථා මෙහි සඳහන් කරන්න කැමතියි. Lieutenant යනු ලුතිනන්වරයායි. එම වචනය උසුරුවන්නේ ලෙෆ්ටිනන්ට් කියායි. ඒත් මුලදී අප කියෙව්වේ ලියුටිනන්ට් ලෙසයි. එසේම කර්නල් යන නිලය ඉංග්‍රීසියෙන් ලියන්නේ Colonel ලෙසයි. එය කොලොනෙල් ලෙස අකුරු දෙස බලා උච්චාරණය කළ අවස්ථා තිබුණා. අධිකාරිලත් නිලධාරීන්ගේ නිලයන් උපලුතිනන්ගෙන් පටන්ගෙන අද්මිරාල් දක්වා වෙනස් වෙද්දී Seaman ගෙන් පටන් ගන්නා සෙසු නිලයන්හි උසස්ම නිල නාමය වූයේ Master Chief Petty Officer යි. නාවික හමුදාවේ Sub Lieutenant වරයෙකුට වඩා Master Chief Petty Officer කෙනෙකුට සැලකීම් ලැබුණා. සාමාන්‍ය නාවික සෙබළෙකු ලෙස නාවික හමුදාවට බැඳී Master Chief Petty Officer දක්වා උසස්වීම් ලැබ අනතුරුව උප ලුතිනන්වරයෙකු ලෙස අධිකාරි ලත් පතිරාජ පසු කලෙකදී අප හා පැවසුවේ සිංහ රැළේ පිටු පසින් ම යනවාට වඩා බලු රැළේ ඉස්සරහින් යන එක ආඩම්බර බවයි. (මේ රසවත් කතා පසුවට.) 

නාවික හමුදාවේ විවිධ අවස්ථාවලට අඳින පළඳින ඇඳුම් විවිධාකාරයෙන් වෙනස් වුණා. පෙර සඳහන් කළ පරිදි ක්‍රීඩා හා ශරීරසුවතා සඳහා සුදු පීටී කිට් එක, කාර්යාලවල රාජකාරි සඳහා සුදු කලිසම, සුදු අත්කොට කමිසය, සුදු බෙල්ට් එක, සුදු මේස් සහ සපත්තු සමග සුදු පැහැති තොප්පිය, තොප්පියේ ඉදිරිපස නාවික හමුදා ලාංඡනය, උරහිස්වල නිලයට අදාළ පටි. උප ලුතිනන්ට එක පටියයි, ලුතිනන්ට පටි දෙකයි. අපේ බැච් එකේ එක පටියේ මෙන්ම පටි දෙකේ නිලධාරීන් සිටියා. පටිය අද්දරින් සිහින් පාට තීරුවක් තිබුණේ තමන් බැඳී සිටින අංශය හඳුනාගන්නටයි. ඉංජිනේරු අංශයට රතු තීරුවක්, සැපයුම් අංශයට සුදු තීරුවක් නියමිත වුණා වගේම විධායක අංශයේ අයගේ තීරුවක් තිබුණේ නෑ. ක්ෂේත්‍ර රාජකාරි සඳහා ඇන්දේ නිල් පාට දිගු කලිසමක්, නිල් පාට අත්දිග ෂර්ට් එකක්, බඩ තදවෙන නිල් පැහැ පළල බෙල්ට් එකක්, කළු මේස් හා සපත්තු සමග බෙරේ (Beret) තොප්පියක්. සෙරමෝනියල් උත්සව සඳහා තවත් විශේෂ ඇඳුමක් නියම වී තිබුණා. 

අප කණ්ඩායම සතියකට පමණ පසු උදෑසනින්ම නිල් පැහැ යුනිෙෆා්මයෙන් සැරසී උදේ වරුවේ පුහුණුවීම් සඳහා පෙරේඩ් ග්‍රවුන්ඩ් එකට ගියා. හමුදා ඩ්‍රිල් පුහුණු කිරීම සඳහා මූලිකත්වය ගත්තේ Gunnery Instructor (GI) රත්නතුංගයි. රත්නතුංග ගේ කට හඬ මුළු විද්‍යා පීඨයම සිසාරා ගිගුම් දුන්නා. “Sub Lieutenant සර්….10 rounds around the ground……!”

Nangurama - navy

පුහුණු වීමේ අතපසු වීමක් සිදු වූ වහාම අප වෙත නිකුත් කොට තිබූ shotgun එක දෑතින් ඔසවා ගෙන පිටි වටා දිව යාම බොකු බඩවැල් එළියට එන ව්‍යායාමයක්. එක දවසක් අප වැනිම ඇඳුමින් සැරසී සිටි තරුණියන් පිරිසක් පෙරේඩ් ග්‍රවුන්ඩ් එක අසල රැඳී සිටියා. ඒ අලුතින් බඳවා ගෙන තිබූ පුහුණුවන නාවික සෙබළියන් බව අප දැනගත්තේ පසුවයි. ඔවුන් අසලින් දිව යන විට නිකමට වගේ ඒ දෙස බැලුණා. දැක හුරුපුරුදු මුහුණක් මා නෙත ගැටුණා. ඒ එක්කම අපේ නෙතට නෙත ගැටුණා.

සෙස්ස පස්සට….

4 Responses

  1. හිතාදර හෙන්රි,

    තීරු ලිපි, විත්ති කතා, චරිත කතා පිළිබඳව විශේෂ කැමැත්තක් දක්වන මම ඔබේ විවිධ වියමන් කියවමි. ඒවායින් හෙළිදරව් වන්නේ සමාජ දේශපාලනික හා සංස්කෘතික ඉතිහාසයයි. මේ මොහොතේ ජීවත් වන විශේෂයෙන් අනූව පරපුරෙන් පසු පරපුරට එම අත්දැකීම් වෙසෙසින් ඇවැසිය.

    ඔබේ වියමන් මතකයෙන් ගලා හැලෙන හැඟුම් දහරක් බව සැබෑය. ඒ අවංක වදන් වල නිතැත් බවට ඉඩ දී ඔබ පසෙකට වෙනවාදැයි වරෙක මට සිතෙයි. එසේ සිතන්නේ ඔබ සංස්කරණයට වඩා ගලා යාමට ඉඩ සලසන නිසාද යන අදහස මීට පෙර මසිත ඇති වී තිබූ හෙයිනි. එම රටාව විත්ති කතා, යාංහෑලි, චරිත කතා වලදී යහපත් ආකාරයට යොදා ගත හැකිය. ඔබට ජය !

    1. නැංගුරම දිගටම කියවන ලෙස ආරාධනා කරමි. ඔබට නිතැතින් ගලා යනවා සේ පෙනුනද බොහෝ සංස්කරණ සිදු වෙනවා. කොහොමත් මේ කොලමේ මා ලියන්නේ තෝරාගත් අවස්ථා හා සිදුවීම් පමණයි. නැත්නම් 5 වසරක නාවික හමුදා ජීවිතයේ අත්දැකීම් කෙසේ නම් ලියා නිම කරන්නද ?

    1. නාවික හමුදාව් හා බැඳි හැමෝගෙම කතාව..

Comments are closed.

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත