“රක්ෂක” යාත්‍රාවේ මාස තුනක් රාජකාරි කිරීමෙන් අනතුරුව මා ඉංජිනේරු නිලධාරියා ලෙස A 525 ලෙසින් නිල වශයෙන් හැඳින් වූ, ජපානයෙන් කුලී පදනමකට ලබා ගෙන තිබූ හෙයින් එහි මුල් නම වූ “කොටමාරු-KOTAMARU” ලෙස සාමාන්‍යයෙන් භාවිතා කළ විශාල නෞකාවට අනුයුක්ත කරනු ලැබුවා.
A 525 නැව තෙල්, වතුර හා ආහාර ගබඩාවක් ලෙස හැඳින්වීමේ වරදක් නැහැ. එය වැඩි වශයෙන් කන්කසන්තුරේ වරායේ නැංගුරම් ලා තිබුණේ නාවික යාත්‍රා හා බෝට්ටු වලට පැමිණ සිය අවශ්‍යතා සපුරා ගත හැකිවනු පිණිසයි. දවසකට වතාවක් ගැඹුරු මුහුදට යාත්‍රා කොට සේවා සැපයීමටත් A 525 නැව අමතක කළේ නැහැ. එහි එන්ජින් කාමරය විශාලයි. නැවේ තට්ටු තුනක් උසට එය විහිදී තිබුණා.
නියමිත දිනයේ මා උතුරු මුහුදේ සංචාරය කරමින් තිබූ “රක්ෂක” යාත්‍රාවෙන්ම කන්කසන්තුරේ වරායට පැමිණ A 525 නෞකාවට ගොඩ වුණා. නැව නැංගුරම් ලා තිබුණේ ජැටියට මදක් එපිටින් නිසා මට නැවට නගින්නට සිදු වූයේ ලණු හිණිමඟ දිගේයි. “රක්ෂක” යාත්‍රාව යාබද පැමිණි පසු නෞකාවෙන් හිණිමඟ පහළට හෙළනු ලැබුවා. සාමාන්‍යයෙන් එය හකුළා තබන්නේ අනවසරයෙන් යමෙකුට නැවට ගොඩ වෙන්නට නොහැකි වන ලෙසිනුයි.
ඉංජිනේරු නිලධාරියාට අමුත්තන් සඳහා ආලින්දයක් ඇතුළු සුවපහසු විශාල නිදන කාමරයක් හා ඊට යාබද නාන කාමරයක් වෙන් කොට තිබුණා. එය මගේ කෙටි නාවික ජීවිතයේ ලැබුණු සුවපහසුම නවාතැනයි. හරියට මාස තුනක් විඳි කටුක ජීවිතයට හිලව් වන්නට සුපිරි අවස්ථාවක් ලැබුණා වගේ.
නෞකාවේ අණ දෙන නිලධාරියා වුණේ පසු කලෙක නාවික හමුදාපති ලෙස කටයුතු කොට අද්මිරාල් නිලයට පත් වූ කලාවට ලැදි නිර්මාණ ශිල්පියෙකු වූ එවකට ලුතිනන් කොමාන්ඩර් සෝමතිලක දිසානායකයි. නැවේ විධායක නිලධාරියා ලෙස කටයුතු කළේ නාවික හමුදා ස්වේචඡා සේවයට බැඳී මා සමඟම මූලික පුහුණුව ලැබූ කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකු වූ ලුතිනන් එම්.ඒ. රංජිත්. (රංජිත් පසු කලෙක මුහුදු ප්‍රහාරයකදී කොටින් අතින් ජීවිතක්ෂයට පත් වුණා.)
මා යටතේ සිටි එක් නාවික සෙබළෙකු ගැනද මෙහි ලා විශේෂයෙන් සඳහන් කිරීම වටිනවා. ඒ නාවික විදුලි කාර්මික ශිල්පී විජිත රෝහණයි. මා නැවේ ඉංජිනේරු නිලධාරියා හෙයින් රෝහණගේ අංශ භාර නිලධාරියා ලෙස මට කටයුතු කරන්නට ලැබුණා. ඔහුගේ ලිපි ගොනුව තිබුණේ මා භාරයේයි. ආහාර ප්‍රශ්නයක් සම්බන්ධව මුළුතැන්ගෙයි නැවියන් සමඟ ආරවුල් ඇති කර ගැනීම නිසා අවස්ථා කිහිපයකදී ඔහුට විනය පිළිබඳ වාචිකව අවවාද කරන්නට මට සිදු වුණා.
අනතුරු ඇඟවීම් හා අවවාද නොතකා දිගින් දිගටම ඔහු විශ්වාස කරන සාධාරණත්වය වෙනුවෙන් අරගල කළ රෝහණ පිළිබඳ සටහනක් ඔහුගේ ලිපි ගොනුවට එක් කරන්නට මට සිදු වුණා. මගේ නාවික හමුදා ජීවිතයේදී මා යටතේ සේවය කරන්නෙකු පිළිබඳ තැබූ එකම සෘණාත්මක සටහන එයයි. රෝහණ ඒ තරමටම කරදරයක් වුණා. හමුදාව වැනි දැඩි විනයක් පවත්වාගෙන යන ආයතනයකට රෝහණ ගැලපුණේ නැහැ. ඒ බව සාක්ෂාත් කරමින් විජිත රෝහණ 1987 ජූනි මාසයේ ඉන්දීය අගමැති රජීව් ගාන්ධිගේ නිල සංචාරයක් අතරතුර පැවැති ආචාර පෙළපාළියේදී තුවක්කු බඳෙන් ප්‍රහාරයක් එල්ල කළා. (මේ ගැන විස්තර පසුවට)
A 525 නෞකාව රාත්‍රි මුර සංචාරයේ නොයෙදුණු හෙයින් සන්ධ්‍යා යාමයේ ඩෙක් එක මතට වී ව්‍යායාම කළ පසු අපට කරන්නට විශේෂ රාජකාරියක් නොවීය. නාවික හමුදා නිලධාරීන්ට මාසික කෝටාවක් ලෙස සැර මත්පැන් බෝතල් හා දුම්වැටි කාටුන් ලබා දුන්නේ මේ කාන්සිය මගහරවා ගන්නට විය යුතුය. තම හිතාදරයින්, නෑසියන් නොදකිමින්, ඊටත් එහා එකම මුහුණු උදේ හවා දකිමින් සති ගණනාවක් එක දිගට මුහුදේ සිටීම මානසික විඩාව ගෙන දෙන කාරණයක්.
නැවේ සිටි නිලධාරීන් තුන්දෙනා බොහෝ මැදියම් රාත්‍රීන් ගත කළේ සෝමපානයේ යෙදෙමිනුයි. නැවේ ප්‍රධානියා වූ ලුතිනන් කොමාන්ඩර් දිසානායක කලාවට ලැදි රසිකයෙකු පමණක් නොව නිර්මාණකරණයටද උනන්දු බව මා දැනගත්තේ මෙවන් සන්ධ්‍යා කතා බහකදී. මා පුවත්පත්වලට කවි කෙටිකතා ලියන බව පළමු දිනයේදීම රංජිත් පැවසුවේ බැචා අගය කරන්නට විය යුතුයි.
එවකට මා දිවයින, නවලිය පුවත්පත් වලට නිර්මාණ සපයමින් සිටියා. එහෙයින් එම නිර්මාණ පිටු සකසන්නන් කවුරුන්ද යන වගත් දැන සිටියා. අණ දෙන නිලධාරියා ලියා තිබූ කවියක් ඔහුටද නොදන්වා මම දිවයිනේ චන්ද්‍රසිරි දොඩන්ගොඩට තැපෑලෙන් යැව්වේ ඒ දැනහුඳුනුම්කම මතයි. මුහුදේ සිටියද තැපැල් සේවාව හොඳින් ක්‍රියාත්මක වුණා. සති දෙක තුනක් යන්නට මත්තෙන් නිවාඩු ගොස් පැමිණි නැවියෙකු සෝමතිලක දිසානායක නමින් පළ වූ මුහුදු ජීවිතය ගැන ලියැවුණු කවියක් පළ වූ ඉරිදා දිවයින පුවත්පතක් රැගෙන විත් තිබුණා. ඒ කවිය පළ වී තිබුණේ කවි පිටුවේ නොව වැඩි දෙනෙක් කියවන වෙනත් ලිපි අතර නිසා වඩාත් කැපී පෙනුණා.
පසු කාලයක සෝමතිලක දිසානායක නමින් පළ වූ නිර්මාණ මා කියැවූයේ පුවත්පත් වලිනුයි. සෝමතිලක දිසානායක යනු ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායකගේ සොහොයුරා බව මෙහිලා සඳහන් කිරීම වටිනවා.
A 525 නෞකාවේ සිටි මාස තුනක කාලය තුළ වූ සුවිශේෂී සිද්ධියක් පිළිබඳ ලිවිය යුතුමයි. මසකට ලැබුණ සැර මත්පැන් කෝටාව අපි තිදෙනාගේ පරිභෝජනයට ප්‍රමාණවත් වූයේ නැහැ. මත්පැන් පානය නොකරන හෝ ගෙදර ගෙන නොයන නැවියන්ගෙන් මිලදී ගත්තත් සමහර මාස අවසන් වූයේ මත්පැන් කඳුළක් බෙහෙතකටවත් සොයා ගන්නට ඉඩක් නැතිවයි.
එවන් අවාසනාවන්ත දවසක රංජිත් මගේ කාමරයට පැමිණියා.
“වැඩක් තියෙනවා. කරමුද ? CO ටවත් දැනගන්න බෑ. වැඩේ ඉවර වුණාම කියමු.”
රංජිත්ගේ යෝජනාව වූයේ මගේ විශාල නාන කාමරයේ කෙළවරක පළතුරු වලින් මධ්‍යසාරය පෙරීමටයි.
“යකෝ තොපේ පැත්තෙනේ මේවා රටටම පෙරන්නේ..ඕක දන්නෙ නැද්ද..ඉඳහං මං පෙරන හැටි කියල දෙන්නං. උඹයි මායි එක් වුණාම මේක සිම්පල්.”
රංජිත් බොහෝ දුරට සිතා තිබුණා. තාක්ෂණ සහය ඉංජිනේරු නිලධරයා වන මගෙන්. මට ස්ටෝරුවෙන් තඹ බට හා බර්නර් එකක් ගෙන්වා ගැනීම කජ්ජක් නොවේ. භාජනයක් හා අවශ්‍ය පළතුරු සැපයීම රංජිත් බාර ගත්තා. රාත්‍රියේ ක්‍රියාන්විතය ආරම්භ කිරීමට තීන්දු වුණා.
“ බොන්න දේකුත් නැති හංදා CO රෑට කාපු ගමන් කාමරේට යයි. මං බඩු ටික මගේ කාමරේට ගෙන්න ගෙන තියන්නම්. උඹත් තාක්ෂණ උපකරණ ගෙන්වා ගනිං.”
පහුවදා උදෙන්ම රංජිත් මගේ කාමරයට ආවා. “ ඔය හැදෙන්නෙ බඩු ටොප් එකට” බිංදුව බැගින් වෑහෙන දියරයේ රස බැලූ රංජිත් ප්‍රීතියෙන් පිනා ගියා. “උඹට කරන්න තියෙන්නෙ ලිප දිගටම වැඩද කියල සැරෙන් සැරේ බලන එකයි. ඔය කොයිල් එක සීතල වෙන්න දිගටම වතුර ටැප් එක ඇරල තියපන්.”
නැවේ සමබරතාව රැක ගන්න ballast tank වලට පොම්ප කළ මුහුදු වතුර පාවිච්චි කළ නිසා වතුර අපතේ යාමක් ගැන සිතන්න අවශ්‍ය වුණේ නෑ. Sea water ටැප් එක දිගටම විවරව තැබුවා.
දවසකට පස්සේ බෝතලයක් පිරෙන්න පළතුරු සුවඳැති මධ්‍යසාර එකතු වුණා. රංජිත් හවස් වෙද්දි ගජරාමෙට පාටියක් සංවිධානය කළා. බෝට්ටු වලින් දීල ගිය ඉස්සන්, දැල්ලන් එකක් විවිධ මාළු වර්ග හදලා තිබුණා. ඒ දවස් වල ඉස්සන්, දැල්ලන් කාලාම ඇඟ් පලු දාලත් තිබුණා. ඌෂ්ණයට වැඩිකමට.
“කොහෙන්ද බෝතලයක් හොයා ගත්තෙ?” CO ඇහුවා.
“ස්ර්… බීල බලලම කියන්නකෝ කොහොමද කියලා”
“පංකාදු බීමක්නේ… උඹලා පෙරුවද?”
අපි ඇත්ත විස්තරේ කිව්වා.
“මේ පාර විතරයි. ආයෙ බෑ”
ලුතිනන් කොමාන්ඩර් සෝමතිලක දිසානායක නොනිල තරවටුවක් කෙරුවා.
සෙස්ස පස්සට…