පසුගිය කලාපයෙන් චතුරාර්ය සත්‍යයේ පළමු සත්‍ය තුන පමණක් විස්තර කළ නිසා මෙවර සිව්වැනි සත්‍යය වූ මාර්ග සත්‍යය ගැන වටහා ගන්නට උත්සාහ කරමු.
දුක අහෝසිකර දමා නිර්වාණ අවබෝධය ලැබීමට ඇති මාර්ග සත්‍ය නිසා ‘දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා අරිය සච්ච’ ලෙස මෙම මධ්‍යම ප‍්‍රතිපදාව හඳුන්වනු ලැබේ. එකල බමුණු දහමේ පැවති ශරීරයට දුක් පැමිණවීමේ උග‍්‍ර තපස් ව‍්‍රතය වූ අත්ථකිලමතානුයෝගයත්, එසේම ප‍්‍රතිවිරුද්ධ අන්තය වූ සිරුර සැප සම්පත් වලින් ආඪ්‍ය කිරීමේ කාමසුඛල්ලිකානුයෝගයත් බුදුන් වහන්සේ මුල් කාලයේදී අත්විඳි සේක. එම මාර්ග නිරර්ථකවූවා පමණක් නොව ඉන් දුකින් විනිර්මුක්ත විය නොහැකි බව පසක් කර ගත්හ. එනිසා තමන් වහන්සේ දුක නැතිකර නිවන් අවබෝධය ලබාගත් ඒ අන්ත දෙකට අතරමැදි මධ්‍යම ප‍්‍රතිපදාවේ යෙදීම බුදුන් වහන්සේ හඳුන්වා දුන් සේක. එමගින් යහපත් දැක්ම, අන්තර් ඥානය මෙන්ම සම්බෝධිය සාක්ෂාත් විය. මේ මධ්‍යම ප‍්‍රතිපදාව කුමක්ද?
ආර්ය අෂ්ඨාංගික මාර්ගය (මධ්‍යම ප‍්‍රතිපදාව)
1 සම්මා දිට්ඨි යහපත් දැකීම හෙවත් අවබෝධය
2 සම්මා සංකප්ප යහපත් සංකල්පනා හෙවත් සිතිවිලි
3 සම්මා වාචා යහපත් වචන හෙවත් කතාබස් කිරීම්
4 සම්මා කම්මන්ත යහපත් කර්මාන්ත හෙවත් කටයුතු
5 සම්මා ආජීව යහපත් ලෙස ජීවිතය ගෙනයාම
6 සම්මා වායාම යහපත් වූ වෑයම් කිරීම්
7 සම්මා සති යහපත් සිහිය නම් නිසි සිහි නුවණ
8 සම්මා සමාධි යහපත් සමාධිය (සිතේ එකඟ බව)
මෙහි සම්මා දිට්ඨි සහ සම්මා සංකප්ප ප‍්‍රඥාවට අදාළ වෙති. සම්මා වාචා, සම්මා කම්මන්ත සහ සම්මා ආජීව රැකිය යුතු සීලයයි. සම්මා වායාම, සම්මා සති සහ සම්මා සමාධි, මානසික ශික්ෂාව හෙවත් සමාධිය වශයෙන් දැක්විය හැකිය.
ආර්ය අෂ්ඨාංගික මාර්ගය බෞද්ධ චර්යාව හෙවත් හැදියාවත්, බෞද්ධ පුහුණුවත් අඩංගුකර දැක්වූ ධර්මයයි. බුදුන් වහන්සේ වසර 45ක් මුළුල්ලේ දේශනා කළ සියලූ ධර්මයන්ම ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළ අඩංගුයි.
ආර්ය අෂ්ඨාංගික මාර්ගය බෞද්ධ චරණයේ අත්‍යාවශ්‍ය පුහුණුවීම් තුනක් අරමුණුකොට පවතියි. ඒ සීල, සමාධි සහ ප‍්‍රඥා යන බුදු දහමේ ප‍්‍රධාන ධර්මතා තුනයි. බුදු දහම අනුව මනුෂ්‍යයෙකු තුළ කරුණාව සහ ප‍්‍රඥාව සම-සමව පිහිටුවා ගතයුතුය. කරුණාව මිනිසාගේ හැඟීම් පාර්ශවය නියෝජනය කරයි. ප‍්‍රඥාව බුද්ධිය නිරූපනය කරයි. ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් මේ දෙඅංශයම දියුණු කරගත හැකිවෙයි.
මධ්‍යම ප‍්‍රතිපදාව අනුව ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සීලය නම් සම්මා වාචා, සම්මා කම්මන්ත සහ සම්මා ආජීවයයි. සම්මා වාචා අනුව සත්‍යයම කතා කළ යුතුය. මිත‍්‍රශීලි, දයාබර, යහපත්, ප‍්‍රසන්න වචනයෙන් කතා කිරීම අපෙක්ෂා කෙරේ.
නින්දා අපහාස, කටකතා, කේලාම් කීම, දොස් කීම, මෝඩ වාචාලකම, පරුෂ වචන හා බොරුකීම සම්මා වාචාවට පටහැනිය. එසේම යමෙකුගේ කතා හෝ වචන නිසා පුද්ගලයෙකු තුළ හෝ කණ්ඩායමක් තුළ ද්වේෂය, එදිරිවාදිකම්, අසමඟිය, හෝ විරෝධතාවයන් හටගනී නම් එයද සම්මා වාචා හෙවත් යහපත් වචනයට පටහැනිය.
සම්මා වාචාව සෑම අවස්ථාවකම රළු, අශිෂ්ට, අවිනීත, ද්වේෂ සහගත සහ ආක්‍රෝශ පරිභව කතා විලාශයන්ගෙන් වැළකේ. කිසිවිටෙකත් නොසැලකිල්ලෙන් කතා නොකළ යුතු අතර දිව දෙකේ කතාද මගහැරිය යුතුවෙයි. බුදුන් වහන්සේ චුල්ල හත්ථි පදෝපම සූත‍්‍රය ඇතුලූව පසුව දේශනාකළ සූත‍්‍ර ගණනාවක මෙසේ වදාරති. ‘‘යා සා වාචා නෙලා කණ්ණසුඛ පෙමනියා හදයංගමා පොරි බහු ජන කාන්තා බහු ජන මනාපා තථා රූපිං වාචං භාසිතා…’’ කනට සුවදායි බොහෝ දෙනා කැමති, බොහෝ දෙනා ප‍්‍රිය කරන හෘදයාංගම පේ‍්‍රමනීය වචනම භාවිත කරන මෙන් මෙම සූත‍්‍රවල සඳහන් වී ඇත. නිවන් අවබෝධයට යහපත් වචන අවශ්‍යවන්නේ වචන නිසා බොහෝ හිරිහැර කරදර සහ විනාශයන් සමාජය පුරාම ව්‍යප්ත වන බැවිනි. එනිසා සීලයේ මුල්ම අදියර යහපත් වචන භාවිතයයි. මංගල සූත‍්‍රයේ දී එය ‘සුභාසිතාච යා වාචා – එතං මංගල මුත්තමං’ ලෙස මංගල කාරනයකි. සතර සංග‍්‍රහ වස්තුවේ දී ‘ප‍්‍රිය වචනය’ අන්‍යයන්ට කරනා සංග‍්‍රහයකි. නන්දිවිශාල වැනි ජාතක කතා වලදී යහපත් වචනයේ බලය උද්ගාමී තර්ක ක‍්‍රමයෙන් පහදා දී ඇත. දශ අකුසල් වලදී වැඩිම අකුසල් එනම් අකුසල් හතරක්ම සිදු වන්නේ වචනයෙනි. චුල්ල හත්ථි පදොපම සූත‍්‍රය ඇතුලූ දේවදහ, මහා තණ්හාය සංඛ්‍ය, සාලෙක්‍ය ආදී බොහෝ සූත‍්‍ර වල බුදුන් වහන්සේ ‘‘යා සා වාචා නෙලා කණ්ණසුඛ පෙමනියා හදයංගමා පොරි බහු ජන කාන්තා බහු ජන මනාපා තථා රූපිං වාචං භාසිතා…’’ වශයෙන් නැවත, නැවත යහපත් වචනය අවධාරණය කර ඇත. නිර්වාණය අවබෝධ කරගන්නා මාර්ගයේද අංග අටෙන් එකකි යහපත් වචනය. එමනිසා මධ්‍යම ප‍්‍රතිපදාවේ සම්මා වාචා කෙතරම් උසස් අගයක් දරණවාදැයි අපි සලකා බැලිය යුතුවෙමු. කටින් පිට වූ වචනයක් ආපසු ඇද ගත නොහැක. මකා දැමිය නොහැක. එමගින් මහා විනාශයන් වුවද සිදුවිය හැකිය. ලොව එසේ සිදුවී තිබේ. එමනිසා ප‍්‍රවේශමෙන් වචන භාවිත කළයුතු බව සියලූ දෙනාම සිහියේ තබා ගත යුතුය. එය බුදුන් වහන්සේගේ උපදේශයකි.
සීලයට අදාල ඊළඟ ගුණාංගය නම් සම්මා කම්මන්තයයි. එනම් ආචාරශීලී, සුසීලවත්, අවංක, සාමකාමී දිවි පෙවෙතකට යොමු වීමය. කිසිවෙකුටත් හානි නොපමුණුවන භීෂණයෙන් තොර, සෙනෙහසින් පිරි, තමා ගැනත් අන්‍යයින් ගැනත් ප‍්‍රාමුඛ්‍යයයෙන් යුතුව කටයුතු කිරීම යහපත් කර්මාන්තය හෙවත් යහපත් කටයුතුවල ලක්ෂණයයි. පර පණ හානි කිරීම, සොරකම, වංක භාවය හා අසම්මත ලිංගික සබඳතා පැවැත්වීම සම්මා කම්මන්තයට පටහැනිවීමකි. සම්මා කම්මන්තය පුහුණු කරන්නා හැමවිටම අවංක, සාමකාමී, සන්තුෂ්ටි ජනක තෘප්තිමත් ජීවිතයක් ගතකරයි.
ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ තුන්වන හා අවසාන සීල ගුණය වන්නේ සම්මා ආජීව හෙවත් යහපත් ජීවිකාවයි. කිසිවෙකුට හෝ හානිදායක අන්දමේ රැුකියාවකින් තම දිවිපෙවෙත පවත්වා ගෙනයාම සම්මා ආජීවයට පටහැනිය. ආයුධ වෙළෙඳාම, මරණය ගෙනදෙන අවි ආයුධ වෙළෙඳාම, මත්පැන් වෙළෙඳාම සහ දිවි තොරකරන වස විෂ වෙළෙඳාමෙන් ජීවිකාව සරිකර ගැනීම සම්මා ආජීවයට ප‍්‍රතිවිරුද්ධ ක‍්‍රියාවන්ය. යහපත් මනා ජීවිකාවක් පවත්වාගෙන යන පුද්ගලයා කිසි දිනක සතුන් නොමරන්නේය. වහල් වෙළෙඳාම සහ වහල් මෙහෙය හෙළා දකී. මොනම තත්වයක හෝ යුද කිරීම් වලට නොපෙළඹෙන්නේය.
මේ අංග තුන එනම් යහපත් වචන කතා කිරීම, යහපත් කටයුතුවල නිරත වීම සහ යහපත් ජීවිකාව පවත්වාගෙන යාම නිර්වාණ අවබෝධය සඳහා මුල්වන ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සීල ගුණාංගය වශයෙන් හැඳින්වෙයි. සිතින්, කයෙන් සහ වචනයෙන් කෙරෙන ක‍්‍රියා සමතුලිතකර ජීවිතයේ මනා පැවැත්ම සලසා දීම සීලයේ පරමාර්ථයයි.
පින් ලබා ගැනීමේ චේතනාවෙන්, මරණින් පසු හොඳ තැනක ඉපදීමේ ආශාවෙන් පන්සිල් අටසිල් ආදිය රැුකීම මමත්වය තහවුරු කරගැනීමක් මිස සීලයක් නොවේ. පින් සිදුවෙනවාය ඒ පිනෙන් දිව්‍යලෝකයේ සැප විඳින්න පුළුවන්ය සිතා රකින සීලය නියම සීලයක් නොවේ. මෙහි චේතෝ විමුක්තියක් නොමැත. තමන්ට (‘මම’ට) අවාසි වේයැයි, අවැඩක් වේ යයි සිතා පව් නොකර මතු බලාපොරොත්තු ඇතිව පින් කිරීමෙහිද චේතෝ විමුක්තියක් (කෙලෙසුන් කෙරෙන් මිදීමෙන් ලබන සමාධිය) නොමැත. එසේ නම් සීලය අවශ්‍යවන්නේ විමුක්තිය උදෙසා බව පැහැදිළිය. සීලයෙන් විය යුත්තේ රාග නිශ‍්‍රිත ඇල්ම ඇද බැඳ තබාගැනීම දුරු කිරීමයි.
සම්මා වායාම හෙවත් යහපත් වෑයම කුමක් උදෙසාද? සිතෙහි වීර්යය උදෙසාය. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සමාධි ගුණාංග තුනෙන් පළමුවැන්න මෙම සම්මා වායාමයයි. මෙහිදී අපේක්ෂා කරන්නේ සිත තුළ නූපන් අකුසල් මතුවෙන්නට අවකාශ නොදීම මෙන්ම යම් හෙයකින් අකුසල් සිතිවිලි පහළ වී ඇත්නම් ඒවා පලවා හැරීමය. ඊළඟට නූපන් කුසල් උපදවා ගත යුතුවන අතර දැනට සිත තුළ උපන් කුසල් වැඩි දියුණු කරගැනීමද අපේක්ෂිතයි. මෙසේ සම්මා වායාමයෙන් අප වීර්ය කළ යුත්තේ අවදිව සිටිමින් අස්වස්ථ සිතිවිලි පළවා හැරීම සහ යහපත් සිතිවිලි වැඩි දියුණු කිරීමය. සත්ව පරිණාමයෙන් පැවතෙන මනුෂ්‍යයන් තුළ නොසරුප් ගති චර්යා අනවරතයෙන් උපදින්නට පිළිවන. මෙම වෑයම ඒවායේ ඉපදීම ද වළක්වාගැනීමය.
සමාධි චරණයේ ඊළඟ ගුණාංගය වන්නේ සම්මා සතියයි. පෘතුල අවධානයත් නිසි මානසික අවදියත් මෙයින් අපේක්ෂා කෙරේ. අපගේ කය හෙවත් ශරීරය අනුව මෙනෙහි කරමින් කායානුපස්සනාවේ යෙදිය යුතුය. අනුපස්සනා යනු නැවත, නැවත නුවණින් විමසා බැලීමයි. ඒ අනුව කය පිළබඳව නැවත, නැවත විමසා බැලීමෙන් ආශ්වාස ප‍්‍රශ්වාසයේ සිට මරණයෙන් පසු කයට සිදුවන දේ දක්වා නැවත, නැවත විමසා බැලීම සිදුවෙයි. ඊළඟට වේදනානුපස්සනාව යටතේ අපට දැනෙන්නාවූ සුඛ, දුක්ඛ, සහ උපෙක්ඛා වේදනාවන් ගැන සිහි එළවා විමසා බැලිය යුතුය. තෙවනුව සිතේ ක‍්‍රියාකාරිත්වය විමසීම චිත්තානුපස්සනාවයි. සිව්වෙනුව අපගේ අදහස් හා සංකල්පනා පිළිබඳව විමසා බැලීම ධම්මානුපස්සනා වශයෙන් හැඳින්වෙයි. මෙම සතර සතිපට්ඨානයෙන් විස්තර කරන මනා සිහිය හෙවත් අවදිය නිර්වාණ අවබෝධයට මහත් සේ උපකාරීවෙන බව බුදුන් වහන්සේ දේශනා කළ සේක. (සම්මා සතිය පිළිබඳව වෙනම ලිපියක් ඉදිරි කලාපයකින් දැක්වීමට අපෙක්ෂා කරමු)
ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ඊළඟ චරණය මානසික විනය පිළිබඳව වූ සම්මා සමාධියයි. බුදුන් වහන්සේගේ ධර්මයේ මිනිස් මනසට උසස් ස්ථානයක් හිමිව ඇත. එතෙක් පැව ති ආගම් සහ ධර්මයන් මනස ගැන තැකීමක් නොකළහ. ඔවුහු සිතුවේ සියල්ල සිදුවන්නේ දෙවියන්ගේ කැමැත්ත අනුව බවයි. මනසේ වැදගත්කම පළමුවරට හෙළි කරන ලද්දේ බුදුන් වහන්සේ විසිනි. ‘සචිත්ත පරියො දපනං’ ලෙස මනස පාලනය කර පිරිසිදුව තබාගැනීම තම අනුශාසනාව බව වදාළේ එබැවිනි. නියම සතුට ළඟාකර ගැනීමටත් දුක්ඛ නම් වූ සිතෙහි හටගන්නා අතෘප්තිකර භාවය මුදාහැරීමටත් මනසේ පාරිශුද්ධත්වය ඉතා වැදගත් බව බුදුන් වහන්සේ අවධාරණය කළ සේක. මේ සඳහා දෙවිධියක භාවනා ක‍්‍රම ඇත.
සමථ භවනාව වශයෙන් ඵලදායි විෂයයක් කේන්ද්‍ර කරගෙන ඒ ඔස්සේ මනස මෙහෙයවා භාවනා කළ හැක. දෙවන භාවනා මාර්ගය විපස්සනා භාවනාවයි. බුදු දහමේ ප‍්‍රතිවේදනය හෙවත් අන්තර්දෘෂ්ටිය අඩංගු භාවනාව මෙයයි. මෙහිදී සාමාන්‍ය දෘෂ්ටියෙන් ඔබ්බට ගොස් සියල්ල අනිත්‍යයි, සැම ආශාවකම දුක්ඛ හෙවත් අතෘප්තිකර බව රැුඳී ඇත, සහ සියලූ ප‍්‍රපඤ්චයන් තුළ ආත්මයක් නැත, යන ත‍්‍රිලක්ෂණය පදනම් කරගෙන විදර්ශණා භාවනාවේ යෙදෙයි. මෙහිදී පඤ්ච නීවරණ නම් වූ නිවන් මඟ අවුරණ කාමච්ඡුන්දය, ව්‍යාපාදය, ථීන මිද්ධය, උද්ධච්ඡු කුක්කුච්ඡු සහ විචිකිච්ඡුා යටපත්කර මානසික ප‍්‍රශාන්තිය ලඟා කරගනී.
සමථ භාවනාව බුදුන් වහන්සේ විසින් හඳුන්වා දෙන ලද භාවනාවක් නොවේ. බුද්ධ කාලයට පෙර සිටම භාරතයේ මෙම භාවනාව ප‍්‍රචලිතව පැවතුනි. එකල තම ප‍්‍රශ්නවලින් ගැලවීමට අවශ්‍ය නිසා නොයෙක් ආකාරයේ භාවනාවන්හි යෙදින. එනිසා මෙම භවනා යමක් ලබාගැනීමේ උවමනාව, අභිප‍්‍රාය හෝ පෙළඹවීම මත රැුඳුනි. එනිසා එම භාවනාවන්හි යෙදීමෙන් විමුක්තියක් නොලැබුනි. භාවනාවේ නියම තේරුම නම් සිතිවිලිවල අවසානයයි.
එසේම ඉරියව් සතරේදීම සෑම ක‍්‍රියාකාරකමක්ම අවදි යෙන් සවිඥානකව කිරීම චතු සම්පජානයයි. මෙම අනවරත සිහිනුවණ ජීවිතයේ ඇතුළතින් පමණක් නොව බාහිරවද ශික්ෂණය ලබා දෙයි. එමනිසා භාවනාව එදිනෙදා ජීවිතයේ අංගයක් පමණක් නොව එය අරමුණක් ඔස්සේ සහයෝගයෙන් කටයුතු කිරීම, සංවේදී භාවය සහ බුද්ධිමත් බව ළඟාකර දෙයි. එසේම ධාර්මික ජීවිතයක ප‍්‍රතිෂ්ඨාව නොමැතිවන්නේ නම් භාවනාව ගැලවීම සඳහා කරන දෙයක් පමණක් බැවින් එහි වටිනාකමක් නොමැත. ධාර්මික ජීවිතයෙන් අදහස් කරන්නේ පවත්නා සමාජ ආචාර ධර්ම පිළිපැදීම පමණක්ම නොවේ. ඊර්ෂ්‍යයාව, කෑදරකමින් බලය සෙවීම, ද්වේෂය, උඬඟුකම හා මානය වැනි අවගුණ සමාජය තුළ එදිරිවාදිකම් ඇති කරයි. සිතිවිලි සිතාගෙන මේවා දුරුකළ නොහැකිය. ඒ සඳහා මේ හැම අවගුණයක් සම්බන්ධයෙන්ම අවදියෙන් විමසා බැලීමේ ස්වයං දැනීමක් ලබාගත යුතුවෙයි. එවිට නිරායාසයෙන්ම අභ්‍යන්තර ගුණ වගාව සිදුවෙයි. එනම් සීලය, මානසික විනය නම් වූ සමාධිය සහ ප‍්‍රඥාවයි. භාවනාව නිසා සීලය, සමාධිය සහ ප‍්‍රඥාව වර්ධනය විය යුතුවා මෙන්ම එසේ නොවන කිසිම ක‍්‍රියාකාරකමක් භාවනාවක් නොවන බව බුදුන් වහන්සේ දේශනා කළ සේක. (ගිහි ජීවිතයට අදාල කරගත හැකි භාවනා පිළිබඳ විස්තරයක් ඉදිරි කලාපයක දී දැක්වේ).
ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ප‍්‍රඥා කොටසට අදාළවන සම්මා දිට්ඨි සහ සම්මා සංකප්ප ගැන ඊළඟ කලාපයෙන් බලාපොරොත්තු වන්න.