මං හැමදාම කිව්වා, ලංකාවේ සංගීතවේදියෝ කියලා කියාගන්න අය සංගීතයේ හෝඩියවත් හරියකට ඉගෙනගෙන නැහැ කියලා. මං ඒ ටික අදත් කියනවා. අහන්න, මේ ගෙන් ගෙට ගොස් හිඟමන් අයැදින යාචකයා නාද ස්වරම් නැමැති නලා විශේෂය වාදනය කරන අපූරුව. මොහුව හමුවන්නේ මදුරෙයි නගරයේ වීදි කොනක. මොහු වාදනය කරන්නේ “ජගදෝධාරනා” නැමැති ගීතය. මේ ගීතය ලියන්නේ 1448-1565 කාලයේ ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ විසූ චින්තකයෙකු, විශිෂ්ට සංගීතවේදියෙකු සහ කවියෙකු වූ පුරන්දරදාස ගුරුතුමා. උන්වහන්සේ කර්ණාටක සංගීතයේ උන්නතිය සඳහා කළ අනුපමේය කැපවීමට ගරුකරනු වස් “පිතාමහ” (කර්ණාටක සංගීයේ පියා) ලෙසයි හඳුන්වන්නේ.
පුරන්දරදාස විසින් ලියා තනු නිර්මාණය කළ මේ ගීතයෙන් කියැවෙන්නේ ක්‍රිෂ්ණා දෙවිදුන්ගේ මව යශෝදා තමන්ගේ පුත්‍රයා කවුදැයි හරිහැටි නොදැන ඔහුත් සමගින් කරන දයාන්විත ජීවිත ගනුදෙනුවක් ගැන.
මේ නිර්මාණයට පදනම් රාගය “කරහරප්‍රියා” රාගයේ ජන්‍ය රාගයක් වන “කාපි” රාගය. මේ රාගයයේ ස්වර පරාසය තුල කරුණා රසය මොනවට ගැබ්ව තියෙනවා. මේ වාදකයා ජගදෝධාරනා ගීතයටත් කාපි රාගයටත් සංගතව කරන වාදනය ඉතා අගනේයි. ගීතයේ එන ඉතා සියුම් සහ සංකීර්ණ තැන් මොහු ග්‍රහණය කරගන්නේ පහසුවෙන්. සමස්ත වාදනය තුළම එකම අව ස්වරයක්වත් ඇහෙන්නේ නැහැ. තමන් සංගීතවේදීන් යැයි පාරම්බාන ලාංකිකයින්ට මේ ගෙන් ගෙට ගොස් වාදනයක් ඉදිරිපත් කරන “යාචකයා” හොඳ පාඩමක් උගන්වනවා. අනූ ගනන්වල මා නාද සිත්තමෙන් ඉදිරිපත් කළ තර්කය අදටත් වලංගුයි මගේ හිතේ.