ආදම්ගේ පාලම තරණය

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest
Anchor-alochana-column

උතුරේ-දූපත්

උතුරේ-දූපත්

වැල්වෙටිතුරේ ප්‍රහාරය අවසානයේ ඉතා සාමකාමී හා තැන්පත් ලෙසින් දියඹට ඇදුණු “රක්ෂක” යාත්‍රාව තොන්ඩමනාර්, මයිලඩි, කන්කසන්තුරේ, කීරිමලේ, දඹකොළපටුන, කෝවලම් පසු කොට එළුවෙයිතිව්, අනලෙයිතිව්, නයිනතිව්, පුන්කුඩතිව් හා ඩෙල්ෆ්ට් දූපත් අතරින් තලෙයිමන්නාරම බලා පිටත් වුණා.

ඉන්දියාව හා ලංකාව අතර ගොඩබිමේ දුරස්ථභාවය කෙමෙන් අඩු වීමත් සමඟ ඉන්දීය මුහුදු සීමාව ළං වෙන්නට වුණා. ඒ සමඟ මත්ෂ්‍ය කර්මාන්තයේ නිරත ධීවරයින් දියඹේ තැන තැන සුලභ වෙන්නට පටන් ගත්තා. ලංකාවේ ධීවරයින්ට මුහුදු යෑම තහනම් වුවත්, නොදැනුම්වත්කමින් හෝ හොඳ මාළු අයිනක් අල්ල ගන්නට හිතාමතා සිය දේශ සීමා පසු කොට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වන ඉන්දීය ධීවරයින් පළවා හරින්නට නාවික හමුදාව කටයුතු කළා.

තමන්ට නාවික හමුදාවෙන් අනතුරක් නැති බව දැන සිටි ඉන්දීය ධීවරයින් කළේ නාවික යාත්‍රාවක් ඇස නොගැටේ නම් සිය කාර්යයේ රිසි සේ නියැලීමයි. යම් හෙයකින් නාවික යාත්‍රාවක් ළඟා වුවහොත් ඔවුන් කළේ තමන් ඇල්ලූ ඉස්සන්, දැල්ලන් හා වෙනත් මාළු පරිත්‍යාග කිරීමයි. “ෂාමී..ෂාමී..” කියමින් මාළු කූඩා ඔසවාගෙන සිටින ඔවුන් ගෙන් සමහරු මාළු ලබා ගත්තේ කප්පම් වශයෙන් නොවේ. ඊට සරිලන ආහාර ද්‍රව්‍ය හිලව්වට ලබා දෙමිනුයි. අපත් සමහර විටෙක එසේ මාළු ලබා ගත්තේ දින ගණනාවක් මුහුදේ ගතකිරීමේදී ඔවුනට අවශ්‍ය වන කිරිපිටි, සීනි හා වෙනත් ආහාර ලබා දෙමිනුයි. නමුත් මේ මාළු බෝට්ටු සුපරික්ෂා කිරීමට නැවියන් පියවර ගත්තේ මාළු අල්ලන මුවාවෙන් හොරබඩු හෝ ත්‍රස්තවාදීන්ට අවශ්‍ය ආයුධ ප්‍රවාහනයට ඉඩ තිබුණු නිසයි.

වාර කිහිපයක් මුහුදේ යාත්‍රා කරමින් ලද අත්දැකීම් මත සුක්කානම මගේ අතට හුරු වුණ පසු  අණ දෙන නිලධාරිවරයා මට තනිවම යාත්‍රාව පදවා ගෙන යාමට අවසර දී තිබුණා. එසේම නාවික මුහුදු සිතියම පරිශීලනය කරමින් යාත්‍රාව දියඹේ දියත් කිරීම මගේ දෛනික රාජකාරියේ කොටසක් වුණා. වඩාත් අවදානම් වූයේ විටෙක විසිරී තිබෙන ඉන්දියන් බෝට්ටු වල නොගැටී යාත්‍රාව පැද යාමයි.

නාවික සිතියමක්

නාවික සිතියමක්

නාවික සිතියම කියැවීම හා තේරුම් ගැනීම වෙනම කලාවක්. මුහුදු ගමන් මාර්ගය සිතියමේ සලකුණු කරමින් බාධක, ගල්පර මග හරිමින්, වෙරළේ සිට දුර පවත්වා ගනිමින්, මුහුදේ ගැඹුර නිරන්තරයෙන් සිතියම මගින් අධ්‍යයනය කරමින් ගිය ගමන එක්තරා ආකාරයක අභ්‍යාසයක් ලෙස හැඳින්වූවත් වරදක් නැහැ. මුහුදේ ගැඹුර සටහන් වී තිබුණේ ෆැදම්ස් (Fathoms)  වලින්. මුහුදේ ගැඹුර මනින්නේ ශබ්ද තරංග පතුළට යවමිනුයි. එය නම් කෙරෙන්නේ soundings ලෙසයි. Fathoms යන වදන බිහි වී ඇත්තේ ඈත අතීතයේ මිම්මක් මැනීමේ එක්තරා ක්‍රමවේදයකට අනුවයි. එනම් වැඩිහිටි පුද්ගලයෙකු දෑත් දෙපසට දිගු කළ විට ඔහුගේ මැද ඇඟිලි තුඩු දෙක අතර දිග ලෙසිනුයි. වර්තමානයේ මුහුදේ ගැඹුර මැනීම සඳහා echo sounder භාවිතා කෙරෙනවා. එහි අගය එන්නේ මීටර වලින්. ඒ අනුව තවදුරටත් ෆැදම්ස් අවශ්‍ය වන්නේ නැහැ.

එක්තරා දවසක අලුයම් කාලයේ මා පදවා ගෙන ආ “රක්ෂක” වේග කාලතුවක්කු යාත්‍රාව (Fast Gun Boat- FGB) තලෙයිමන්නාරම ජැටියට ළඟා වෙමින් තිබුණා. ඒ වන විට පහළ bunk එකට වී විවේක ගන්මින් සිටි අණ දෙන නිලධාරී ලුතිනන් කොමාන්ඩර් ලක්ෂ්මන් ඉලංගකෝන්ට මා නැවියෙකු අතේ පණිවිඩයක් යැව්වේ පාලක මැදිරියට එන ලෙසයි. ඊට හේතුව නැවක් හෝ යාත්‍රාවක් ජැටියේ රඳවනවා (along side ගන්නවා) යන්න විශේෂ හුරුවකින් කළ යුතු කටයුත්තක් වූ නිසයි. කිසියම් ප්‍රමාද දෝෂයක් සිදු වුවහොත්  ජැටියේ ගැටී අනතුරක් වීමේ ඉඩකඩ වැඩි නිසා අණ දෙන නිලධාරීන් තමන්ම යාත්‍රාව ජැටියේ රැඳවීමට වගබලා ගත්තා.

මේ උදෑසන මට අණ දෙන නිලධාරීවරයාගෙන් පෙරලා පණිවිඩය ලැබුණේ තනිවම නැව ජැටියේ රඳවන ලෙසිනුයි. කිසියම් තිගැස්මක් ඇති වුවත් උදව්වට සිටි සුළු නිලධාරීට හා අනෙක් නැවියන්ට ඒ බව දැනෙන්නට ඉඩ නොතබා මා ඒ ක්‍රියාන්විතයට සූදානම් වුණා. ඇත්තෙන්ම එය මට ඒ මොහොතේ ක්‍රියාන්විතයක්.

“තම්මැන්නා…තම්මැන්නා…රක්ෂක කෝලිං ඕවර්…”

“රක්ෂක…රක්ෂක..තම්මැන්නා කෝලිං ඕවර්..”

“මේ රක්ෂක..අපට along side ඒම සඳහා ජැටිය සූදානම් කරන්න…ඕවර්…”

“ මේ තම්මැන්නා..රොජර්..ඕවර්…”

ශ්‍රී.ලං.නා.නෞ. තම්මැන්නා ලෙස නම් කළේ තලෙයිමන්නාරමේ පිහිටි නාවික කඳවුරයි. නැව් සේම ගොඩබිම වූ කඳවුරු පවා නාවික හමුදාව හැඳින්වූයේ ශ්‍රී ලංකා නාවික නෞකා (ශ්‍රී.ලං.නා.නෞ.) ලෙසිනුයි. ඉංග්‍රීසියෙන් Sri Lanka Navy Ship (SLNS) ලෙස හැඳින්වූවා.

අප ජැටියට ළඟා වන විට බොලාඩ් අසල නැවියන් සූදානම්ව රැඳී සිටියේ අපව සුරක්ෂිතව පිළිගන්නටයි. යාත්‍රාවේ port side එකේ ෆෙන්ඩර්ස් (fenders) පහතට හෙළනු ලැබුවා. යාත්‍රාව වටයක් කරකවා එහි දකුණු බඳ ( නාවික වදනින් port side එක) ජැටියට සමාන්තර වන සේ එන්ජිමේ වේගය පාලනය කරමින් මා සුක්කානම රඩරය (rudder) හසුරුවන්නට උපදෙස් දුන්නා. සුළඟේ වේගය ගැනත් සැළකිලිමත් වීම වැදගත් වුණේ එන්ජිම නියුට්‍රල් කළ විට දිය වැල ගලන දිශාවට යාත්‍රාව හෙමින් ඇදී යන (drift) නිසයි.

යාත්‍රාවේ බඳ ජැටියට හේත්තු වීමත් සමඟ සුළු තිගැස්මක් ඇති වුණා. ඒ සමඟ නැවියන් දිගු කඹ බොලාඩ් වල රඳවනු ලැබුවා. යාත්‍රාව සෙකුවර් (secure) කරන විට අණ දෙන නිලධාරීවරයා පාලක මැදිරියට ආවා.

“ Bravo Zulu (BZ).* I knew that you can do it”

කොහොමත් කඳවුරකට හෝ මව් නෞකාවකට ළගා වන විට අප කවුරුත් සම්පූර්ණ නිල ඇඳුමින් සැරසී සිටිය යුතු වුණා. මුහුදේදී හැමෝම ඇන්දේ නිල් යුනිෆෝර්ම් එකයි. සුපුරුදු ආචාර සමාචාර දක්වා අපි තම්මැන්නා කඳවුරට ඇතුළු වුණා. එය නිලධාරීන්ට සැහැල්ලු වන්නට අවස්ථාවක්. කඳවුරට ගෙන ආ ආහාර, ඉන්ධන ඇතුළු වෙනත් දුව්‍ය ගොඩබෑමෙන් අනතුරුව නැවියන්ද මොහොතකට රාජකාරි වලින් නිදහස් වුණා.

අප ආපසු මුහුදු ආරක්ෂණ කටයුතු වලට යාමට නියමිතව තිබුණේ සන්ධ්‍යා භාගයේදීයි. ඒ අතර විරාමයේදී ආදම් පාලම දකින්නට යන්නට අවස්ථාව ලැබුණා. ඩිංගි බෝට්ටු දෙකක නැගී අප කිහිප දෙනෙකු ඒ වෙත රැගෙන ගියේ කඳවුරේ අණ දෙන නිලධාරීවරයාගේ උපදෙස් මත තඳවුරේ නැවියන් විසිනුයි.

නොගැඹුරු ආදම්ගේ පාලම ගල් වැටිය

නොගැඹුරු ආදම්ගේ පාලම ගල් වැටිය

ආදම්ගේ පාලම

ආදම්ගේ පාලම

රාමේශ්වරම් දූපතේ (මේ දූපත පම්බන් දූපත ලෙසද හැඳින්වෙනවා.) ධනුෂ්කොඩි සිට මන්නාරම දූපතේ තලෙයිමන්නාරම දක්වා ගමනාගමනය සඳහා ඉන්දියාව හා ලංකාව යා කරමින් තැනූ රාමා සේතු, රාමාගේ පාලම නැතහොත් ආදම්ගේ පාලම ලෙස හැඳින්වූ පාලමේ නටබුන් ගල්වැටි මතින් ඇවිද යන්නට මා ලද සුවිශේෂී අවස්ථාව මේ මොහොතේ සිහිපත් කළ යුතුමයි. එය කලාතුරකින් කෙනෙකුට ලැබෙන අවස්ථාවක්. මේ පාලම ක්‍රිස්තු වර්ෂ 1480 දී පමණ සුළිසුළඟකට හසුවී විනාශ වන තුරු මේ පාලම හරහා දෙරට අතර ගමනාගමනය සිදු වූ බවයි පැවසෙන්නේ. නටඹුන් ලෙස ඉතිරි වී ඇති පාලමේ පාදමට අයත් ගල් වැටි මත ඇවිද යද්දී සමහර තැන් වල ගැඹුර මීටරයකටත් වඩා අඩු බව අප අත්දැකීමෙන් පසක් කොට ගත්තා.

ශ්‍රී ලංකාව දූපතක් වුවත් ඒ වටා නාවික ගමනාගමනය සිදු කළ නොහැක්කේ අභාවයට ගිය මේ පාලමට අයත් වූ  ගල් වැටි හා ගල් පර නිසයි. මන්නාරමට උඩින් තිබෙන නැවක් කොළඹට ගෙන ඒමට නම් වයඹ- බටහිර මුහුදු තීරය අතහැර උතුරු-ඊසාන-නැගෙනහිර- ගිණිකොණ-දකුණු- නිරිතදිග හා බටහිර මුහුදු තීර ඔස්සේ  යාත්‍රා කිරීමට සිදුවන්නේ මේ හේතුවෙනුයි. මා “එඩිතර” නෞකාවේ සිටියදී උතුරු මුහුදේ සිට කොළඹ නැව් තටාකාංගණයට පැමිණීම සඳහා සහභාගි වූ වෙහෙසකාරී මුහුදු ගමන මට සිහිපත් වුණා.

(*Bravo Zulu යනු නාවික භාෂාවෙන් Well done)

සෙස්ස පස්සට…

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Ad
වර්ගීකරණය
කර්තෘ
සංරක්‍ෂිත