පසුගිය කලාපයෙන් දුක්ඛ සත්‍යය වටහාගත් අප මෙවර බුදුන් වහන්සේ සාක්ෂාත් කරගත් ඉතිරි සත්‍යය ත්‍රිත්වය ගැන විමසා බලමු. එනම් සමුදය ආර්ය සත්‍යය, නිබ්බාන ආර්ය සත්‍යය, සහ මාර්ග ආර්ය සත්‍යයි.
සමුදය ආර්ය සත්‍යය හෙවත් දුක ඇතිවීමට හේතුවඃ
සමුදය ආර්ය සත්‍යයෙන් බුදුන් වහන්සේ පැහැදිළි කළේ දුක ඇතිවීමට ප්‍රධාන හේතුව වන්නේ නිරතුරුවම මනුෂ්‍යයා තුළ පවත්නා තණ්හාව හෙවත් නොතිත් ආශාව බවයි.
“ඌනො ලොකො අතිත්තො තණ්හා දාසයො
ඌනාච හුත්වාන ජහන්ති දේහං”
(මජ්ඣිම නිකාය 2 බු.ජ.ත්‍රි. පිටුව 446)
“මෙලොව සියලුුම ජනයා අතෘප්තිමත්ව ඌනත්වයෙන් යුක්තවම (සම්පූර්ණත්වයට නොපැමිණියේ යැයි සිතා) තණ්හාවේ දාසයන් මෙන් මරණයට පත්වෙති”
බුදුන් වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රයෙන් දේශනා කළේ අලුත් භවයක් ලබාගැනීමේ ස්වභාවය ඇති ආශාව හෙවත් තණ්හාව නම් වන (පොනොභවිකා) සැපය අපෙක්ෂා කරණ, රාගයෙන් ඇලලී ඒ ඒ තැන්හි ඇලෙන සුලු යම් තෘෂ්ණාවක් වෙයිද එය දුක්ඛ සමුදය ආර්ය සත්‍යය යනුවෙනි.
(ඉදං ඛො පන භික්ඛවෙ දුක්ඛසමුදයං අරියසච්චං: යායං තණ්හා පොනොභවිකා, නන්දිරාග සහගතා, තත්‍රතත්‍රාභිනන්දනී. සෙය්‍යථිදං කාමතණ්හා, භවතණ්හා, විිභවතණ්හා.) මෙහි ‘පොනොභවිකා’ යන පාලි වදන විග්‍රහ කරණ අය එය පුනර්භවය වශයෙන් තේරුම් ගෙන බුදුන් වහන්සේ පුනරුත්පත්තිය ගැන ආරම්භයේදීම දේශනා කරන ලදැයි අර්ථ කථනය කරති. නමුත් එම වදනේ ‘පුනබ්භව’ හෝ ‘පුනර්භව’ නැමති නැවත ඉපදීමේ අර්ථයක් දැක්වෙන්නේ නැති බව අවධාරණයෙන් සඳහන් කළ යුතුමයි. අති පූජ්‍ය අනොමදස්සි මහ නායක තෙරුන් වහන්සේ, අතිපූජ්‍ය ශ්‍රී සෝරත මහාචාර්ය තෙරුන් වහන්සේ සහ අතිපූජ්‍ය සිරි ජිනරතන මහ නායක තෙරුන් වහන්සේලා තුන්නම විසින් සම්පාදිත ‘සද්ධම්මප්පකාසිනී නම් පටිසම්භිදා මග්ග කථා’ නැමති දුර්ලභ ග්‍රන්ථයේ ‘පොනොභවිකාවට’ අර්ථ සපයා තිබෙන්නේ ‘අලුත් භවයක් ලබාගැනීමේ ස්වභාවය ඇති තණ්හාව හෙවත් ආශාව’ වශයෙනුයි. (පුනො භවං දෙති පුනො භවාය සංවත්ති පුනප්පුනං භවෙ නිබ්බතෙහි පොනොභවිකා, 1927 මුද්‍රණය කළ හේවාවිතාරණ ප්‍රකාශනය).
දුක ඇතිවීමට ප්‍රධානතම හේතුව වශයෙන් බුදුන් වහන්සේ වදාළ තණ්හාව තෙවැදෑරුම් වෙයි. එනම් කාම තණ්හා, භව තණ්හා සහ විභව තණ්හා වශයෙනි. කාම තණ්හා නම් පඤ්ච කාමයන් කෙරෙහි ඇලීගැලී වාසය කිරීමට ඇති දැඩි ආශාවය. තමන් රුචිකරන රූප, ශබ්ද, ගන්ධ, රස, සහ ස්පර්ශයෙන් මෙවැනි පුද්ගලයෝ මහත් වින්දනයක් අපේක්ෂා කරති. එය නොලැබීම දුකකි. ලැබුනද එය රඳවාගත නොහැකිවීම දුකකි. රඳවා ගත්තද එකම වින්දනයේ එකාකාරී බවෙන් අතෘප්තියට පත්වීම දුකකි. එවිට අලුත් මාර්ග සොයා යති. නොලැබුනොත් දුකකි. ලැබුනද ඉහත විස්තර කළ පරිදි ආයෙත් දුකටම මුහුණ දෙති. අනවරත දුකමය.
භව තණ්හා ලෙස බුදුන් වහන්සේ පස්වග මහණුන්ට දේශනා කළේ පැවැත්ම හෙවත් භවයේ රැඳී සිටීමට ඇති ආශාවය. ජීවයේ පැවැත්ම දිගටම රඳවා තබා ගැනීමට ඇති ආශාව හෙවත් තෘෂ්ණාව මෙයින් ප්‍රකට වෙයි. යමක් දිගටම නිත්‍යව තබා ගැනීමට තැත් කරන්නේ නම් එය ශාශ්වත දෘෂ්ටියකි.
විභව තණ්හාව තෙවැනි ප්‍රභේදයයි. නොපැවැත්ම සඳහා ඇති තණ්හාවයි. විභව තණ්හාවෙන් පෙළෙන්නා තමාවම විනාශ කර ගැනීමට වුවද සූදානම්ය. වර්තමානයේ හෝ අනාගතයේ හෝ ඉතාම අප්‍රසන්න අත්දැකීම්වලට මුහුණදීමට සිදුවේ නම්, අප්‍රසන්න පුද්ගලයන් සමග එකට විසීමට සිදුවේ නම්, එම අවස්ථා උදා නොකර ගැනීමට ඇති ආශාව හෙවත් තණ්හාව විභව තණ්හාවයි. මෙම විභව තණ්හාව නිසා සමහරු සියදිවි හානිකර ගනිති. නැතහොත් තමාවම විනාශ කරගනී.
මෙම තෘෂ්ණාවන් නිසා දුක නොසිඳී නැවත නැවත පහළ වීම වැළැක්විය නොහැකිය. එනිසා දුකම තෘෂ්ණාවේ ප්‍රධානතම ඵලය බවට පත් වෙයි. තෘෂ්ණාව පෘතග්ජන පුද්ගලයා තුළ නිරායාසයෙන්ම පහළ වන්නකි. එය නැති කරගැනීම දුෂ්කර වුවත් නිවන් අවබෝධයට ඇති එකම මාර්‍ගය මේ දුකට හේතු පාදක වන්නා වූ තෘෂ්ණාව සහමුලින්ම නැති කිරීම පමණමය. කවමදාවත් සංසිඳුවාගත නොහැකි මේ නොහිම් තණ්හාව නිසා ඉහත විස්තර කළ දුක නැමති සංකල්පයෙන් මිනිසාට මිදිය නොහැක. එනිසා බුදු දහමින් විස්තර වන්නේ සිත එකලස් කරගෙන ආධ්‍යාත්මික ශක්තිය වර්ධනයකර තෘෂ්ණාවෙන් මිදීමෙන් නිවන් අවබෝධ කරගත හැකි බවය. ඒ සඳහා ඒකායන මාර්‍ගය වන්නේ ආර්‍ය්‍ය අෂ්ඨාංගික මාර්‍ගයයි. (කෙසේ වුවත් දුක්ඛයේ එකම හේතුව තෘෂ්ණාව පමණක්ම නොවේ. තෘෂ්ණාවටද හේතුවක් තිබේ. වේදනාව හෙවත් වින්දනය නිසා තෘෂ්ණාව හට ගන්නා බව (මජ්ක්‍ධිම නිකායේ පළමු කාණ්ඩයේ ඡඔී මුද්‍රණයේ පිටුව 51) “වේදනා සමුදයා තණ්හා සමුදයෝ” යන්නෙන් පැහැදිලි වේ. වේදනාවද හටගන්නේ තවත් හේතුවකිනි. එනම් ස්පර්ශය නිසාය. මෙය පටිච්ඡසමුප්පාදය පිළිබඳ විස්තරයෙන් දක්වා ඇත).
නිවන නම් වූ තෙවැනි ආර්ය සත්‍යය
දුක්ඛ නම් වූ මිනිසා පෙළන ජීවිතයේ තථ්‍ය ස්වභාවය ප්‍රහීණ කිරීම හෙවත් නැති කිරීමෙන් ලබන අවබෝධය නිවන ලෙස හැඳින්වේ. මෙය බුදු දහමේ ඉෂ්ටාර්ථයයි. අවසාන අරමුණයි. දුක නැති කිරීමට නම් දුකට හේතුවන මූලයන් මුලිනුපුටා දැමිය යුතුයි. එනම් අකුසල මූල වශයෙන් හැඳින්වෙන තණ්හාව, ද්වේශය සහ මෝහය හෙවත් මුලාව නැමති සිත්හි හටගන්නා අවධර්ම තුන මුලුමනින්ම නැතිකර දැමීමය. නමුත් නිවන එහි ප්‍රතිඵලයක්ම යැයි කිවහැකි නොවේ. නිවන ගූඪවාදී හෝ ආධ්‍යාත්මික ධ්‍යාන හෝ සමාධි ආදී අවස්ථාවලින් නිපැයෙන තත්වයක්ද නොවේ. කළ හැක්කේ නිවන අවබෝධ කරගැනීම පමණයි. ඒ සඳහා අනුගමනය කළ යුතු මාර්ගයක් ඇත. එය ආර්ය අෂ්ඨාංගික නම් මධ්‍යම ප්‍රතිපදා මාර්ගයයි. එනිසා නිවන මේ ජීවිත කාලයේදීම අවබෝධ කරගත යුතු ආර්ය ධර්මයකි. මරණින් පසු නිවන් අවබෝධ කළ නොහැකිය. නිර්වාණ අවබෝධය ලද තැනැත්තා මෙලොව සතුටින්ම කල් ගෙවන පුද්ගලයායි. හෙතෙම ජීවිතයේ සංකීරණතාවන්ගෙන් මිදුනේ වෙයි. එසේම සම්මෝහයෙන් හෙවත් සිත්හි පවත්නා මහත් කරදරයන්ගෙන්ද මිදුනේ වෙයි. අසහන හෝ කරදර වලින් ද මිදුනේ වෙයි. එවන් කෙනෙකුගේ මානසික සෞඛ්‍ය ඉතා යහපත්ය. පසුතැවිලි නැත. අනාගතය ගැන සැක සංකා නැත. හෙතෙම මුළුමනින්ම වර්තමානයේ සතුටින් දිවි ගෙවයි. මමත්වය දුරුවී ඇත. ආත්මාර්ථකාමිත්වය, ද්වේශය, මෝහය, අහංකාරය සහ මානය වැනි සියලු කෙලෙස් දුරු වී මෘදු, යහපත් සන්සුන් කෙනෙකු බවට පත්වෙයි. සතර බ්‍රහ්ම විහරණ වශයෙන් හඳුන්වන මෙත්තා, කරුණා, මුදිතා සහ උපෙක්ෂා ගුණයන්ගෙන් පරිපූර්ණ වෙයි.
නිවන ගැන සරල විග්‍රහයක් අංගුත්තර නිකායේ තික නිපාතයෙන් පැහැදිළි කරගත හැක. එහිදී ජානුස්සෝණි බමුණා බුදුන් වහන්සෙගෙන් මෙසේ විමසයි.
“භවත් ගෞතමයිනි, නිවන සන්දිට්ඨිකයි. නිවන සන්දිට්ඨිකයි කියනු ලැබේ. (සන්දිට්ඨික යනු සත්‍ය තමා විසින්ම ප්‍රශස්ථ දෘෂ්ටියෙන් අවබෝධ කරගත යුතු යන අර්ථයයි) කොපමණකින් නිවන සන්දිට්ඨික වෙයිද?”
“බමුණ, රාගයෙන් රත්වූයේ, ද්වේෂයෙන් දුෂ්ටවූයේ, මෝහයෙන් මුළාවූයේ, අන්‍යයන්ටත් තමන්ටත් පීඩා පිණිස සිතයි. රාග (තෘෂ්ණාව), ද්වේෂ, මෝහ දුරුකළ පසු එසේ නොසිතයි. මානසික දුක් දොම්නස් නොවිඳී. එසේ නිවන සංදිට්ඨිකවෙයි. එනිසා බමුණ, යම් කලෙක නිරවශේෂ වශයෙන් (මඳකුදු ඉතිරි නොකර) තෘෂ්ණාව ක්ෂය කරයි නම්, නිරවශේෂ වශයෙන් ද්වේෂය ක්ෂය කරයි නම්, නිරවශේෂ වශයෙන් මෝහය ක්ෂය කරයි නම් බ්‍රාහ්මණය නිවන සංදිට්ඨිකවෙයි. එනම් නිර්වාණය අවබෝධ කරගනී.”
(අංගුත්තර නිකාය, මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නා හිමි පරිවර්තනය, 3.2.1.-5 පිටු 129,130)
නිවන උගත යුත්තක්, දතයුත්තක් නොව මාර්ග චර්යාවෙන් පරිභෝග කළයුත්තක්, ආශ්වාදය කළ යුත්තක් බව මේ බුදු වදනින් හෙළිවේ.
ඊළඟ කලාපයෙන් සිව්වැනි සත්‍යය වූ මාර්ග සත්‍යය ගැන විමසා බලමු.