අනාගත යථාර්ථයන් ජය ගැනීම සඳහා දැනුම හඹා යා යුත්තේ ඇයි ?

LPL තරගාවලිය නිසා වසංගත සමයක වුණත් රටේ තරමක් දුරට ක්‍රිකට් ගැන ප්‍රබෝධයක් ඇතිවෙලා. තරගාවලිය අතරේ ඇස ගැටුණ විශේෂ දෙයක් නිසා ක්‍රිකට් වලට තිබුණ උනන්දුව නැවතත් තාක්ෂණය පැත්තට ගෙන යන්න සමත් වුණා. ඒ LPL තරගාවලියට ක්‍රීඩා කරන ජැෆ්නා ස්ටෑලියන් (Jaffna Stallions) කණ්ඩායමේ ක්‍රීඩා ඇඳුමේ තිබුණ Code.org ආයතනයේ සන්නාම සලකුණ. ස්ටෑලියන් ක්‍රීඩා ඇදුමේ මේ සන්නාමය ප්‍රවර්ධනයට යොදා ගන්න හේතු වී තිබුණේ Jaffna Stallions ක්‍රීඩා කණ්ඩායම Code.org ආයතනයේ ගෝලීය අධ්‍යාපන සහකරුවෙක් (Global Education Partner) බවට පත්වීමයි.

Code.Org ලාබ නො ලබන ආයතනය සහ Stallions සුසංයෝගය නිසා ඉදිරියේ දී සිංහල හා දෙමළ භාෂාව කතා කරන, මෘදුකාංග නිර්මාණයට කැමැත්තක් ඇති සිසුන්ට සහ ගුරුවරුන්ට පරිගණක කේතනයට අදාළ පාඩම් මාලා සිය භාෂාවෙන් නොමිලයේ ඉගෙනීමට අවස්ථාව ලැබීමට නියමිතයි. ගෝලීය ව්‍යසනයකට අප රට මුහුණ දෙමින් සිටින අවස්ථාවක ක්‍රීඩා කණ්ඩායමක් මැදිහත් වී රටේ දරුවන්ට තාක්ෂණික අධ්‍යාපනය ලබාගැනීමට ලැබෙන මාහැඟි අවස්ථාවක් පිළිබඳ කතිකාවක් ඇති කොට ඒ පිළිබඳ ප්‍රචාරයක් දීමට උත්සාහ කිරීම ප්‍රශංසනීය කටයුත්තක් වගේම අනාගතය ගැන සුබ පෙර නිමිති පහළ කරන කාරණයක්.

අප කැමති වූවත් නැතත් තාක්ෂණික ජයග්‍රහණ මගින් අද අප ජීවත් වල ලෝකය රැඩිකල් වෙනසකට ලක් කර හමාරයි. එසේම අද ලෝකයට වඩා අනාගත ලෝකය වෙනස් කිරීමට හේතු වන ප්‍රධාන කාරකයා වනු ඇත්තේ ද තාක්ෂණයයි. නුදුරු අනාගතයෙ දී බොහොමයක් රැකියා සඳහා අවශ්‍ය වන මානව සම්පත් තාක්ෂණික යෙදුම් මගින් ප්‍රතිෂ්ඨාපනය කිරීමට සේවා යෝජකයන්ට හැකියාවක් ලැබීම හේතුවෙන් අනාගත රැකියා වෙළඳපොළ වර්තමානයට වඩා සම්පූර්ණ වෙනස් ම දෙයක් වනු ඇති.
කෘත්‍රිම බුද්ධිය (Artificial intelligence / AI) හා ඒ ආශ්‍රිත යෙදවීම් වල ඇතිවන දියුණුවත් සමඟ අනාගතයේ දී පහළ මට්ටම් වල සුදු කර පටි රැකියා සඳහා ඇති ඉල්ලුම අඩු වනු ඇති අතර. බොහොමයක් කාර්යාල කටයුතු ස්වයංයාමන (Autonomous) පද්ධති මගින් පාලනය වනු ඇති. එසේම ස්වයංක්‍රීය රියදුරන් විසින් පාලනය වන රථ වාහන නිසා රියැදුරු ආදී රැකියාවන් මෙන්ම, රොබෝ තාක්ෂණයේ දියුණුව නිසා කය වෙහෙසා කළ යුතු බොහොමයක් රැකියා සඳහා මිනිස් ශ්‍රමයේ අවශ්‍යතාව බොහෝ දුරට අඩු වනු ඇති. මේ නිසා අනාගත ලෝකයේ කර්මාන්තශාලා සේවක, ගෘහ සේවක වැනි රැකියා සඳහා ඇති ඉල්ලුම බොහෝ දුරට අඩු වනු ඇති. මෙය මැදපෙරදිග ආදී රටවලට නුපුහුණු ශ්‍රමිකයන් සැපයීම රටේ ප්‍රධානතම ආදායම් මාර්ගය වන අප වැනි රටවල ආර්ථිකයට විනාශකාරී බලපෑමක් වනු නොවනුමානයි.

එසේම සන්නිවේදන තාක්ෂණයේ දියුණුව නිසා මෙන්ම Augmented Reality ( වර්ධිත යථාර්ථ) AR සහ Virtual Reality (තත්‍යසම යථාර්ථ) VR යෙදුම් නිසා රැකියා කිරීම සඳහා කාර්යාල වලට යෑමේ අවශ්‍යතාව අඩු වනු ඇති අතර ලෝකයේ ඕනෑම රටක ජීවත් වන අයෙකුට ලෝකයේ ඕනෑම තැනක රැකියාවක් කළ හැකිවනු ඇති. මේ නිසා අනාගත ලෝකයේ රැකියා සඳහා ගෝලීය තරගකාරීත්වයක් ඇතිවෙනු ඇති.

අනාගතයේ සාම්ප්‍රදායික රැකියා සඳහා අවස්ථා අඩු වුවද නිර්මාණාත්මක කටයුතු වල යෙදෙන නිර්මාණකරුවන් හට ඇති ඉල්ලුම එලෙසම පවතිනු ඇති. අනාගත ලෝකයේ කෘත්‍රිම බුද්ධියක් මගින් මිනිසාට වඩා හොඳින් පරිගණක වැඩසටහන් නිර්මාණය කිරීමටත් පරිගණක ක්‍රමලේඛ සකස් කිරීමටත් හැකි වන තෙක් පරිගණක ක්‍රමලේඛ ශිල්පීන්ට මෙන්ම පරිගණක ඉන්ජිනේරුවන්ටද ඉහළ ඉල්ලුමක් පවතිනු ඇති. AR, VR මාධ්‍යය හරහා නිර්මාණාත්මක ලෙස කටයුතු කළ හැකි තාක්ෂණික ශිල්පීන්ට අනාගතයේ ඉහළ වටිනාකමක් හිමි වනු ඇති. මෙම ශිල්පීන් විසින් සැබෑ ලොකයේ යථාර්ථයෙන් වෙහෙසට පත්වු මිනිසුන් වෙනුවෙන් අතත්‍ය යථාර්ථයන් තුළ නව ලෝකයන් නිර්මාණය කරනු ඇති.
මෙම අනාගත අවස්ථා වලට අපගේ හෙට පරපුර සුදානම් කිරීමට Code.org වැනි නොමිලයේ ලබාගත හැකි සේවාවන් හරහා සියබසින් දැනුම ලබාගැනීමට හැකි වීම ඉතා වැදගත් සන්ධිස්ථානයක් වන්නේ එබැවිනි. මයිකොසොෆ්ට්, ගූගල්, ෆේස්බුක්, ඇමසන් වැනි තාක්ෂණික දැවැන්තයන් රැසකගේ මූල්‍යමය ආධාර මත ක්‍රියාත්මක වන Code.org වැඩසටහනේ අරමුණ වන්නේ දේශ සීමා මායිම් වලින් තොරව පරිගණක වැඩසටහන් නිර්මාණය සඳහා අවශ්‍ය වන කේත නිර්මාණය සඳහා අවශ්‍ය දැනුම නොමිලයේ සිසුන්ට සහ ගුරුවරුන්ට ලබා දීමයි. රටවල් ගණනාවක විවිධ ජාතීන්ට අයත් සිසුන් දහස් ගණන් මෙයින් නොමිලයේ සේවය ලබාගන්නා අතර පරිගණක ක්‍රමලේඛ නිරිමාණයට ආදාළ විවිධ පැවරුම් සහ තරග මේ හරහා සංවිධානය වනු ලබයි.

 

[Code.org පරිශීලකයින්]

ක්‍රිකට් ක්‍රීඩාවේ සහ තාක්ෂණයේ මෙම නව සුසංයෝගය නිසා මවු බසින් තාක්ෂණික අධ්‍යාපනය සඳහා ලැබෙන මෙම ඉඩකඩ ශ්‍රී ලාංකික සිසු දරුවන් සහ ගුරුවරුන් විසින් උපරිම අයුරින් භාවිතා කරනු ලැබුවහොත් අපගේ අනාගත සිහින අතත්‍ය යථාර්ථයෙන් ඔබ්බට ගොස් මහපොළවේද යථාර්ථයක් වනු ඇති.

ෆෝබ්ස් ආයතනය මගින් යාවත්කාලීන කරන ලෝකයේ වැඩිම වටිනාකම් දරන පුද්ගලයන්ගේ ලැයිස්තුවේ පළමු පස් දෙනාගෙන් හතර දෙනෙක්ම එනම් ජෙෆ් බේසෝස්, ඊලාන් මස්ක්, බිල් ගේට්ස්, මාක් සකර්බර්ග් යන සියල්ලගේ එක් පොදු සමාන කමක් දැකගත හැකියි. එනම් මේ සියලු දෙනාම කුඩා කල සිට පරිගණක වැඩසටහන් නිර්මාණයට පෙළැඹුණ පුද්ගලයන් වීමයි. ඔවුන් බිලියනපතියන් බවට පත් කිරීමට පාර කැපුවේ ඔවුන් කුඩා කල සිට ලබා ගත් මෙම හුරුවයි.
දැනුමට ප්‍රවේශයට වීමට ඇති ආර්ථික, සමාජයීය සහ භාෂාමය වැටකඩුලු දිනෙන් දින බිඳ වැටෙන වර්තමානයේ, ලෝකය ජය ගැනීමට ඔබට අවශ්‍ය වන්නේ දැනුම ලබාගැනීම සඳහා ඇති නො නවතින පිපාසාවකුත්, ලබාගත් දැනුම මත පදනම්ව ක්‍රියාත්මක වීම සඳහා ඇති ස්වයං විනයකුත් පමණයි.
මේ ගොඩනැගෙන අනාගත ලෝකය දැනුම හඹා යන ඔබ වෙනුවෙන්මයි.

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත