Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

ඡායාරුප ශිල්ප ඉතිහාසය – 05

මැමත් කැමරාවලින් පසු, වීදුරු කදා දැමිය හැකි, ඔපදැමූ රිදී තහඩු යෙදිය හැකි සහ පියුටර් ලෝහ තහඩු යෙදිය හැකි, තරමක් කුඩා නමුත්, අපට සාපේක්ෂ ව ලොකු කැමරා නිෂ්පාදනය විය. ඒවා හැඳින්වුනේ ක්ෂේත්‍ර කැමරා Field Camera නමිනි. මේ කැමරා සවි කර තිබුණේ ද බර ආධාරක මත ය. මේ වන විට මාවක කාච Meniscus Lens ද නිපදවා තිබූ බැවින්, වඩා හොඳ ප්‍රතිබිම්බ ලබා දෙන උසස් තත්ත්වයේ කාච නිෂ්පාදන වී තිබුණේ ය. එමෙන් ම කාචාන්තර ද්වාර Between Lens Shutter ක්‍රමය ද නිර්මාණය ව තිබුණේ ය. මුල් ම කාලයේ කාචය අතින් හෝ කවරයෙන් වසා අනාවරණය ගණනය කර දෙන යුගය පසු වී, වඩා වේගවත් ද්වාර භාවිතා කළ හැකි තරමට, ආලෝක සංවේදී අඳුන Light Sensitive Emulsion දියුණු වී තිබුණේ ය. අප ස්ටූඩියෝ කැමරා නමින් හඳුන්වන්නේ අන්න ඒ ක්ෂේත්‍ර කැමරා ය.

කැමරාව දියුණු විමත් සමග ඊ ළඟට ආවේ එළිමහනේ දි පමණක් නොව ගෘහ අභ්‍යන්තරයේ ද ඡායාරූප ගන්නට ඇවැසි ආලෝක උපක්‍රමයි. මුල් ම කාලයේ ඡායාරූප සටහන් කර ගනු ලැබුවේ ස්වභාවික ව ලැබෙන හිරු එළිය සහ එය පරාවර්තනය කර ගැනීමෙනි. නමුත් පසු ව ලෝකයේ විද්‍යාත්මක සහ ඉලෙක්ට්‍රෝනික දියුණුවත් සමග බොහෝ දියුණු කෘත්‍රිම ආලෝක ක්‍රම භාවිතයට ගැනෙනන්ට පටන් ගත්තේ ය. එයිනුත් වඩාත් ම දියුණු තාක්ෂණ ලෝකයට එළිදක්වන්නට හේතු වූයේ 1940 ගණන්වල ලොව පුරා ඇවිලී තිබුණු දෙවන ලෝක මහා සංග්‍රාමයයි. එහිදී වඩාත් ඉක්මණින් සතුරා සොයා ගන්නටත්, ඔහුට පහර දෙන්නටත්, ප්‍රහාරයක් වෙත්නම් වළක්වාගන්නටත් නවීන ම තාක්ෂණ ක්‍රමවේද සොයා ගන්නට ඇවැසි විය. එසේ නිර්මාණය වූ බොහෝ ‍ඉලෙක්ට්‍රෝනික උපකරණ අදත් ලොව සුවහසක් දණන්ගේ සුවසෙත, යහපත, උන්නතිය පිණිස භාවිතා වන්නේ ය. කෘත්‍රීම ආලෝකය ද, ඉලෙක්ට්‍රෝනික ක්ෂණිකාලෝක එල්ල ද එසේ අපට දායාද වූ ඒවා ය. එය අපි වෙනම ම පරිච්ඡේදයකින් සඳහන් කිරීම වඩා මැනැවැයි සිතමු

ක්ෂේත්‍ර කැමරා Field Camera

මේ දැක්වෙන්නේ 1900 ගණන්වල සිට එහි අග භාගය දක්වා කල් ඡායාරූපශාලාවල විරාජමාන වූ ක්ෂේත්‍ර කැමරා හෙවත් ෆීල්ඞ් කැමරා වර්ග දෙකකි. මේ කැමරාවලට දැමිය හැක්කේ කඩ පටල Cut Film පමණි. පසුකාලීන ව දියුණු කරන ලද මේ කැමරාවලින් ප්‍රචාරණ ඡායාරූපකරණයේදී Advertising Photography සහ ගෘහ නිර්මාණ ඡායාරූපකරණයේ දී Architectural Photography බොහෝ ප්‍රයෝජන ගත හැකි වුව ද, ලංකාවේ ස්ටුඩියෝවල ඇති කැමරාවලින් කරන්නේ අයිඩෙන්ටී, පාස්පෝට් හෝ වෙඩින් ෆොටෝ කළු සුදු ඡායාරූප ලෙසින් ගැනීම ම පමණි.
මේ කැමරාවල ඇති කාචය සහ පටල ධාරකය විවිධ අතට චලනය කරවීමේ පහසුකම නිසා ඡායාරූපයක යථාරූපී බව Perspective Error ඡායාරූප ශිල්පියාට අවශ්‍ය පරිදි පාලනය කළ හැකි වෙයි. එ නිසා ම ප්‍රචාරණ ඡායාරූප ශිල්පයේ දී Advertising Photography විදේශ ශිල්පීන් බහුලව ම භාවිතා කරන්නේ පහළ ඡායාරූපයේ දැක්වෙන මේ වර්ගයේ ම නවීන කැමරා ය. එම කැමරා තනි පීල්ලක සවි කර ඇති නිසා ම, එය මොනෝරේල් Monorail නමින් ද හැඳින් වේ.
ඡායාරූප ශිල්ප ව්‍යාපාර ලොව පුරා පැතිරුණේ අතිශය වේගයෙනි. ඊට හේතුව වූයේ ලොව වැඩි ප්‍රමාණයක් රටවල් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් ව තිබීම ය. එරටවල් පාලනය කළ සුදු ජාතිකයෝ මෙරටවලට එන ගමන් කැමරා සහ උපාංග ද රැගෙන ඒම ඊට හේතුවයි. එමෙන් ම ඒ සුද්දන් බොහෝ දෙනෙක් ඒ යටත් විජිතයන්හි සංස්කෘතීන් ද, ගෘහ නිර්මාණ කලාව ද මෙන් ම ස්වභාව සෞන්දර්යය ද ලිඛිත ව සටහන් කර ගත්තා මෙන් ම ඡායාරූපයට ද නඟාගත්තේ ය. පුරා වස්තු ද මංකොල්ල කෑ වග එහි ම අතුරු කතාවකි.
මේ විදේශිකයන්ට මෙන් ම ලොව කාර්මිකකරණය නිසා උපන් නව ධනපති ප්‍රජාවට ද ඡායාරූපය එදිනෙදා ජීවිතයට අවශ්‍ය නව පන්නයක් බවට පත් විය. එනිසා ම ඔවුන්ට ඉතා පහසුවෙන් තමන් දකින දේ ඡායාරූපයට නගාගන්නට සරල ක්‍රමයක් අවශ්‍ය විය. ඒ සඳහා හොඳ ම විකල්ය වූයේ පෙට්ටි කැමරාවයි.

පෙට්ටි කැමරාව Box Camera

ඡායාරූප ශිල්පය ජනතාකරණය වීමත්, සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතාවක් වීමත් සිදු වූයේ අතිශය ඉක්මනිණි. එමෙන් ම එය කලාවක් සේ ද වැඩි දියුණු විය. මුලින් ම වංශවතුන්ගේ ආලේඛ්‍ය ඡායාරූප ගැනීමට සීමා වී තිබුණු ඡායාරූප ශිල්පය සාමාන්‍ය ජනතාවගේ අවධානය දිනා ගැනීමත් සමග, වේගයෙන් දියුණු වන්නට විය.

එතෙක් දැවැන්ත කැමරා ලෙසින් තිබූ උපකරණය අතේ තබාගෙන පින්තූර ගත හැකි තරමට කුඩා විය. ඡායාරූප කලාවේ සහ තාක්ෂණයේ යෝධ පියවරක් තබමින්, වර්ෂ 1900 පෙබරවාරි මාසයේ දී කොඩැක් සමාගම විසින් පෙට්ටි කැමරාව ලොවට දායාද කළෝ ය. කොඩැක් බ්‍රවුනි Kodak Brownie නම් වූ එය අතිශය සරල මේ කැමරාව ඉතා ඉක්මණින් වැඩි දියුණු විය. මුලින් ම එම කැමරාව අලෙවි කළේ පවුම් 01ක මුදලකට ය. යොදන්නේ අඟල් 2 1/4 රාමුවක් සහිත 117 පටලපට ය.


පෙට්ටි කැමරාව ඉතා ම සරල ය. එහි තිබුණේ තනි මූලිකාංගයකින් සුසැදි මාවක උත්තල කාචයක් පමණි. එය එහි ස්ථාවර නාභි දුරට අනුකූල ව ස්ථිර ව සවි ව තිබුණි. එය නාභි ගත කිරීමේ උපක්‍රමයක් තිබුණේ ද නැත. එමෙන් ම පින්තූරය ගන්නා දර්ශනය නැරඹීම සහ එදෙසට එල්ල කිරීම සඳහා කැමරාවේ බඳ මත දර්ශන විවර දෙකක් තිබුණි. එය සාදා තිබුණේ ද සරල උත්තල කාචයකින් සහ දර්පණයකිනි. පටලය ධාවනය කිරීම සඳහා ද තිබුණේ අතිශය සරල උපක්‍රමයකි.

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත