වාරණය තුළ රාමුගත වූ කලාව

art-within-the-frame-of-censorship-alochana-feature-image

මිනිසාගේ සම්භවය හා සමගාමීව කලාව ලෝකයට පැමිණ ඇත. ඒ අනුව කලාව යනු මිනිසාගේ ජිවිතයේ එක් ප්‍රධාන කොටසකි. මේ හේතුව නිසා කලාව සහ මිනිසා අතර පවතින්නේ අවියෝජනීය සම්බන්ධතාවයකි. කලාවෙන් විතැන්ව මිනිසාටත් මිනිසාගෙන් විතැන්ව කලාවටත් පැවැත්මක් නොමැත . එසේ ම කලාව මිනිසා විසින් නිර්මාණ කරන අතර මිනිසා කලාව විසින් නිර්මාණය කරයි. මව්කුස තුළ පිළිසිඳ ගත් මොහොතේ පටන් මිනිසා කලාව හා බද්ධ වේ. පුද්ගල මනෝභාවයන් සහ අධ්‍යාත්ම සංවර්ධනය කිරීමේ කාර්යයයේ දී ප්‍රධාන වගකීම පැවරෙන්නේ කලාවට ය.

කලාවට දිගු ඉතිහාසයක් පවති. කලාව පුද්ගලයා සහ සමාජය තුළ උපත ලබා පෝෂණය වෙද්දී විවිධ ගැටලු වලට ලක් විය. සමස්ත ලෝකය තුළ ම කලාව හා සම්බන්ධයෙන් මේ ගැටලු පවතින අතර ශ්‍රී ලංකාව වැනි සාම්ප්‍රදායික රටවල් ආශ්‍රීතව යුරෝපීය රාජ්‍යයන්ට සාපේක්ෂව මෙම ගැටලු ප්‍රබලව ඉස්මතු වි පවති. ඕනෑ ම සමාජයක් තුළ කලාව ආරක්ෂා කරගැනීම එහි ජිවත් වන සියලු දෙනා වෙත පැවරෙන වගකිමකි. වර්තමානය වන විට කලාව තුළ ප්‍රබලව දක්නට තිබෙන ගැටලු පහත පරිදි වේ.

1. වාරණය
2. පූර්ණ කාලීන කලාකරුවන් නොමැති වීම
3. කලාවට අරමුදල් නොමැති වීම
4. කුලය හා පන්තිය නමැති සාධකය
5. රජය විසින් කලාව සඳහා අවශ්‍ය මුදල් ලබා නොදීම
6. ලිංග භේදය
7. දේශපාලන සාධකයේ බලපෑම

කලාව සඳහා කලාකරුවාට උපරිම නිදහස අවශ්‍ය වේ. උපරිම නිදහසක් යනු කලාකරුවන්ට ඕනෑ ම ආකාරයේ කලාවක් සමාජ ගත කළ හැකි ය යන අදහස නොවේ. වාරණය නමැති කලාවේ පවතින ප්‍රධාන ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීමේ දී කලාව හා සම්බන්ධ වන සියලු පාර්ශවයන් වෙත පැවරෙනා වගකීම් පිළිබඳ පළමුව අවධානය යොමු කළ යුතු ය. රාමු ගත වූ සීමාවකට යටත් ව අසාහය කලා කෘති නිර්මාණය බිහි කිරීම ඉතා අසීරූ කාර්යයකි. සීමාවන් තුළ බිහි වන කලා නිර්මාණයන්ට සමාජයට සහ පුද්ගලයාට සේවය කිරීමට සිදුවන්නේ ද සිමා සහිතව වීම විශාල පාඩුවකි. කලාව තුළින් සමාජයක් අපේක්ෂා කරන අරමුණු නිසි ආකාරව ඉටු වීමට නම් කලාකරුවාට සිය කලාව නිදහසේ සිදු කිරිමට අවශ්‍ය පරිසරයක් පළමුව නිර්මාණය කළ යුතු ය. එහි දී කලාකරුවා වෙත පැවරෙන වගකිම සංකිර්ණ වූවකි. කලාව තුළින් සමාජය ගමන් ගන්නා දිශානතිය තීරණය කරයි. මේ නිසා කලාකරුවා දිර්ඝ කාලීන අධ්‍යයනය කිරීම් සහ හැදෑරීම් තුළ සිට සිය නිර්මාණයන් ඉදිරිපත් කළ යුතු ය. කලා නිර්මාණ බිහි විමට පෙර ඒ හා සම්බන්ධ පර්යේෂණ සිදු කළ යුතු ය. විවිධාකාරයෙන් සිදු කරන ලද පර්යේෂණයන් හී ප්‍රතිඵල ලෙසින් බිහි වන කලා නිර්මාණ සමාජ තුළ යහපත් ප්‍රගමන ඇති කිරිමට හේතු සාධක වේ. එසේ ම දීර්ඝ කාලීනව තමන් සිදු කරන කලාව පිළිබඳ මූලාශ්‍රයන් ඇතුළු කරුණු කාරණා අධ්‍යයනය කළ යුතු ය.

කලාව තුළ පවතින නූනත ගැටලුවක් ලෙස රියැලිටි හරහා බිහි වන ජනප්‍රිය කලා තරු සංකල්පය හඳුනා ගත හැකි ය. ඉහත සඳහන් කළ ආකාරයේ පර්යේෂණාත්මක අධ්‍යයනයන් තුළින් සහ කලාව පිළිබඳ විශේෂ හැදැරීම් තුළින් නිර්මාණ බිහි වීම රියැලිටි තරු අතින් සිදු වන්නේ ඉතා ම අල්ප වශයෙනි. ඊට හේතු වන්නේ මෙවැනි තරු බිහි වන්නේ විවිධ පුද්ගල රුචි අරුචිකම් මත පදනම් ව වීමයි. එනම් ජනප්‍රියත්වය දක්ෂතාවය මත පමණක් ම පදනම්ව තීරණය නොවන නිසාය. බාහිර පෙනුම, පෞරුෂත්වය, ඉහළ මට්ටමේ ප්‍රචාරණ හැකියාව ආදිය මත පදනම් ව ද ජනප්‍රිය කලා තරු බිහි විම සිදු වේ. ශ්‍රී ලංකාව වැනි සාම්ප්‍රදායික අදහස් උදහස් දරන සමාජ තුළ මේ තත්ත්වය වඩාත් ප්‍රබලව දැකිය හැකි ය. ඒ අනුව මෙවැනි ජනප්‍රිය කලා තරු තුළින් හරසුන් කලා නිර්මාණ බිහි විමේ ප්‍රවණතාවක් ද පවතී.

කලාව දේශපාලනීකරණය වීම ද අද්‍යතන සමාජ මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකි. කලාවේ පැවැත්ම ස්ථාවර කිරිම සඳහා දේශපාලනය නමැති සාධකයට විශාල වගකීමක් පැවරේ. නමුත් එහි දී කලාව පාලනය කිරීමට හෝ මර්දනය කිරිමට දේශපාලනයට කිසිදු ආකාරයක අනුමැතියක් හිමි නොවේ. ඒ අනුව කලාව ස්වාධීන විය යුතු ය. දේශපාලනයෙන් විතැන් ව ක්‍රියාත්මක විය යුතු ය. දේශපාලනික ඇඟිලි ගැසීම් හේතුවෙන් කලාවේ ගමන් මඟ අවහිර වූ අවස්ථාවන්ට ඉතිහාසය තුළ අවශ්‍ය තරම් සාක්ෂි පවති. එහි උපරිම අවස්ථාවන්හී දී කලාකරුවන් සහ කලා නිර්මාණ සමාජයෙන් ඉවත් කිරීම් පවා සිදු වී ඇත . මේ ආදි වශයෙන් කලාව තුළ පවතින නූතන ගැටලු රාශියකි. ඒවා අතරින් වාරණය වත්මන් ලෝකය මුහුණ දෙන කලාවේ ප්‍රධානත ම ගැටලුව ලෙස හඳුනා ගත හැකි ය. ඊට හේතු වන්නේ වාරණය අඩු වැඩි වශයෙන් ලෝකයේ සෑම සමාජයක් තුළ ම සෑම කාලයක දීම ක්‍රියාත්මක වීමයි.

වාරණයට ඉතා දිගු ඉතිහාසයක් ඇත. කලාවේ ආරම්භයෙන් දශකයක් ඉක්ම විමටත් පෙරාතුව වාරණය ක්‍රියාත්මක වී ඇත. සිනමාව, නවකතාව, ගීතය, වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය ආදි කලාවේ සියලු ශානරයන් වෙත අද්‍යතනය වන විට වාරණය බලපෑම් එල්ල කොට ඇත. කලාව සහ කලාකරුවාගේ අනාගත පැවැත්ම සඳහා සෘජු ලෙස ම වාරණය බලපායි. වාරණය (Sensor) යන වචනය ක්‍රි. පු. 443 දී පමණ රෝමයේ දී භාවිත වී ආරම්භ වී ඇත . ක්‍රි.ව. 300 පමණ වන විට චීනය ප්‍රථම වරට සිය රාජ්‍ය තුළ අදහස් වාරණ නීතිය නිල වශයෙන් හඳුන්වා දෙන ලදී. වර්තමානය වන විට ලෝකයේ සෑම රටක ම පාහේ සියලු කාලාවන් තුළ වාරණය ක්‍රියාත්මක වේ. කලා නිර්මාණයේ ස්වභාවය, එය ඉදිරිපත් වන කාල පරාසය, පවතින දේශපාලන ක්‍රමයේ ස්වභාවය, පුද්ගල මනෝභාවයන් ආදි සාධක මත වාරණයේ ස්වභාවය ද විවිධ වේ. කලාව ආරම්භ වූ මුල් කාලයේ සිට ම විවිධ ස්වරූපයන්ගෙන් වාරණය ක්‍රියාත්මත වී ඇත . කලා නිර්මාණ වාරණය වීම සඳහා විවිධ හේතු බලපාන ලදි. කාලීන වශයෙන් සමාජ තුළ නිර්මාණ වූ සමාජයීය, දේශපාලනික සහ ආගමික සාධකයන්ගේ ස්වරූපය අනුව කලාව වාරණය වීමට හේතු නිර්මාණය විය.

චිත්‍රපටයක්, නාට්‍යයක්, චිත්‍රයක්, සංගීතයක්, මූර්තියක් වැනි ඕනෑම මාධ්‍යයක් කලා මාධ්‍යක් වශයෙන් හැඳින්විය හැකිය. මේ අයුරින් සිනමා කෘතියක් ගත්විට එය කලා මාධ්‍යයක් වන අතරම වර්තමානය වන විට විශාල කර්මාන්තයක් ලෙස ගොඩනැගීම දක්නට ලැබෙන ප්‍රවණතාවකි. සිනමාව සමාජයේ විවිධ ක්ෂේත්‍රයන් විදහාපාන කැටපතකි. චලන චිත්‍රයේ ආරම්භ වූ දා සිටම චිත්‍රපටියේ ප්‍රමිතිය වාරණයකින් තොරව පවත්වාගෙන යා හැකිද යන්න පිළිබඳ ඇතිවූ සංවාදය අද වන පුළුල් කතිකාවක් බවට පත් වී ඇත. චිත්‍රපටය තුළින් ජීවිතය එලෙසින්ම පෙන්වීම යන දේ බලාපොරොත්තු නොවිය යුතු දෙයකි. එය නිශ්චිත පරමාදර්ශයන් ගෙන් ඔබ්බට සංඥාර්ථය හා මනෝ විශ්ලේෂණය සමඟ ගනුදෙනු කරන භාවිතයකි. සිනමා කෘතියක නිවැරදි නිශ්චිත අර්ථ සෙවීමට නම් එය බිහි වූ සමාජ සංස්කෘතික වටපිටාව තුළ තැබීමට සිදුවේ. එම නිසාම සිනමා කෘතියක් එකී සමාජ දේශපාලන ආර්ථික යන සමාජ කාරණා ඔස්සේ ගැටේ.

පොදුවේ ගත් කළ වාරණ යනුවෙන් හඳුන්වන්නේ දෝෂ පරීක්ෂාව යි. කලා කෘතියක් තුළ දෝෂ ඇත්නම් ඒවා මොනවාද බලා පරීක්ෂාකොට නොගැළපෙන දේ තිබේ නම් ඒවා ඉවත් කර යළි සකස් කර අනුමැතිය ලබා දීම වාරණය වශයෙන් හඳුන්වනු ලබයි. වාරණය ඕනෑම මාධ්‍යක් තුල භාවිතා වන දෙයකි.

සිනමාව තුළ වාරණය ක්‍රියාත්මක වීම පිළිබඳ සඳහන් කිරීමේදී ඇතැම් රටවල වාරණය ඉතාමත් මෘදු අයුරින් ක්‍රියාත්මක කරයි. ඇත්ත වශයෙන් ඔවුන් මෙම වාරණය යොදාගනු ලබන්නේ බාලවයස් කරුවන් ආරක්ෂා කිරීම සහ ප්‍රේක්ෂකයන්ට සිනමා කෘතියේ අන්තර්ගතය දැනුම් දීමට යොදා ගන්නා ශ්‍රේණිගත කිරීමක් ලෙසය. ඒත් සමහර රටවල මෙසේ වුවද ඇතැම් රටවල මෙය දැඩි ප්‍රතිපත්ති අනුව ක්‍රියා කරයි. චිත්‍රපටය සම්පූර්ණයෙන් වාරණය කිරීම හෝ කොටස් කපා ඉවත් කිරීමට බලකරන දැඩික්‍රමයක් අනුගමනය කරයි. සාමාන්‍යයෙන් බහුලව ක්‍රියාත්මක වන වාරණ ක්‍රම තුනකි. එනම් ලිංගිකත්වය, ප්‍රචණ්ඩත්වය, දේශපාලනය යන කාරණා මූලික කොට ගෙන වාරණය ක්‍රියාත්මක කිරිමයි.

ලිංගිකත්වය හා ප්‍රචණ්ඩත්වය මූලික කොට ගෙන වාරණය වැඩි වශයෙන් ක්‍රියාත්මක කිරීමට බල කරන්නේ බාල වයස්කරුවන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් ය. බාලවයස්කරුවන් මෙම දර්ශන දැක ඒවා තුළින් මනස තුළ ඇතිවන ස්වභාවයන් මැඩලිම සඳහා මෙම ක්‍රමය ක්‍රියාත්මක වේ. දේශපාලන සාධකය පැහැදිලිවම රාජ්‍යය හා ආණ්ඩුව සිය අවශ්‍යතාව ලෙස ක්‍රියාත්මක කරයි.
.
ලංකාවේ වාරණ ස්වභාවය අධ්‍යයනය කිරීමේදී වැටහී යන්නේ ලංකාවේ වාරණය සිදුවන්නේ නෛතික රාමුවක නොවන බව ය. වාරණය සම්බන්ධයෙන් රජයට බලපෑම් එල්ල වුවද චිත්‍රපටයක තිර රචනය ලිවීමේ සිට රූපගත කිරීම සඳහා යන කාලය තුළ ලංකාවේ තිබෙන ආර්ථික දේශපාලන සමාජ සංස්කෘතික කාරණා චින්තනයට බලපායි. තිස් වසරක් පුරා ලංකාවේ පැවති යුද්ධය අනියම් ලෙස සිනමා වාරණයට බලපායි. සංස්කෘතික, සදාචාරාත්මක, දේශපාලන, ආගමික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය යන සාධක විසින් අනියම් ලෙස සෘජු හෝ වක්‍ර ආකාරයෙන් නිර්මාණට බලපෑම් එල්ල කරනු ලබයි.

චිත්‍රපට හෝ කලා කෘති වාරණය කරන ලංකාවේ ආයතනය වන්නේ රැඟුම් පාලක මණ්ඩලය යි. රැඟුම් පාලක මණ්ඩලය මෙරට තුළ ක්‍රියාත්මක වන්නේ චිත්‍රපට වර්ගීකරණය කරනු ලබන ආයතනයක් ලෙස ය. මහජන ප්‍රදර්ශනයට සුදුසුද නුසුදුසුද යන්න බලා එය වර්ගීකරණය කොට සුදුසුකම් සහතිකය නිකුත් කිරීමක් ද නුසුදුසු නම් වාරණය කිරීමක්ද තහනම් කිරීමක් ද මගින් මේ ආයතනය ක්‍රියාත්මක වෙයි.

V සහතිකය – අසීමිත මහජන ප්‍රදර්ශනයට සුදුසු
X සහතිකය වැඩිහිටියන්ට පමණක් සුදුසු
A සහතිකය වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි
වශයෙන් වර්ගීකරණය සිදු කරනු ලබයි.

ඉතිහාසයේ සිට මේ දක්වා විවිධ කාල වකවානු තුළ දී විවිධ කලා නිර්මාණ වාරණයට ලක් වි ඇත. ග්‍රීක යුගයේ දී ඇරිස්ටොපානිස්ගේ නාට්‍ය තහනමට ලක් වී ඇත. “ලැසිස්ට්‍රාටා” නම් නාට්‍ය හේතුවෙන් ඇරිස්ටොපානිස්ට දඬුවම් විදිමට ද සිදු වී ඇත . ලොව විශිෂ්ට නාට්‍ය නිර්මාණකරුවෙකු ලෙස සැලකෙන විලියම් ශේක්ස්පියර්ගේ නාට්‍ය වාරණය වී ඇත . ශේක්ස්පියර්ගේ නාට්‍ය තහනමට ලක් වූයේ ප්‍රභූවරුන්ට සහ ආගමට අපහස වන ආකාරයේ තොරතුරු එම නාට්‍ය තුළ ඇතුළත් වීම හේතුවෙනි. සමහර අවස්ථා වල දී රැජිණ විසින් ම ශේක්ස්පියර්ගේ නාට්‍ය පිටපත් ගෙන්වා ගෙන ඒවායෙහි කොටස් කපා දමා ඇත . එසේ ම හිට්ලර් විසින් බර්ටෝල් බ්‍රෙෂ්ට්ගේ නාට්‍ය සියල්ල ජර්මනිය තුළ තහනම් කොට මරණ දඬුවම් හිමි පුද්ගලයන්ගේ නාම ලේඛනයට බ්‍රෙෂ්ට්ගේ නම ඇතුළත් කරන ලදී. ලොව විශිෂ්ට කවියෙකු ලෙස සැලකෙන වෝල්ට් වයිට්මන්ගේ “ලීව්ස් ඔෆ් ග්රාස්” (Leaves of grass) නම් කවි පෙළ 1881 දී බොස්මන් නගරයෙන් ඉවත් කරන ලදි. ඊට හේතු වූයේ ලිංගික නිරාවරණ මෙම පද්‍ය තුළ පැවතීමයි. පසු කාලීන ව මෙම කවි පෙළ හේතුවෙන් ම වයිට්මන් “නිදහස් පද්‍යයේ පියා” නමින් විරුදාවලි ලැබී ය.

ජැක් ලන්ඩන්ගේ “ද කෝල් ඔෆ් ද වයිල්ඞ්” නමැති කෘතිය 1920 – 1930 කාලය තුළ දී යුරෝපීය රටවල් රැසක තහනම් විය. චෙකොස්ලෝවැකියාවේ දී ඔහුගේ කෘතිය තහනම් කිරීමට හේතු වූයේ එය අතිශය රැඩිකල් වීමයි. 1960 දී එංගලන්තයේ ඩී. එච්. ලෝරන්ස්ගේ “ලේඩි චැටර්ලීස් ලවර්” නම් වූ නවකතාව තහනම් විය. 1967 දි තිරගත වූ “යුලීසීස්” නම් චිත්‍රපටය තුළ ෆක් (Fuck) යන වචනය භාවිත වීම හේතුවෙන් යුරෝපීය රටවල තහනම් විය. 1863 දී ප්‍රදර්ශනය කළ එඩුවාඞ් මොනේගේ “ඔලිම්පියා” චිත්‍රපටය සමකාලීන ගණිකාවන් සම්පූර්ණයෙන් නිරුවත් කොට උත්කර්ශයට පත් කර අඳින ලද චිත්‍රය හේතුවෙන් එකල සමාජය තුළ දැඩි විරෝධයට ලක් විය.

මේ ආකාරයට ඉතිහාසයේ සිට මේ දක්වා ලෝකයේ විවිධ රාජ්‍යයන් තුළ දී විවිධ කලා නිර්මාණ රාශියක් වාරණයට ලක් වි ඇත . නමුත් 17 – 18 වන සියවස තුළ දී ලෝකයේ සිදු වූ බුද්ධි ප්‍රබෝධය, විද්‍යා පුනරුදය, කාර්මික විප්ලවය ආදියට සමගාමීව සාම්ප්‍රදායට වඩා තර්කය හා ඥානය මත නිගමන වලට එළඹිම සිදු විය. ඒ අනුව වාරණය සම්බන්ධයෙන් යුරෝපීය රාජ්‍යයන් තුළ එතෙක් පැවති සම්මතය වෙනස් විය. ඒ අනුව යමින් 1766 දි ස්වීඩනය වාරණය සම්පූර්ණයෙන් ම ඉවත් කරන ලදි. අනතුරුව ඩෙන්මාර්කය, නෝර්වේ ආදි යුරෝපිය රාජ්‍යයන් තුළ ද වාරණය ඉවත් විය.

මේ කාලවකවානුව තුළ දී වාරණය ඉවත් ව ඒ වෙනුවට උසාවි මඟින් ලබා දෙන නඩු නීත්දු අනුව අන්දෝලනාත්මක කලා නිර්මාණ ප්‍රේක්ෂකයා වෙත සමීප කරවීම සිදු විය. මෙහි දී පළමුව කලා කෘතිය ප්‍රේක්ෂකාගාර වෙත ඉදිරිපත් කොට ලැබෙන ප්‍රතිචාර මත පදනම්ව ඒවා දෝෂ සහිත නම් නඩු තීන්දු මඟින් වාරණය කිරීම සිදු විය. මෙය ඉතා සාධනීය වාරණ ක්‍රමවේදයක් ලෙස සැලකිය හැකි ය.

එසේ ම ශ්‍රී ලාංකික සමාජය තුළ ද කලාව අතිතයේ සිට මේ දක්වා විවිධාකාරයෙන් වාරණය ක්‍රියාත්මක වි ඇත . එහි දි ද විවිධ දේශපාලනික කාරණා, ආගමික කාරණා, සාම්ප්‍රදායික සිතුම් පැතුම් ආදිය ඊට හේතු විය.

කොළඹ එල්ෆින්ස්ටන් ශාලාවේ ප්‍රදර්ශනයට සුදානම් කළ බර්ග්මාන් සිනමා උළෙලට ඇතුළත්ව තිබූ “ෆැනී ඇන්ඞ් ඇලෙක්සැන්ඩර්” සිනමාපටය ලිංගික දර්ශන කපා දැමීමට එවකට සිංහල බෞද්ධයා පුවත්පතේ කතෘ සහ රැඟුම් පාලක මණ්ඩලයේ සභාපති ධුරය දැරූ නීතිඥ ආර්. පල්ලේවෙල කටයුතු කරන ලදී.
ශ්‍රී ලාංකික සිනමාව තුළ විවිධ අවස්ථාවන් හි වාරණය ක්‍රීයාත්මක විය.

සිනමා වාරණය ගත් විට ලංකාව තුළ ඉතා විශාල සිනමා කෘති ප්‍රමාණයක් වාරණය වී තිබේ. 1921 ගෙන්වන ලද “ලයිට් ඔෆ් ඒෂියා” චිත්‍රපටය ලංකාව තුළ ප්‍රථම වරට වාරණයට ලක්වූ චිත්‍රපටය යි. ලාංකේය සිනමා ඉතිහාසය තුළ ප්‍රථම වරට තිරගත කිරීමට සම්පූර්ණයෙන්ම තහනම් චිත්‍රපටය වන්නේ එල්. එස් රාමචන්ද්‍රන් විසින් අධ්‍යක්ෂණය කළ “ නලඟන” චිත්‍රපටියයි. 1981දී ගාමිණි ෆොන්සේකා විසින් අධ්‍යක්ෂණය කරන ලද “සාගරයක් මැද”, 1977 ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කරන ලද “පුරහද කළුවර” යනාදී සිනමා කෘති වාරණය සම්බන්ධයෙන් ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයන් සනිටුහන් කළ සිනමා කෘති වෙයි. “පුරහද කළුවර” සිනමා කෘතිය තහනමට ලක් කරන්නේ රැඟුම් පාලක මණ්ඩලයෙන් නොව එවකට උතුරු ප්‍රදේශයෙහි පුනරුත්ථාපන අමාත්‍යාංශය භාරව කටයුතු කළ සරත් අමුණුගම මහතා විසින් ය. මෙයින් පෙනී යන්නේ සිනමා කෘති වාරණය කිරීමට රැඟුම් පාලක මණ්ඩලයක් තිබුණද එය වෙන කෙනෙකුගේ රූකඩයක් බවට පත්වී ඇති බවය. රැඟුම් පාලක මණ්ඩලය වැනි ආයතන තිබුණද ඊට පරිබාහිරව සිනමා කෘති වාරණය වීම සිදුවේ. කලාවට අතගැසීමට නෛතික රාමුව ක්‍රියාත්මක වනවාද යන්න මෙහි දී ගැටලුවකි. ඒ කෙසේ වෙතත් 2011 දී යළි “පුරහඳ කළුවර” මහජන ප්‍රදර්ශනයට යොමු කරනු ලබයි.

ලංකාවේ වාරණ ඉතිහාසයේ වඩාත් ආන්දෝලාත්මක අවස්ථාවක් ලෙස අශෝක හදගමගේ “අක්ෂරය” සිනමා කෘතිය හඳුන්වන්නට පුළුවන. කුඩා දරුවෙකු හා මවක් නාන බේසමක් තුළ සිටින දර්ශනය පෙන්වීම හේතුකාරක කොටගෙන මෙම චිත්‍රපටය වාරණයට ලක් කරයි. පසුව රැඟුම් පාලක මණ්ඩලය අනුමැතිය හිමි වුවද අධිකරණය දෙනු ලබන නඩු තීන්දුවක් නිසා මෙම සිනමා කෘතිය කිසිදිනක තිරගත නොවූ සිනමා කෘති ගණයට අයත් වේ. ප්‍රසන්න විතානගේ ගේ “උසාවිය නිහඬයි” සිනමා කෘතිය ද විශාල ලෙස සමාජ සංවාද වලට බඳුන් වන චිත්‍රපටයකි. මෙම චිත්‍රපටයද වාරණය කොට පසුව වාරණ නියෝග වලට එරෙහි වූවකි.

සත්‍යජිත් මාඉටිපේ අධ්‍යක්ෂණය කළ “බොරදිය පොකුණ” 2004 වසරේ දි වැඩ අවසන් කළත් රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය හිමි නොවීම නිසා 2010 වන තුරු මහජන ප්‍රදර්ශනය සිදු කිරිමට නොහැකි විය. සංජිව පුෂ්ප කුමාරයේ “ඉගිලෙන මාලුවෝ” හමුදා නිළ ඇඳුම් භාවිත කරමින් හමුදාව අපකිර්තියට පත් කරන බවට සහ L T T E සංවිධානයේ ආධාර මුදලින් කරන ලද චිත්‍රපටයකැයි යන චෝදනා මත වාරණයට ලක් විය.

සිනමා නිර්මාණ මෙන් ම අනෙක් කලා නිර්මාණ ද අපේ රට තූළ දී විවිධ රජයන් යටතේ දී වාරණයට ලක් විය. ඒ අනුව මංජුල වෙඩිවර්ධන ලියූ “මේරි නම් මාරියා” කෘතිය ද කේ. කේ. ශ්‍රීනාත් චතුරංගගේ “බුදුන්ගේ රස්තියාදුව” කෘතිය ද මාලක දේවප්‍රියගේ ගුවන් විදුලි නාට්‍ය මාලාවක් ද අසංක සායක්කාරගේ “මං කෙළින් මිනිහෙක්” වේදිකා නාට්‍ය ද මෑත කාලයේ දී වාරණයට ලක් වූ කලා කෘති අතර වේ.
ලාංකික සමාජය තුළ කලා කෘති වාරණය වීමට කාලීන වශයෙන් තිබූ සීමාවන් හා පවතින අධිපති මතවාදයන්ට සෘජුව බලපායි. කලාවේ පවතින ගතික ස්වභාවය තේරුම් ගත හැකි පරිණත සමාජයක් බිහි වීම නූතන අවශ්‍යතාවයකි. ඒසේ ම කලාවේ කතිකාව පුළුල් කිරිම ද අවශ්‍ය වේ.

කලාව පාලනය කිරීම හෝ වාරණය කිරීම වෙනුවට හොඳ කලා නිර්මාණ බිහි කිරිමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කිරීම කාලීන අවශ්‍යතාවය වී ඇත . කලාව පාලනය කිරීමට රැඟුම් පාලක මණ්ඩල වෙනුවට කලාවේ පෝෂණයට අවශ්‍ය මුල්‍යමය ශක්තිය ලබ දිය යුතු ය. එසේ ම සමාජය තුළ කලාකරුවාට නිසි පිළිගැනීම හා ආරක්ෂාව හිමි විය යුතු ය. පාලකයාගේ අසිමිත සුඛ විවරණයට වියදම් කරන ලක්ෂ ගණන් මුදලින් කොටසක් කලාව පෝෂණය කිරීම වෙනුවෙන් වැය කළ යුතු ය. සොඳුරු මිනිසුන් බිහි කිරීමේ හැකියාව පවතින්නේ කලාවට ම පමණකි. කලා කෘති අධීක්ෂණය කිරිම සඳහා තාක්ෂණික මිනුම් දඬු පැවතිය ද ඉතිහාසය විමසා බැලීමේ දී පැහැදිලි වන්නේ පැවති ආණ්ඩු වල දේශපාලනික හා සදාචාරාත්මක ආකල්ප මත සිට වාරණයන් සිදු කොට ඇති බවයි. මෙහි ඇති බරපතල ම ගැටලුව වන්නේ සදාචාරය යන්න විවිධ අර්ථයෙන් ගෙන කලා කෘති වාරණය කිරීමයි.

ආශ්‍රිත ග්‍රන්ථ

කරුණාරත්න ධනංජය – අදහස් වාරණය කලාව ගැන යළි විමසා බැලීමක්

dinuarlk.blogspot.com – 2017

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත