තිත්මුවා

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

වනිගසේකර කියන්නේ තිත් මුවෙක්. වනිගසේකරගේ පපුවේ කස්තුරි හැදුණේ කාන්ති නිසා.

හැමදාම හවස කාන්ති සෙනෙහේ වැව අයිනට යනවා නාන්න. දවල් තිස්සේ වැඩ කරලා ගෑවුණු ඇඟේ කුණු අයින් කරගෙන ප්‍රේමය මතු කර ගන්න.

තිත්මුවා හරියටම ඒ වෙලාවට කැලේ මැඳ ඉඳන් ඇවිත් පඳුරකට ආත්මය මුවා කරගෙන කාන්ති ශුද්ධ වස්තුවක් වෙන දිහා බලාගෙන ඉන්නවා.

කාන්ති ඇත්තටම අයිති ගජසිංහට. ගජසිංහ, අලියෙක්වත් සිංහයෙක්වත් නෙවෙයි. වනිගසේකර වගේ තිත්මුවෙක්වත් නෙවෙයි.

හැබැයි වනිගසේකරට තිත්මුවෙක් වෙන්ට සිද්ධ වුණේ ගජසිංහ නිසා.

වනිගසේකරගේ මුව අං තට්ටුව ඔටුන්නක් වගේ. ඒ ඔටුන්න දාගෙන වනිගසේකර වැව අයිනේ ඉන්න කාන්තිට දැන් කාලයක් තිස්සේ ඉඳං හැමදාම හවසට හවසට මොකක්දෝ කියන්න හදනවා. ඒක කාන්තිට ඇහෙන්නෙම නෑ. ඇහුණත් මුව භාෂාව දන්නෙ නැති නිසා ඒක තේරෙන්නෙ නැති වෙයි.

වනිගසේකර මුවෙක් වෙන්ඩ ඉස්සර – ඒ කියන්නේ මනුස්ස ආත්මයක් තිබුණ කාලේ ගත්ත අන්තිම සෙල්ෆිය තමා මිනිහගේ මරණ දැන්වීමට අලවලා තිබුණේ. කාන්ති ඒ මරණ දැන්වීමත් යන යන තැන හැට්ටේ අස්සේ තැන්පත් කරගෙන ඇරං යනවා. කවුරුත් වටේ පිටේ නැති පාළු කළුවර වෙලාවට ඒක එළියට ඇරං තුන් වතාවක් හෙමින් ඉඹිනවා.

ඒ දවස්වල වනිගසේකර එක්ක ඉන්න හැම තප්පරයක්ම කාන්තිට මිගදායක් වෙලා තිබුණේ. හැම තැනම මල්. ඒ වුණාට කාන්ති සම්පූර්ණයෙන්ම අයිති වනිගසේකරට නෙවෙයි, ගජසිංහට.

කාන්තිගේ කාන්තිය නිවලා, කාන්තිලාගේ ගෙදරින් තමා කාන්තිව ගජසිංහගේ අතටම අයිති කරලා දුන්නේ. ගජසිංහ මුළු ගමට කුන්ච නාද කරපු, සිංහ නාද කරපු සිල්ලර කඩේ මුදලාලි. ගජසිංහට කාන්තිගේ පහන් කාන්තිය ඕනෑ වුණා. බස් හෝල්ට් එක තිබුණෙත් ඒ කඩේ ළඟ. වැඩට යන, වැඩ ඇරිලා එන කාන්තිගේ රූපය කියන අමුතු මල් ගස ගජසිංහගේ හීනවලත් හිත පතුලෙත් පැළ වුණා. ගජසිංහ හිතුවේ කාන්ති කියන්නේ ලක්ෂ්මි දෙවඟනම තමා කියලා. කඩේකට ඕනේම ලක්ෂ්මි දෙවඟන.

කවුද අකමැති තමන්ගේ දුප්පත් දුව ගජසිංහගේ කඩේ ලක්ෂ්මි වෙලා පරම්පරාවකට ආලෝකය දෙනවා බලාගෙන හිත හොඳින් ස්වර්ගස්‍ථ වෙන්ඩ.

කාන්තිලාගේ ගෙදරින් දන්නෙ නැති වුණාට කාන්ති තමන්ගේ දුප්පත් පොල් තෙල් පහනේ පෝසත් පහන් ආලෝකය සම්පූර්ණයෙන්ම වනිගසේකරට දීලයි තිබුණේ. ගාමන්ට් ඇරිලා එද්දී රබර් ගස් යටදී කාන්ති පහන වනිගසේකර අතේ තියනවා. වනිගසේකර පහන හෙමින් තුන් පාරක් ඉඹලා දල්වලා ජීවිතයේ පැත්තක්ම එළිය කරගන්නවා.

වනිගසේකර තමා ඉස්සර ගමේ හන්දියේ හැම කඩයක්ම පේන්ට් කළේ. පාට කරන්න දක්ෂයා. කාන්තිගේ හැම හීනයක්ම ඇත්තටම පේන්ට් කරලා ලස්සනම ලස්සන කරන්න වනිගසේකර දිවුරුම් බෝධිය ළඟ දී හිසේ අත් තියලා දිවුරලයි හිටියේ.

කොහෙද ඊට කලින් කාන්තිට ලක්ෂ්මී වෙන්ඩ යන්ඩ සිද්ධ වුණා ගජසිංහගේ සිල්ලර කඩේට.
වනිගසේකරට තමයි එක දවසක පැවරුණේ ගජසිංහගේ කඩේ ලස්සනට පේන්ට් කරන්ට. කාන්තිගේ ඇසුයි වනිගසේකරගේ ඇසුයි සිල්ලර කඩේ ඇතුළෙදී ආයෙත් එකින් එකට හැප්පුණා. හැප්පිලා පාට ඉපදුණා. මල් චිත්‍ර ඇඳුණා.

දවසක් ගජසිංහගේ අතටම අහුවුණා වනිගසේකරයි කාන්තියි ගජසිංහගේ ගෙදර මොනාලිසා චිත්‍රය ඇඳ ඇඳ ඉන්නවා, තම තමන්ගේ ශුද්ධාත්මවලට තදින් තුරුළු වෙලා. එච්චරයි මතක !

වනිගසේකරගේ මුව අං තට්ටුව ඔටුන්නක් වගේ. ඒ ප්‍රේමයේ ඔටුන්න දාගෙන වනිගසේකර වැව අයිනේ ඉන්න කාන්තිට හැමදාම හවස මොකක්දෝ කියන්න හදනවා. ඒක කාන්තිට ඇහෙන්නෙම නෑ. ඇහුණත් මුව භාෂාව දන්නෙ නැති නිසා තේරෙන එකකුත් නෑ.

බැරිම බැරිම තැන ඒක තිත්මුවා කාන්තිට නෙවෙයි, තමන්ටම කියා ගත්තා මෙන්න මෙහෙම…

“කාන්තී, අපි ඊළඟ ආත්මෙක හමුවෙමු, මිනිස්සු විදිහට. ඔයා දුක් වෙයි කියලා හිතුණ නිසයි එදා මං ඉස්සර වෙලා ඇන්නේ නැත්තේ. ඒ නිසයි ඉස්සර වෙලා ගජසිංහ මට ඇන්නේ. මාව මෙහෙම මුවෙක් කළේ. හැබැයි ඊළඟ ආත්මෙක මට එහෙම කළොත් මං ඉස්සර වෙනවා. මට බෑ කාන්තී හැමදාම මෙහෙම මුවෙක් වෙලා කැලේ දුක් විඳුන්න. කාන්ති, ගජසිංහ නිදහස් වුණාද ? කාන්ති, අදින් පස්සේ මං ආයේ කවම කවදාවත් ඔයා බලන්න හවස වැව ගාවට මෙහෙම එන්නෙ නෑ – එන්නෙම නෑ රන්”

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Ad
වර්ගීකරණය
කර්තෘ
සංරක්‍ෂිත