සියනෑ කෝරලේ ඈත ගොවි ගම්මානයක ගුරු යුවළකට දාව ජන්ම ලාභය ලැබූ පවුලේ බාලම හා එකම පිරිමි දරුවා වූ සේනාධීර, උපන් දා සිටම මාපියන්ගෙන් නොමඳව ලැබුණු ආදරය ද, බහ තේරුම් ගත් අවධියේ සිටම, හොඳින් ශිල්ප වඩා දැනුමේ මුදුන් පෙත්තට ම යන්නැයි යන නිරන්තර ඔවදන් ද, හැර වෙනත් දායාදයක් හෝ ගුරුහරුකමක් නොලද්දේ ය. ඒ නිසාම තරුණ වියට පා නැඟූ පසුද ඔහු පොත් ගුල්ලෙකු වූ අතර ඉගැනීම හැරුණු කොට වෙනත් ජීවන ප්‍රශ්ණ හමුවේ සුකිරි බටිල්ලෙක් විය.
සුන්දර පේරාදෙණිය සරසවියේ, සුමිත්‍රා නම් අපේම වසරේ සුන්දර කෙල්ල හා බැඳුණු ඔහුගේ පෙම් සිහිනය බිඳ වැටී, ඉන් ඇතිවූ සිත් තැවුලෙන් අවුලෙන් අවුලට පත් වූ කාල පරිච්ඡේදය හා ඉන් ඇති වූ ජීවිතයේ හිඩැස කවුරුන් හෝ කවදා හෝ පුරවාලනු ඇතැයි ඔහු ඔහේ කරබා සිටියේ ය.
නිර්නාමික පෙම්වතා ලෙස සුමිත්‍රාට ලියූ අවසන් පෙම් හසුනෙන්, සරසවි පුස්තකාලයේ හත්වෙනි මහලට පැමිණෙන්න යැයි, ඔහු ඈට ආරාධනා කළේ මහත් වූ බලාපොරොත්තුවකිනි. “නිර්නාමික පෙම්වතා” යන නමින් මා ඔහු හඳුන්වන්නේ නමක් ලිපිනයක් නැතිව සුමිත්‍රාට මෙන්ම, ඊට පෙර ඔහුගේ මනෝ ලෝකයට පිවිසි පෙම්වතියන්ටත් ලිපි ලියූ නිසා ය. ලිපිය ලද පසු ඇය, ඔහු දන්වා යැවූ ස්ථානයට තනිව පැමිණිය හොත්, ඈ මුණගැසෙන බලාපොරොත්තුවෙන් වෙනදා මෙන් වෙනත් තැනක සැඟවී නොසිට, දන්වා යැවූ පරිදිම පුස්තකාලයේ හත්වෙනි මහලේ අන්තිම මේසයේ එදා ඔහු රැඳී සිටියේ, කවි ඔබ්බවා හැඟීම්බරව ආයාචනාත්මකව ලියූ පෙම් හසුන නිසා, ඈ හදවතේ ඔහු කෙරේ සෙනෙහසත් ආදරයත් මෝදුවී ඇතැයි යන තදබල විශ්වාසය මතයි. දේශන ශාලාවේදී, පර්යේෂණාගාරයේ ඔවුනොවුන්ගේ ඇස් යාවූ නිමේශයේ, ඈ ඔහු වෙත හෙලූ දයාද්‍ර බැල්ම ඒ විශ්වාසය තහවුරු කිරීමට හේතු විය.
සිදුවූයේ නොසිතූ දෙයකි. හදිසියේම රකුසු වෙස් ගත් සුමිත්‍රාගේ යෙහෙළියෝ රෑනක් නිර්නාමික පෙම්වතාව වටකර ගත්තේ ය. බේරී පලායාමට නොහැකිව පිටුපස බිත්තියටත්, ඉදිරියෙන් සමච්චලයෙන් බලා හිඳින කෙල්ලෝ රෑනටත්, ඔහු එදා කොටු විය.
ඉහළ සීලිමේ බැඳ තිබුණු මකුළු දැලක පැටළුණු කුඩා කෘමියාට ළංවෙන මකුළුවා ඔහු නෙත ගැටිණ.
” හඃ… අද අහුවුණා… මෙයයි එහෙනං මෙච්චර කල් හොර ගල් ඇහිලුව ඝට හොර නිර්නාමික පෙම්වතා …….? චිඃ විතරක්. ඒ අතු අල්ලන්න තමුසෙ කවුද ? දවල් හීන දකින්න එපා හලෝ. ඒකිගෙ වත්තෙ වැඩට නං තමුසෙ ගැලපෙනව. අනික, කැමති වුණත්? ඒකිට කිස් එකක් දෙන්නත් තමුසෙට ඉනිමඟක් ඕන වෙයි. “
හදිසියේ කඩාපාත්වූ අකුණු වර්ෂාව පහව ගියේ, දෙස් දෙවොල් තබමින් කෙල්ලෝ රෑන නික්ම ගිය පසුවය. මාපිය, නෑදෑයින් ඇතුළු ගැමියන්ගේ ගරු සැලකිලි විනා නින්දා අපහාස, රැවුම් ගෙරවුම් ඔහුට නුපුරුදු ය. මිනීමැරුමක් කොට පළා යමින් සිටියදී පොලිසියට කොටු වූ අපරධකරුවා ඔහු විය. “නිර්නාමික පෙම්වතා” අධිකරණයේදී නිදහසට කරුණු නොවිමසාම නඩුව අසා, බරපතල වැඩ ඇතිව සිරගතවූ සිරකරුවෙකු බවට පත් වූයේ ය.
විරහව නම් වූ මහා රුක්‍ෂය වසාගෙන, නින්දා අපහාසයෙන් උපන් ලැජ්ජාවේ විෂ කටු වැල් ලියලා වැඩී ඒ විෂ කටු ඔහු ගත සිත පාරමින් වේදනා දෙන්නට විය. අනතුරුව දේශන හා පර්යේෂණ මඟ හැර ගුහාගත ජීවිතයට පෙම් බැඳි ඔහු සුසුම් හෙළමින් බලාගත් දෙස ඔගේ බලා සිටින්නට විය.
සේනගේ හදිසි කඩා වැටීම හඳුනාගත් අපි වදෙන් පොරෙන් ඔහුව සරසවියේ වෛද්‍යවරිය වෙත කැඳවා ගියෙමු. ඈ ඔහුට කාරුණික වුවා ය.
” සේන, මේ ප්‍රශ්නෙදි මාව හමුවෙන්න ආ එක බොහොම නුවණැති තීරණයක්. මේක සරසවිය. කෙල්ලෙකුට ප්‍රේමය ප්‍රකාශ කරනවා කියන්නේ සාමාන්‍ය දෙයක්. හැබැයි හැම කෙල්ලක්ම අහන අහන කොල්ලට කැමති වෙන්නේ නෑ. හා කියනවාට වඩා බෑ කියන එක වැඩියි. ඔයාලම කියන හැටියට එයා හරිම හොඳ කෙල්ලක්නේ. කෙළින්ම එහාගෙන් අහන්න තිබුණා. ඒත් නමක් ගමක් නැතිව ලියුමක් යැව්වාම ලැබෙන ප්‍රතිචාර ඔහොම තමා. මොකද? කවුද දන්නේ ලියපු කෙනා හැංගිලා ඉඳලා අතවරයක් කරන්න ඉන්නවද කියල. මේ විශ්ව විද්‍යාලය ඇතුළේ එහෙම ඒවා වෙලා නැද්ද? දැන් ඉතිං ඉහිරුණු කිරට අඬලා වැඩක් නෑ. බිඳුණු ප්‍රේමයකට අනාගතය උකස් කරන්න ඕනත් නෑ. සේන මහත්තයෙක් වගේ ගිහිං එයාගෙන් සමාව ඉල්ලන්න…. වෙච්ච වරදට. ඊට පස්සේ සේනට පුළුවන් ඒ හැමෝම එක්ක වෙනදා වගේ සතුටින් ඉන්න.”
“ඩොක්ටර්, මට එයාව මීට් වෙන්න නං බෑ. සමාව අරං ලියුමක් යවන්නං.”
” සේන තව එකක්, වහාම ඔය ලෙක්චර්ස් කට් කරන එක නවත්තන්න. එක විධියක් තමයි… සේන ටිකක් කළින් යාලුවෝ එක්ක ලෙක්චර් හෝල් එකට යන්න. හිතවත් අය ඔයා ළඟට ඒවි. අකමැති අය ඔයා ලඟට එන එකක් නෑ. ඒකට කමක් නෑ….”
“මට බැරි වෙලාවත් අන්තිම තත්පරේ ලෙක්චර් හෝල් එකට යන්න වුණොත්?”
” හරිම ලේසියි. සේන… ඔයා හිතාගන්න ඔයා රජෙක් කියලා. හෝල් එක ඇතුලේ ඉන්නේ ඔබේ යටත් වැසියෝ කියල. හොඳ හුස්මක් ගන්න පෙනහළු පිරෙන්න. ඔයාට ඕනෑ තැනට ගිහිං ඉඳ ගන්න. ඉන් පස්සේ හිතන්න ඒ ඉන්න අය ඔක්කොම ඔයාගේ හොඳම යාලුවෝ කියල. එච්චරයි.”
ඔහුගේ මුහුණ ආලෝකමත් විය.
” හැමෝම එක්ක කතා බහ කරලා විහිළු තහළු කරලා ඉන්න සේන. පොත් ගුල්ලෙක්ම වෙන්නේ නැතුව, ජිම් එකට, ග්‍රවුන්ඩ් එකට ගිහිං සෙල්ලං කරන්නත් පුරුදු වෙන්න. නින්ද යන්නේ නැත්තං කවි, කෙටි කතා, නවකතා වගේ පොත් කියවන්න. ගුරුහරුකම් අරං භාවනාවකට පුරුදුවෙන්න. ඔය කියන ගෑණු ළමයි එක්කත් සේනට ඉස්සරට වඩා හොඳට යාළුවෙලා ඉන්න පුළුවන් වේවි. බොන්න එහෙම යන්න එපා. ඔය වගේ ප්‍රශ්නෙකදි ඒවට ඇබ්බැහි වුණොත් ඉවරයි. අද හවස පන්සලකට පල්ලියකට ගිහිං අලුත් ජීවිතයක් පටන් ගන්න. සුමානෙකින් මාව හමුවෙන්න. අවශ්‍ය නං විතරක් මම ඔයාව මනෝ වෛද්‍යවරයෙක් ළඟට යවන්නං.”
වැඳ පුදා අවසන මාලිගාවේ ලී පොළොවේ හිඳගත් ඔහු, මල් සුවඳත් හේවිසි හඬත් විඳිමින් වඳින පුදන, භාවනාකරන, යන එන, සුවහසක් බැතිමතුන් දෙස බලා සිටියේ ය. දහසක් ජීවන ගැටලු හිසේ තබාවිත් ඒ හැමකක්ම බැති සුවඳින් සෝදා හරිමින්, ජීවිතයට උපේක්ෂාවෙන් මුහුණ දෙන මේ මිනිසුන් අතර සිය ආත්මීය සහකාරිය ද සිටිණු ඇති බවද, ඈ හමුවෙන තෙක් උපේක්ෂාවෙන් බලා හිඳීම විනා වෙනත් විකල්පය නැති බව ද ඔහුට ප්‍රත්‍යක්ෂ විය.
මාලිගාවෙන් පිටව වැව අයිනේ වලාකුළු බැම්මේ හිඳගත් ඔහුට වැවේ රළ බිඳෙන හඬ ඇසුණේ ශෝකාකූල ඉකිබිඳුමක් සේ ය. ඔහු මෙන්ම තනිව හිඳ සැඳෑ සිරි නරඹන්නෝ වැව් දියවර දෙස ද ඉමක් කොනක් නැති අහස දෙස ද බලා හිඳ හුදෙකලා සුවය සුවසේ විඳ ගන්නේ ය. බෝට්ටු සවාරි යන්නෝ නැඟූ ප්‍රීති සිනා ඔහු සිත සැනසී ය. සුදුකළු චිත්‍රපටයේ අහිංසක පෙම්වතුන් යුවළ මේ වැව් දියේම ඔරු පදිමින් ගැයූ ගීතය, ඔහුට ඇසෙන්නට විය. එකී දර්ශනය ඔහු ඉදිරියේ මැවෙන්නට විය.
“ඔයා කැමතිද මේ වැවේ ඔරු පදින්න”
“ඔයා කැමති නම් මාත් කැමතියි”
පෙම්වතුන් ආදරයෙන් කොඳුරපු හැටි ඔහුගේ මතකයේ රැඳී ඇත. නිළියගේ අහිංසක මුවකමල සුමිත්‍රාගේම විය. කටහඬ සුමිත්‍රාගේම ය.
“කවදා හෝ මගේම වෙන සුමිත්‍රා කෙනෙක් මට හමුවෙනු ඇති. මෙලොව උපත ලබන සැමකෙකුට ම, මේ මහ පොළොව මත මුල් ඇද ගැනීමට, ආදරය නම් පහස, තෙතමය අවැසිය. මිනිසාට ලැබෙන උතුම්ම වස්තුව ජීවිතයයි. ජීවිතාන්තය දක්වා සිරගතවූවන් ද, මේ මිහිතලය මත ජීවත් වේ.”
එසේ සිතූ ඔහු දුක් දොම්නස් අකාමකා දා සුවසේ හුස්ම ගත්තේ ය. අඳුරු ජීවිතයට සහන් එළිය ගලන්නට විය.
කාලය සෙමින් ගෙවී යන්නට විය.
” සුමිත්‍රා සුමති එක්ක හිච් වෙලා, අද හවස ලෙක්චර්ස් ඉවර වෙලා කොල්ලො කෙල්ලෝ උන් දෙන්නව බකට් කරන්න යනවලු “
සරසවිය පුරා පැතුරුණු ආරංචියෙන් සේන අමාරුවෙන් වාරු කරගත් ජීවිතයට යළි කණ කොකා හැඬුවේ ය. සේනට සුමිත්‍රාව යාළු කරදෙන බවට පොරොන්දු වූ, ඔහු හා දිවෙන් දිව ගාගෙන සිටි හොඳම මිතුරා සුමති ය. අපේක්ෂා භංගත්වයේ අඳුර සුපසන් මුහුණ යළි ගිල ගත්තේ ය. ගුහාගත ජීවිතයේ යාන්තමට දැල්වුණු සහන් එළි කෙමෙන් නිවී ගොස් ජීවිතයට අඳුර කාන්දුවී සෝසුසුම් ජීවන ගීතය බවට පත් විය.
දහසක් ජීවන අරගල මැද කාල නදිය නොනැවතී ගලා ගියේ ය. නිර්නාමික පෙම්වතා කාලයේ මතක වළාකුළු අතරේ දියවී මැකී ගියේ ය.
දිනක් හදිසියේම ඔහුගේ සොහොයුරියක් මා හමුවට පැමිණියා ය.
” සේන මල්ලීට දැන් සනීපයි. නිතරම ඔයාල ගැනත් සුමිත්‍රා කියලා කෙනෙක් ගැනත් අහනවා. පුළුවන් නං ඇවිත් එයාට කතා කරන්න.”
කාල අගහිඟකම් නොවූව ද, ඉඳහිට හෝ ඔහුගේ සුවදුක් සොයා බැලීමට නොහැකිවීම ගැන උපන් බලවත් පශ්චාත්තාපයෙන් ඔහු සිටිනා වාට්ටුවට ඇතුල්වෙත්ම හද ගැස්ම වැඩිවී ගතම අප්‍රාණික වන්නාක් මෙන් මට හැඟිණි. සේනගේ සොයුරිය එහි පැමිණ සිටීම අස්වැසිල්ලක් විය. භද්‍ර යොයුන් විය කාල රාක්ෂයා විසින් ඔහුගෙන් උදුරා ගොසිණි. අප දුටු විගස ඔහුගේ හැකිලී ගිය මුහුණ කලඑළි වී, මලානිකව ගිලී ගිය ඇස් දීප්තියෙන් බබළන්නටත්, ක්ෂණිකව කඳුළින් දොරේ යන්නටත් විය. වියැලී ගිය දෙතොල් සෙමින් සෙලවිණි.
” සඳරුවන්….. උඹලා ආවා එහෙනං මාව බලන්න. සුමිත්‍රා ඔයත් ආපු එක මගේ පපුවට බරට දැනෙනවා. කොහොමද සුමී ඔයා දන්නේ, මං මෙහේ ඉන්නවා කියලා? “
රූකඩයක් මෙන් කෘෂව ගිය සර්වාංගය ගස්සා ප්‍රොත්සාහීව ඔහු ඒ වචන වලට ප්‍රාණය පිම්ඹේ ය.
‘ මමයි මචං කිව්වේ. ‘ ප්‍රශ්නාර්ථයක් මැද ඒ නොපෙන්වා මම උත්තර දුන්නෙමි. ‘
” මචං උඹ හුඟක් වෙනස් වෙලානේ. වයසට ගිහිංනේ. මොකද කෝස් ලෝඩ් එක වැඩිද? සුමිත්‍රා… ඔයා නං තවත් ලස්සන වෙලා. සුමිත්‍රා මේ මගේ අම්මා “
අමාරුවෙන් දකුණත ඔසවා සේනගේම සොයුරිය පෙන්වමින් ඔහු පැවසීය. ඈ කඳුළු සඟවා ඉවතට ගියා ය. ඒ අවසරයෙන් රහසක් කීමට ඇති බව හැඟවූවෙන් මම ඔහුට ළං වූවෙමි.
” මචං සඳරුවන්, මම කැම්පස් ආපු ගමන්ම කෙළින්ම සුමිත්‍රාගෙන් අහනවා. මට කැමති ද කියලා. ආයෙ මම එයාට ලියුං ලියන්නේ නෑ. උඹ මට උදව් කරනවා නේද? “
‘ඔව්… අනිවාර්යයෙන් මචං.’
උඩ ගොස් බිම වැටුණු මා සතුව ඒ නිෂ්ඵල වචන තුන හැර වෙනත් උත්තරයක් නැති විය.
සේන ඔහුගේ මව සේ හඳුන්වා දුන්නේ ඔහුගේම වැඩිමහල් සොහොයුරියවයි. ඉණ ඉහ විකුණා සේනට වියදම් කොට ඒ නිෂ්ඵල බව දැනී ලද සිත් තැවුලෙන් වයසට වඩා වියපත්ව ඔත්පලව මව මිය ගියේ කලකට පෙරදී ය. ඔහු සුමිත්‍රා ලෙස හඳුනා ගත්තේ, මා සමඟ ගිය එම රෝහලේම වෛද්‍යවරික වූ මගේ වැඩිමහල් දියණියවයි.
ආපයින්ම ආපසු යා නොහැක. අපහසුවෙන් හෝ ඔහු ළඟ රැඳිය යුතු විය. ඒ හෝරාව වර්ෂයක් මෙන් දිගු යැයි මට හැඟිණි.
හිරෝෂිමාවට හෙලූ පරමාණු බෝම්බයෙන් මියගිය සිසුවියකගේ අත් ඔරලෝසුව හදිසියේ මගේ මතකයට නැඟිණි. එය හිරෝසිමා කෞතුකාගාරයේ තාමත් තිබේ. අටයි පහළොවට එහි වේලාව නතර වී ඇත. එය නතරවී ඇත්තේ එක්දහස් නවසිය හතළිස් පහ වසරේ අගෝස්තු හය වෙනිදා ය. මා මිතුරු නිර්නාමික පෙම්වතාගේ හිත තාමත් සරසවියේ තෙවැනි වසරේ නැවතී තිබේ.