ගඟක් වී ඔබ ගලාගෙන එන්න
මගේ ජීවිතය විනිවිද යන්න
ගඟක් වී ඔබ වේගයෙන් එන්න
දෙගොඩ තලමින් ඉතින් බැසයන්න
මගේ ජීවිතය තුළ පැතිර ඇති
ඕවිටි ද කල්විටි ද යට යන්න
දිය කඳක ආදරය විඳගන්න
ගඟක් වී ඔබ ගලාගෙන එන්න
පාළු ඉපනැලි හීන යායකට
පල දරන ආදරය වපුරන්න
සාර පෝෂක ලවණ උතුරන්න
සුනිල ජල තෙතමනය ඔබ දෙන්න
කිරිවදින දාඩියට පණ දෙන්න
කරල් පූදින කලට නැළවෙන්න
නියං සායක විපත දුරු වෙන්න
ගඟක් වී ඔබ ගලාගෙන එන්න
ගිරව් ආවම කරල් ඇහිදින්න
කුරුල්ලට නෙළුම් කවියක් දෙන්න
කුරුල්ලන් ඒවි කවි කියවන්න
ඉතින් ඔබ ගඟක් වී පැමිණෙන්න
ඉරිතලන පපුව තෙත බත් වෙන්න
නිසරු සිතුවිලි නොපිට පෙරළන්න
පුරං වූ ජීවිතය ගොඩගන්න
ගඟක් වී ඔබ ගලාගෙන එන්න