කැමරාවේ පරිණාමය

ඡායාරූප ශිල්පය සහ කලාව ශිල්පයක් ව ලොවට දායාද වී ගත ව ඇත්තේ අදට (2019) අවුරුදු 180කි. නමුත් එහි මූල බීජය ආරම්භ වී අවුරුදු 5000කටත් වඩා වැඩි ය. එහි මුල් ම අයිති කරුවෝ වන්නේ චීන ජාතිකයෝ ය.

කාන්තාරයේ ඇති අධික උණුසුමට හසු ව, වැලි කැට විනිවිද පෙනෙන කුට්ටි බවට පත් වන බවත්, එම කුට්ටි හරහා බැලූ විට, පෙනෙන රූපය විකෘති ව පෙනෙන බවත්, එමෙන් ම එය යම් දුරකට සුමට කළ විට එයින් හිරු එළිය ඒක රාශි කොට ගින්දර වුව තනා ගත හැකි බවත් සොයා ගත්තේ ඔවුන් ය. එමෙන් ම පරිසරයේ පවතින යම් යම් ද්‍රව්‍ය එකට එකතු කිරීමෙන් සාදා ගන්නා සමහර ද්‍රව්‍ය ආලෝකයට නිරාවරණය වූ විට වෙනස් ගති ලක්ෂණ පහළ කරන බව ද සොයා දැන ගත්තේ මේ චීන ජාතිකයන් ය. ඔවුන් ඒ පෙරදිග දැනුම සිය සේද මාවත ඔස්සේ පෙරදිගට ගෙන ආවෝ ය. අපරදිග යුරෝපීයයෝ ඒ දැනුම උකහාගෙන, ඒවා විවිධ පර්යේෂණයන්ට ලක් කොට, එයින් එළි දුටු තාක්ෂණය තමන්ගේ බවට ලියා ගත් හ.

කැමරාව බිහි වූයේ ද එලෙසිනි. එකළ ලොව වඩාත් පරසිදු ව තිබුනේ අතිතාත්වික චිත්‍ර ශිල්පයයි Hyper Realistic Painting. තමන් දුටු දේ කිසිදු වෙනසක් නැති ව, ඒ ආකාරයෙන් ම ඇඳීම එකල නිර්මාණශිල්පියාගේ අතිශය දක්ෂතාවක් විය. මේ චිත්‍ර කර්මාන්තයේ යෙදෙන්නන්ට, මූලික සංකල්ප චිත්‍රය Visual Sketch සටහන් කර ගන්නට ඔවුන් විවිධ ක්‍රම අත්හදා බැලූ හ.

පින්හෝල් කැමරාව – Pinhole Camera

එකල යුරෝපයේ භූමි දර්ශන අඳින චිත්‍ර ශිල්පීහු වඩා නිවැරදි ව තමන් රුචි පරිසරය සටහන් කර ගන්නට තැනින් තැන ගෙන යා හැකි ලොකු කාමරයක් වැනි පෙට්ටියක් භාවිතා කළ හ. එහි එක් බිත්තියක කැන්වසය රැඳවූ අතර. අනෙක් බිත්තියේ සිහින් සිදුරක් විදින ලදී. මේ සිදුරෙන් පෙරී එන ආලෝක කදම්බ මගින් කැන්වසය මත දෘෂ්‍ය ප්‍රතිබිම්බයක් නිර්මාණය වූ අතර, එය චිත්‍ර ශිල්පියා විසින් පැන්සලෙන් හෝ චාකෝල් මගින් හෝ කැන්වසය මත සටහන් කර ගනු ලැබිනි. පින්හෝල් කැමරාව ලොවට බිහි වූයේ ඒ අනුසාරයෙනි. කැමරාව යන නම බිඳී ආවේ ද ප්‍රංශ බසිනි. ඒ කාමරයට කියන නම කැමරා නම් වීම නිසා ය.

කැමරා ඔබ්ස්ක්‍යුරා – Camera Obscura

ලොව මුලින් ම කැමරාව හැඳින්වූයේ කැමරා ඔබ්ස්ක්‍යුරා නමිනි. ඔබ්ස්ක්‍යුරා යනු ප්‍රංශ බසින් අඳුරු යන්න හඳුන්වන නාමයයි. ඒ අනුව කැමරා ඔබ්ස්කියුරා යනු අඳුරු කාමරයයි. ඒවා භාවිතා කළේ ද චිත්‍ර ශිල්පීන්ම ය. මේ වන විට උත්තල කාචය පිළිබඳ සංකල්පය ලොවට දායාද කොට තිබුණේ ය. කාච ද නිර්මාණය කොට තිබුණේ ය. ඒ කාච භාවිතා කරමින් සාදා ගන්නා ප්‍රතිරූපය කඩදාසිය මතට ප්‍රක්ෂේපණය කොට, චිත්‍රය සටහන් කර ගැණිනි. මේ කාල වකවාණුව වන විට ද ඡායාරූපයක් ස්ථාවර ව සටහන් කර ගන්නා ක්‍රමවේදයක් සොයා ගෙන තිබුණේ ද නැත.

මැමත් කැමරා – Mammoth Camera

කාචය ද, ඡායාරූප සටහන් කර ගන්නා රසායනික ක්‍රමය ද සොයා ගත් පසු මුලින් ම ලොව නිෂ්පාදනය වූයේ මැමත් කැමරා ය. ඒවා ප්‍රමාණයෙන් අතිවිශාල විය. පටලය වෙනුවට යොදා ගත්තේ රසායනික අඳුන ගැල්වූ වීදුරු කදාවකි. ඡායාරූප ගත යුතු ස්ථානයට මෙහි උපාංග රැගෙන ගොස්, එකිනෙක පුරුද්දා, දැවැන්ත අට්ටාල ගත කැමරාව සාදා ගන්නට සිදු විය. මෙහි දැවැන්ත බව නිසා ම එය “මැමත්” නම් විය. මැමත් යනු මිහිමත සිට වඳ ව ගිය සතුන් අතරින්, අලියාට නෑකම් කියන විශාල ම සත්ත්වයා ය.

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත