නොදුටු ඇස්

කංචුකා ධර්මසිරි අධ්‍යක්ෂණය කරන “නොදුටු ඇස්” පර්යේෂණාත්මක බහුමාධ්‍ය වේදිකා නාට්‍යය සැප්තැම්බර් 17 සවස7.00 ට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ WUS රංගපීඨයේදීත්, සැප්තැම්බර් 21 සවස 3.30 ට සහ 6.45 ට බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර් හිදීත් වෙදිකාගතවීමට නියමිතයි.

කුමාරි කුමාරගමගේගේ “උරෙයප්පු සාප්පාඩ/ නොඇසු කන්වලට” කෘතියෙහි එන පද්‍ය සහ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් යුද්ධය, ප්‍රචණ්ඩත්වය හා බලය පිලිබඳ ලියූ පද්‍ය, අධ්‍යක්ෂිකාව විසින් “ නොදුටු ඇස් “ නාට්‍යයට පාදක කරගෙන තිබෙනවා. මේ නිර්මාණය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන්, ආචාර්යවරුන් සහ Theater of the Melting Clock සාමුහිකය හා මහනුවර ප්‍රජාවට අයත් කලාකරුවන් පිරිසකගේ සාමූහික දායකත්වයක ප්‍රතිඵලයක්. කණ්ඩායමේ සාමාජිකයින්, නළුවන්, සංගීතඥයන්, නර්තකයින් හා වීඩියෝ කලාකරුවන් හැටියට ඒ ඒ අංශ වල නිපුණතා රැගෙන එමින්, තම තමන් සතු කලාත්මක හා තාක්ෂණික දායකත්වය සහ සහයෝගිතාවය ලබාදෙමින් වැඩමුළු අවකාශයක් තුළ මේ රංග කාර්යය නිර්මාණය කර තිබෙනවා.

කුමාරි කුමාරගමගේගේ පද්‍ය ශ්‍රී ලංකාවේ තිස් අවුරුදු යුද්ධයේ බලපෑමට ලක්වූ ස්ත්‍රීන්, දරුවන් හා මිනිසුන්ගේ දෛනික ජීවිතය ග්‍රහණය කරගන්නවා. ගැටුම්කාරී සන්දර්භයක් තුළ ජීවිතයේ බිඳ විසිරයාම විදහාපාමින් එහිදී පන්ති භේදය හා ස්ත්‍රී-පුරුෂ සමාජභාවය ක්‍රියාත්මක වන ආකාරය දෙස අවධානය යොමු කරනවා.

යුද්ධයේ ආර්ථික හා දේශපාලන යටිතලය ගවේෂණය කරන බ්‍රෙෂ්ට්, සාමාන්‍ය මිනිසුන් හා ගැහැනුන් එවැනි විනාශකාරී සන්තතීන්ගේ අවසන් ගොදුරු බවට පත්වන ආකාරය පෙන්නුම් කරනවා.

“ නොදුටු ඇස් “ බහු මාධ්‍ය රංගයක් ලෙස කුමරගමගේගේත් බ්‍රෙෂ්ට්ගේත් කවි ප්‍රතිනිර්මාණය කරනවා. එතැනදී යුද්ධයේ ප්‍රචණ්ඩත්වයේ මානුෂීය ප්‍රතිවිපාක ග්‍රහණය කරගැනීමත්, ඒ පිලිබඳ විචාරක බැල්මක් හෙලීමත් සඳහා චලනය – නිශ්චලත්වය, ශබ්දය – නිශ්ශබ්දතාවය නිෂ්පාදනයේදී උපරිම ලෙස උපයෝගී කරගන්නවා. තව ද එය අප ජීවත්වන අවකාශ සමග අපට ඇති සම්බන්ධය ප්‍රශ්න කරන්නේ අවකාශය, මතකය, ශරීර හා ප්‍රචණ්ඩත්වය අතර සබඳතා විභාග කිරීම මගින්.

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත