“අපි එකෙකු වෙමු, එහෙත් අප වෙනස්ය..
අප එකිනෙකාට නැවත නැවතත් රිදවා ගතිමු..
ස්නේහය හා බැඳීම දෙවොලකැයිද,
උත්තරීතර නියාමය යැයිද ඔබ මට කීවේය..
මට එහි ඇතුළු වීමටද කීවේය,
නමුත් ඔබ මට සැලැස්වූයේ එහි සැරිසැරීමට නොව බඩ ගෑමටය..”
1976 සිට අද දක්වා, නොයක් හැල හැප්පීම් වලට ඔරොත්තු දෙමින් අතිශය ඉහළ ජනප්‍රසාදයක් සහ ජනප්‍රියත්වයක් දිනාගත් අයර්ලන්ත ජාතික U2 සංගීත කණ්ඩායම 1992 දී එළි දක්වන One නමැති, ජනාදරයට මෙන්ම විචාරක පැසසුමටද බඳුන්වූ ගීතයෙහි කොටසකුයි ඔබ වෙනුවෙන් මම ඉහතින් ඡායානුවාදය කළේ!
මිනිසුන් ලෙස අපි එක අතකින් සමාන වුණත්, එකිනෙකාගේ සමාජ සහ සංස්කෘතික වෙනස්කම් වලට අපි ඇත්තටම ගරු කරනවාද?
මිනිස් බැඳීම් හරිම උසස්ය කියල කියන, අනෙකාට සමානයන් විදියට ආදරෙන් සලකන්න ඕන බව කියන බොහෝ අය, වෙනස් මතයක්, නැත්නම් විශ්වාසයක් දරන කෙනෙකුට සමානයෙක් විදියට සලකන්න ලැහැස්තිද?
මේ ගීතය ලියද්දී U2 කණ්ඩායම තුළත් සෑහෙන හැල හැප්පීම් ඇති වුණා කියලත්, ‘එජ්’ (The Edge) කියන අන්වර්ථ නාමයෙන් වඩාත් ජනප්‍රිය වූ කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදකයාගේ කෝඩ් ප්රෝග්රෂන් එකක් අහගෙන හිටපු බෝනෝ (Bono) මයික් එකට ගිහින් හිටිවනව ගායනා කරපු ගැයුම් කිහිපයක් හරහා මේ ගීතය ආරම්භ වුණා කියලත් U2 කණ්ඩායම සම්මුඛ සාකච්ඡාවකදී කියල තියනවා.
බර්ලින් තාප්පය බිඳ වැටිල එක්සත් වන ජර්මනිය සහ ඒ අනුව යමින් එක්සත් වන යුරෝපය මේ ගීතයට නිර්මාණ ආවේශය සැපයුවා කියලා සමහර විචාරකයෝ විශ්වාස කරනවා, තවත් සමහරු මෙය එජ්ගේ (David Howell Evans) විවාහය දෙදරා යාම නිසා ලියැවුණු ගීතයක් බව කියනවා.
ඒඩ්ස් හැදුණු සමලිංගික තරුණයෙක්, තමන්ගේ තාත්ත එක්ක කරන සංවාදයක් මේකට මූලාශ්‍ර වුණා කියලා මතයකුත් මාධ්‍ය හරහා පැතිරුණා!
කොහොම වුණත් ගීතයේ නිමිත්ත ගැන කිසිම වෙලාවක U2 කණ්ඩායම හරි උත්තරයක් දෙන්නේ නැහැ. නමුත් ඔවුන් පැහැදිලිව කියනවා මේක ප්‍රේම ගීතයක් නොවන බව …..
තුන් වතාවක් ඔවුන් මේ ගීතයට නිල වීඩියෝ නිෂ්පාදනය කරනවා…ඔබට නැරඹීමට අප ඈඳා ඇත්තේ ඔවුන් දෙවනුව නිෂ්පාදනය කල වීඩියෝවයි..
පළමු වීඩියෝවේ තිබූ දර්ශන සහ ඒඩ්ස් අර්ථකථනය නිසා ඔවුන් දෙවනු වීඩියෝව කළ බව කියන U2 කණ්ඩායම මෙහෙමත් කියනවා …..
“ඒඩ්ස් රෝගය සහ ඒ ආශ්රිත ගැටළු ලිංගිකත්වයේ වපසරියට ලඝු කර දැමීමට ඇති ඉඩ කඩ නිසා අපි දෙවන වීඩියෝව හැදුවා….”
කණ්ඩායමේ ප්‍රධාන ගායක බෝනෝ (Bono) ඔහු විසින්ම පද රචිත ගීය ගයමින් තවත් තැනක මෙන්න මෙහෙම අහනවා..
“ඔබ මෙහි පැමිණියේ සමාව භජනයටද..
නැතිනම් මළවුන් නැගිටවීමටද?
නැතිනම් ඔබගේ මනසේ වසන ලාදුරු රෝගීන්ට ජේසුගේ භූමිකාව රඟ දැක්වීමටද…?”
වෙන කෙනෙකුගේ අපට වඩා ඇති වෙනස ලෙඩක් නැතිනම් අවුලක් විදියට දැකල, අපි හරි වැදගත් කියල හිතාගෙන, අනෙකා වෙනස් කිරීමට ගන්න උද්දච්ඡ උත්සාහයන් මේතරම්, සුගම සහ ගීතාත්මක ලෙස උපහාසයට ලක් කරනවා මම වෙන තැනක දැකලම නැති තරම්!