ටෙලිනාට්‍ය කලාවේ තෙවෙනි පරම්පරාව බිහිවූයේ මෙම සමාජ තත්ත්වයන් හා ස්වභාවයන් රූපවාහිනී මාධ්‍ය තුළ දළුළා වැඩෙන කාලයකය.මොවුනට ඉතිරි වූයේ පෙර පරම්පරාවල නිර්මාණකරුවන් ස්ථාපනය කළ නිර්ණායක සමුදාය පමණි. රූපවාහිනී නාලිකාවල බලධාරීන් වුවද මෙකී තත්ත්වයන්ට අනුගත වෙමින් මූල්‍ය ප්‍රගතිය පමණක් සැලකිල්ලට ගෙන ඇත. මෙම තීරණාත්මක අවදියේදී රූපවාහිනී නාලිකා බලධාරීන් පවා විශ්වාස තැබුවේ තම ආයතනයෙන් පිටත පවතින තරඟකාරී ටෙලිනාට්‍ය වෙළඳපොළට හෙට දවසේ මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳව පමණි. ජාතික රූපවාහිනියට, ජාතික වගකීමක් පවතින බවත්, මෙම තරගයේ සිය අනන්‍යතාව ආරක්ෂාකර ගත හැකි වන්නේ තම ආයතනයට පමණක් බවත් තේරුම්ගත් ඔවුන් දීර්ඝ ටෙලිනාට්‍ය විකාශය සීමා කිරීමට උත්සාහ කළ බවක් පෙනෙන්නට තිබුණි. ටෙලිනාට්‍යවල ගුණාත්මක බව ආරක්ෂා කර ගැනීමට තෙවෙනි පරම්පරාවේ නිර්මාණකරුවන්ට පිටත වෙළඳපොළ සමගද, ඇතුළත ප්‍රතිපත්ති තීරණ සමග ද බරපතල අරගලයක යෙදෙන්නට සිදු වූ බව අමතක නොකළ යුතුය.
දීර්ඝ ටෙලිනාට්‍යයක කොටස් ප්‍රමාණය 100 ඉක්මවා විකාශය කිරීමත්, කොටස් ප්‍රමාණය දීර්ඝ වීම නිසාම කතා රසය හීන වීමත්, ටෙලිනාට්‍යවල ප්‍රමිතීන් පිළිබඳ, ටෙලිනාට්‍ය විකාශය පිළිබඳ අවසර ලබා දෙන්නා වූ සමීක්ෂණ මණ්ඩලවල නිර්දේශයන් පිළිබඳවත්, ප්‍රේක්ෂාමය සමාජය තුළ ගැටළුවක් මතු විය. නැරඹිය යුත්තේ කුමන නාලිකාවේ විකාශය වන කුමන ටෙලිනාට්‍යය ද යන්න පිළිබඳව ද ගැටලුවක් ඔවුන් තුළ නිර්මාණය විය. මේ ගැටලුවට විසදුම් සෙවීමට රූපවාහිනී නාලිකා බලධාරීන්ට අවශ්‍යතාවය ඇති නමුත් සමාජයේ ඇති වී තිබෙන්නා වූ සමාජයීය හා සංස්කෘතික සෝදාපාළුවට ඔවුන් සෘජුවම වගකිව යුතු කොට්ඨාශයක් වන හෙයින් ඊට පිළිතුරු සෙවීම ද මගහැරී ඇත. තෙවෙනි පරම්පරාවේ නිර්මාණකරුවන් වේදිකාව හා සිනමාව පිළිබඳව ස්වඅධ්‍යයනයකින් තොරව ටෙලිනාට්‍ය කර්මාන්තයට පිවිසීම අර්ථ ශූන්‍ය ටෙලිනාට්‍ය බිහිවීමට හේතු සාධක වූ බවට මත පලවී තිබේ. ඔවුනට ටෙලිනාට්‍යයේ සෞන්දර්යාත්මක විධික්‍රම භාවිතයට ගැනීම සඳහා අවකාශය ලැබුණා ද? ඒ නිසා තම නිර්මාණ ශක්‍යතාවයෙන් උපරිම ඵල නෙලා ගැනීමට හැකිවීද? එහි දෝෂය වර්තමාන ටෙලිනාට්‍යකරුවන් වෙත පැවරීම කොතරම් යුක්ති සහගතද? යන්න අපි ඉදිරියේ ඇති ප්‍රශ්නයකි. නමුත් වර්තමාන ටෙලිනාට්‍ය අර්බුදයට වගකිව යුතු එක් ප්‍රධාන පාර්ශවයක් වන්නේ රූපවාහිනී නාලිකා බලධාරීහුය. ඔවුන් සටනකින් තොරව අරගලය පාවා දුන් අය වෙති. වෙළෙඳ හා දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීමේ අභිලාෂයෙන් ද ඊට එහා ගිය අරමුණු ද මොවුන් සතු වූ බව නොරහසකි.
දෙවෙනි හා තෙවෙනි පරම්පරාවේ ටෙලිනාට්‍ය නිර්මාණකරුවන් අතර සුදත් රෝහණ, අනුර මාධව ජයසේකර, සුදත් දේවප්‍රිය, ගයා රම්‍යා අල්විස්, ජනක සුරංජිත්, නලින් මාපිටිය, මෝහාන් ජී. රංගනාත්, සමන් කුමාර ලියනගේ, ආනන්ද අබේනායක, අතුල පීරිස්, ලලිත් රත්නායක, අනුරුද්ධ ජයසිංහ, සන්තුස ලියනගේ, ජැක්සන් ඇන්තනී, සුසිරින් ද සිල්වා හා මංජුල සිංහපෘථිවි මෙම පරම්පරා දෙකේ ඉදිරියෙන්ම සිටින නිර්මාණකරුවෝ වෙති. මොවුන්ගේ නිර්මාණ මගින් කතාබහට ලක්වූයේ මනුෂ්‍ය ස්වභාවයේ ගති ලක්ෂණ මෙන්ම සමාජ ගැටලු ද තියුණු නිරීක්ෂණ ඇසකින් විමසා බලන ආකාරය දැක්වෙන කෘතීන්ය. මේ අතර, මෙරට ඉතිහාසය ඓතිහාසිකව විකාශය වූ අන්දම දැක්වෙන නිර්මාණයන් සමාජය වෙත ගෙන ඒම සඳහා ජැක්සන් ඇන්තනී, අනුර මාධව ජයසේකර හා සුදත් රෝහණ, සෝමරත්න දිසානායක වැනි නිර්මාණකරුවන් පෙරමුණ ගත්හ. මෙම නිර්මාණකරුකවන් සමාජ විඥානය හඳුනාගෙන විවිධ වූ සමාජ ප්‍රපංචයන් අධ්‍යයනය කරමින් ගුණාත්මක හා විනෝදාත්මක බවින් යුක්ත වූ නිර්මාණ ප්‍රේක්ෂකයා වෙත සමීප කරවීමට උත්සාහයක නිරත වූහ.

අප කළ යුත්තේ ප්‍රතිපත්තිමය තීරණවල වෙනසකට එළඹීමය. ඒ සඳහා කළ යුත්තේ සමාජයීය හා සංස්කෘතික වටිනාකමකින් යුත් නිර්මාණ කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම, නවක නිර්මාණකරුවන් ඒ පිළිබඳව දැනුවත් කිරීම, හරය හා ගුණයෙන් පිරි නිර්ණායක හඳුන්වා දීම, ඒවා සුරක්ෂා කිරීමට අවධානය යොමු කිරීම, කලාත්මක බවින් යුත් ටෙලිනාට්‍ය නිර්මාණය කිරීමට ටෙලිනාට්‍යකරුවා උනන්දු කිරීම, විකාශය සඳහා තෝරා ගන්නා බාහිර ටෙලිනාට්‍යවල ප්‍රමිතිය පිළිබඳව දැඩි ප්‍රතිපත්තියක සිටීම, ටෙලිනාට්‍ය තෝරා ගැනීමේ සමීක්ෂණ මණ්ඩලයක් පත් කර ගැනීම, ඒ සඳහා කලා මාධ්‍යයන් පිළිබඳ අවබෝධයෙන් යුත් විද්වතුන්ගෙන් සමන්විත මණ්ඩලයක නිර්දේශ පමණක් සලකා බැලීමය. ජාතික රූපවාහිනිය මුල් අවදියේදී ටෙලිනාට්‍ය සඳහා රූපවාහිනී විකාශ කාලය හිමිකර දුන්නේ සමීක්ෂණ මණ්ඩලයකින් අනුමත වූ ටෙලිනාට්‍ය සඳහා පමණි. ටෙලිනාට්‍ය වංශකතාවේ අපූර්වතම ටෙලිනාට්‍ය විකාශය වූයේ, සමීක්ෂණ මණ්ඩල නිර්දේශ මෙන්ම එදා රූපවාහිනී ප්‍රතිපත්ති එකම දිශාවකට යොමු වීම නිසයි. “කඩුල්ල”, “දුන්හිඳ අද්දර”, “ඇල්ල ළග වලව්ව”, “යශෝරාවය”, “වෙද හාමිනේ”, “දඬුබස්නාමානය”, “නිසල විල”, “සඳ අමාවකයි”, “දඩබිම”, “කඩවර”, “සිත්තර ගුරුන්නාන්සේ”, “තුන්බිය”, “බැද්දේ ගෙදර” වැනි බොහෝ ටෙලිනාට්‍ය නිදර්ශන සේ දැක්විය හැකිය.
ටෙලිනාට්‍ය මගින් ඇති වූ සමාජ අසංතුලිත හා අසංවිධිත බව ක්‍රමයෙන් පවතින සමාජ හා සංස්කෘතික රටාව වෙනස් කිරීමට තරම් ප්‍රබල සාධකයක් බවට පත් විය. දකුණු ආසියාවේ රූපවාහිනිය නරඹන සෑම නිවසකම රාත්‍රී 07.00 සිට රාත්‍රී 09.00 දක්වා ගෘහණියගේ කාලය වෙන් වී ඇත්තේ රූපවාහිනිය වෙතය. ඊට හේතුව වී ඇත්තේ වර්තමානයේ නිර්මාණය වන ප්‍රාසංගික නාට්‍යවල ස්ත්‍රී භූමිකාව නිරූපණය වී ඇත්තේ ඉතා පුළුල් දැක්මකින් යුතුව නිසාය. කිසිදු විටෙක මෙම ටෙලිනාට්‍ය ගතානුගතික සම්ප්‍රදායික මතයන් තහවුරු කරන ලෙස නිර්මාණය වී නොමැති, ජීවිතය සඳහා අරගල කරන සමකාලීන සමාජයේ ජීවත් වන කාන්තාවන් විනා, සිහිනමය චරිත ඒවායේ නිරූපණය නොවීමය. වර්තමාන ටෙලිනාට්‍ය ඔස්සේ සමස්ත ලාංකේය කාන්තාවන්ගේ හුදු දුක්ඛ දෝමනස්සයන් හා සර්ව පිත්තල සමාජයක සිදු වන්නා වූ ජීවන අරගලයත් ඒවායින් සංකේතාත්මකව නිරූපණය වන හෙයින් මෙගා ටෙලිනාට්‍ය ධාරාවෙන් මෙකී සමාජය මුදවා ගැනීමට නොහැකි වීම සමාජ අර්බුදයක් නිර්මාණය කිරීමට තරම් කොටස් 100, 200, 300 විකාශය කරන්නා වූ ටෙලිනාට්‍ය සමාජ පිළිකාවක් බවට පත් වී ඇත.

ප්‍රාසංගික ටෙලිනාට්‍යයේ සාර්ථකත්වය උදෙසා අතිශය වැදගත් නිර්මාණකරණයක යෙදෙන තිර රචකයාගේ කාර්යභාරය ඉතා වැදගත් වේ. ටෙලිනාට්‍ය මාධ්‍යයට උචිත ආකෘතියක් ගොඩනැගීමට පමණක් නොව, නිර්මාණවල ආත්මය බඳු ප්‍රමිතීන් නීර්ණයට මෙන්ම සුරක්ෂා කිරීම ටද ඔවුන්ගෙන් ඉටුවන්නාවූ සේවාව අමිලය. දයා අල්විස්, සෝමවීර සේනානායක, පරාක්‍රම නිරිඇල්ල, ලූෂන් බුලත්සිංහල, හෙන්රි ජයසේන, ජයකොඩි සෙනෙවිරත්න, සුමිත්‍රා රාහුබද්ධ, කේ.බී. හේරත්, ඇරැව්වල නන්දිමිත්‍ර, රෝහණ දන්දෙනිය, ජයතිලක කම්මැල්ලවීර, කපිල කුමාර කාලිංග, යු.බී. රත්නායක, එඩ්වඩ් මල්ලවආරච්චි, රෙජිනෝල්ඩ් ජයමාන්න, අතුල පීරිස්, නලින් මාපිටිය, තිස්ස අබේසේකර, සරත් ධර්මසිරි, තුෂාරි අබේසේකර හා සිඩ්නි චන්ද්‍රසේකර යනාදී තිර රචකයින්ගෙන් රූපවාහිනිය ආරම්භයේ සිට මේ දක්වා ටෙලිනාට්‍ය කලාව සඳහා සිදු වූ සුවිසල් සේවාව ඉමහත් වේ. රූපවාහිනී නාලිකාවන්ගෙන් බැහැර ස්වාධීන නිෂ්පාදකයින්ගේ නිර්මාණ ටෙලිනාට්‍ය විකාශනයෙහිලා එහි කාර්යභාරය ද මෙරට ටෙලිනාට්‍ය කලාවේ ප්‍රවර්ධනය කෙරෙහි තීරණාත්මකව බලපෑවේය. මෙසේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකුගේ අතට හොඳ තිරපිටපතක් නොලැබීම හතු පිපෙන්නාක් මෙන් රූපවාහිනී නාලිකා බිහි වීම ඊට අවැසි සැපයුම වෙනුවෙන් කුමන හෝ ආකාරයකින් අධ්‍යක්ෂවරයා වෙත පිටපතක් සැපයීම, ඊට අනුව නිෂ්පාදකයෙකුගේ මූල්‍ය සම්පාදනයට අනුව ටෙලිනාට්‍ය නිර්මාණය කිරීමට සැදී පැහැදී සිටීමම, ටෙලිනාට්‍ය කර්මාන්තයේ අභාවයට සහේතුක විය. මේ හේතූන් නිසාම ටෙලිනාට්‍යයේ ගුණාත්මක බව ක්‍රමිකව පහත වැටෙන්නට විය.
අද දවසේ නිර්මාණය වන ටෙලිනාට්‍ය සංඛ්‍යාත්මකව සලකා බලන විට දිනකට නාලිකා 10ක පමණ විකාශය වන්නා වූ ටෙලිනාට්‍ය සියල්ල තෝරා ගැනීමට හා නැරඹීමට ප්‍රේක්ෂකයාට වේලාවක් වෙන් කර ගත හැකි වේද? ඒ සඳහා වේලාවක් අත්‍යවශ්‍යයෙන්ම වෙන් කර ගත යුතුද? මේවා ජනතාවට ප්‍රයෝජනවත් වේද? යන ගැටලු ප්‍රේක්ෂකයා ඉදිරියේ සජීවමාන වේ.
දේශපාලනීකරණය හා වාණිජකරණය හමුවේ සමාජයට රූපවාහිනී මාධ්‍යයන් අපේක්ෂිත මෙහෙවර ඉටු කරන්නේ කෙසේද යන්න පොදු අභියෝගයයි. ලෝකයේ සෙසු රටවල් මෙන්ම අපේ රටේ ද බොහෝ රූපවාහිනී නාලිකා සුළං හමන අතට පියාසර කිරීම ගැටලුවට විසඳුම ලෙස තෝරාගෙන තිබේ. අද දිනයේ යහපත් ටෙලිනාට්‍ය කලාවක් බිහි කිරීම වෙනුවෙන් රූපවාහිනී ටෙලිනාට්‍ය නිර්මාණකරුවන් තෝරා ගත යුතු සුවිශේෂී අභියෝගය, චණ්ඩ රළ ප්‍රවාහයක් බඳු වාණිජකරණ ප්‍රවණතාවට විරුද්ධ දිසාවට ගමන් කිරීමේ පටිසෝතගාමී මාර්ගය තෝරා ගැනීමයි. නැතහොත් ප්‍රේක්ෂකයාට තොරතුරු, දැනුම, අධ්‍යාපනය, ප්‍රඥාව, ශිෂ්ඨ සම්පන්න විනෝදාස්වාදය සම්පාදනය කරමින් යහපත් සමාජයක් ගොඩනැගීමේ ජාතික ප්‍රයත්නයට දායක වීමට අදිටන් කර ගැනීමයි. යහපත් වාතාවරණයක් ගොඩනැගෙන්නාවූ රටක පමණක් සුභාවිත ටෙලිනාට්‍ය කලාවක් නිර්මාණය වනු ඇත. හෙට දවසේ අප කළ යුත්තේ ඒ සඳහා අවශ්‍ය වන්නා වූ උපායමාර්ග හා සැලසුම් සකස් කිරීම වේ.

