වාර්තා වැඩසටහන් නිෂ්පාදනය (01) – අභියෝගය

Song of Ceylon

ටෙලිවිෂනය ජනගතවීමට බොහෝ කලකට පෙර සිට වාර්තා වැඩසටහන් (documentary) නිෂ්පාදනය / අධ්‍යක්ෂණය ආරම්භ වූයේ සිනේ මාධ්‍යයෙනි. සමාජ යථාර්ථය ඇති සැටියෙන් විදහා දැක්විය හැක්කේ වාර්තා වැඩසටහන් වලින් බව ලෝකයට අවබෝධ කිරීමට “ Nanook of the North “ වාර්තා වැඩසටහන උදාහරණයකට ගත් ජෝන් ග්‍රියර්සන් (John Grearson) බැසිල් රයිට් ලංකාවට පිටත් කිරීමේ ප්‍රතිඵලය වූයේ “Song of Ceylon“ නිර්මාණය වීමය.

තොරතුරු (Information)  දැනගැනීමේ පිපාසයක් ජනතාව තුළ නිතැතින්ම පැවතියේය. විනෝදය ලබා දීමට හපන් ටෙලිවිෂනය තොරතුරු වහනය සඳහා හුරු කිරීමේ ප්‍රතිඵලයකි වාර්තා වැඩසටහන් ශානරය ආරම්භ වීම, ජනතාවට අවශ්‍ය දේ ලබා දෙනවා ද, ඔවුන් ඉල්ලන දේ දෙනවා ද යන්න තේරුම් ගැනීම, (what they want and what need), BBC සේවයේ Panorama කාලීන වාර්තා වැඩසටහන ආරම්භයේදී නරඹන ප්‍රමාණය අමතක කොට දිගටම විකාශය කිරීම තුළින් සමාජ වගකීමක් ටෙලෙවිෂනයට ඇති බව අවබෝධ කර දී  තිබේ. මුලදී අවම ප්‍රේක්ෂක අවධානයක් තිබූ එම වැඩසටහන මිලියන දහයක් ඉක්මවා ප්‍රමාණයක සැලකීමට ලක්ව තිබේ. ජනතාව හුරුකිරීම මගින් හොඳ වැඩසටහන් සඳහා යොමු කිරීමට පිළිවන් බව පෙන්වා දුන්නේ BBC යේ ප්‍රථම අධ්‍යක්ෂ ජනරාල් වරයායි.

ලොව බොහෝ රටවල රන් කාලය (Golden time / Prime time) තුළට වාර්තා වැඩසටහන් ආගමනය වන්නේ ඒ සඳහා ඉල්ලීමක් (Demand) තිබුණ බැවිනි. 1990 දශකය වන විට මේ ප්‍රවණතාව පැහැදිලිව පෙනෙන්නට විය. ඉතාලියේ රායි ටෙලිවිෂනය (Rai TV) රාත්‍රී 8.50 ට වාර්තා වැඩසටහන් යොදා, 24.96% ක ප්‍රේක්ෂක ප්‍රසාදයක් ලබා තිබේ.  එය සංඛ්‍යාත්මකව මිලියන 7 කි. ජර්මනියේ ZDF ටෙලිවිෂනය වාර්තා වැඩසටහන් රාත්‍රි 7.30 ට යොදා මිලියන 8.23 ක පිරිසක් ඊට පොළඹවා තිබේ. ජපානයේ NHK ජාතික නාලිකාව “Wolves of the Sea“ වාර්තා වැඩසටහන රාත්‍රි 8.00 ට විකාශය කළේ ද, ඊට රුචිකත්වයක් තිබීම නිසාය. නවසීලන්තයේ NZ TV සිය වැඩසටහන් රන් කාලයට Natural History පෙළගස්වා තිබීම තවත් උදාහරණයකි. BBC ය අවම වශයෙන් වසරකට පැය 160ක් පමණ වාර්තා වැඩසටහන් සඳහා කාලය වෙන් කරයි. එසේම ඒ වෙනුවෙන් විශාල පරිශ්‍රමයක් හා ආයෝජනයක් කරයි. පොළොන්නරුවේ ගල්විහාර භූමියේ රිලා රංචුවක් පිළිබඳව මහාචාර්ය ඩිටස් කළ පර්යේෂණය (වසර 26 ක්) ආශ්‍රයෙන් BBC ය නිෂ්පාදනය කළ “Temple Troops“ රූගතකිරීමට දවස් 292ක් ගත කිරීමෙන් ඒ බව සනාථ වෙයි.

මෙයින් මා අදහස් කරන්නේ, Soap Opera වලට වඩා නොදෙවෙනිව, වාර්තා වැඩසටහන් වලට කැමැත්තක් ලොවපුරා ඇති බවය. අප වෙසෙන අවුල් වියවුල් වලින් පිරුණ, භයානක, ප්‍රකෝපකාරී ලෝකයේ, තත්‍ය තොරතුරු හෙළිකිරීමට වාර්තා වැඩසටහන් නිෂ්පාදකයින්ට / අධ්‍යක්ෂකවරුන්ට උවමනාව, උනන්දුව තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ CBS Reports වැඩසටහනේ සම්පාදක සඳහන් කරන්නේ වාර්තා වැඩසටහන් කිරීම අභියෝගාත්මක බවයි.

“ Every day there is more for the people of the world to know, and every day, what we do not know can kill us. We of CBS Reports believe that our job is to try to cast a little light, create a little more understanding of what people bother, what helps people, what can kill and what can save…..”

ෆ්‍රෙඩ් ෆ්‍රෙන්ඩ්ලි ගේ එම ප්‍රකාශය උපුටා ගැනීම, (Factual Television / Norman Swallow) වාර්තා වැඩ සටහන් නිෂ්පාදකයාගේ වගකීම හා වගවීම යම් පමණකට මේ කියමන සනාථ කරයි.

එහි සිංහල අදහස වන්නේ

“ලෝක ප්‍රජාවට බොහෝ දේ ගැනීමට තිබේ. අප නොදන්නේ අප මරාදැමිය හැකිය යන්න ය. CBS Reports හි නියුතු අපගේ කාරිය, සරලව තේරුම් ගතහැකි ආකාරයෙන්, මිනිස් වර්ගයා හිරිහැරයට ලක් වන, ඔවුන්ට උදව් විය හැකි, මරා දැමිය හැකි, ආරක්ෂා කළ හැකි දේ ගැන දැනුම්වත් කිරීම ය.”

Living Planet, Planet Earth වැනි වාර්තා වැඩසටහන් ඉදිරිපත් කිරීමෙන් ඩේවිඩ් ඇටන්බරෝ විසින් දක්වන හපන්කම ටෙලිනාට්‍ය නිෂ්පාදනයට වඩා හාත්පසින්ම වෙනස් අසීරු කටයුත්තක් බවට උදාහරණයකි.

ටෙලිවිෂනය ජනප්‍රියත්වය පත්වෙමින් තිබුණ 1950 දශකයේ අග භාගයේ, Edward R Murrow සහ Fred W. Friendy, ගුවන් විදුලියේ තිබුණ “Hear It Now” වෙනුවට “See It Now” ටෙලිවිෂනයට ගෙනාවේය. BBC යේ Special Inquiry වැඩසටහන මගින් එංගලන්තයේ වර්ණ භේදය, දුම් දූෂණය (Smoke Pollution) අපවිත්‍ර ආහාර, බ්‍රිතාන්‍යයේ තරුණයෝ වැනි සමාජ ප්‍රශ්න පිළිබඳව තේමාවන් ඉදිරිපත් කිරීමේදී, තර්ජන ගර්ජන වලට, අද මෙන්ම එදා ද වැඩසටහන් ඉදිරිපත් කරන්නන් ගොදුරුවී තිබේ. සමහරු ටෙලිවිෂන කැමරාවට මුහුණදීමට බියවී ඇත්තේ තර්ජනය නිසාය. බ්‍රිතාන්‍යයේ දුම්රිය සේවය පිලිබඳ නිෂ්පාදිත වාර්තා වැඩසටහන නවතා දැමීමට තරම් තර්ජන ප්‍රබල වී තිබේ. ටෙලිවිෂන කැමරා, දුම්රිය අංගනයට රැගෙන යාම තහනම් විය. එපමණක් නොව, එවැනි වැඩසටහන් සඳහා සේවා දායකත්වය දැක්වීමට ද තහංචි පනවා තිබේ.  

See It Now සම්ප්‍රවේෂක එඩ්වඩ්  මූරෝ වැඩසටහනට ඉදිරිපත්වීම මගහැරීමට නිවාඩු ඉල්ලා ඇති බවද ප්‍රකට කරුණකි. තත්වය එසේ තිබියදී වුවද “ඇමෙරිකා එක්සත් ජනපදයට පැමිණි සංක්‍රමණික කම්කරුවන්ගේ ඛේදවාචකය” (Harvest of Shame – 1960), “නීති විරෝධී සූදු පොළක්” (Biography of a Bookie – 1961), නැගෙනහිර ජර්මනියේ “The Land Beyond the Wall”, ඇමෙරිකාවේ දක්ෂිනාංශික දේශපාලන කණ්ඩායම් පිළිබඳව කළ “Thunder on the Right” වැනි වූ වැඩසටහන් නොකර අත් හැරියේ නැත. ප්‍රචණ්ඩත්වය හා විවාදාත්මක තොරතුරු වාර්තාකරණය මගහැර නොගියහ.

මේ එදා ටෙලිවිෂනයේ වාර්තා වැඩසටහන් නිෂ්පාදකවරු, අධ්‍යක්ෂකවරු මුහුණ දුන් අත්දැකීම් බිඳක්. එක් එක් අවස්ථා පිළිබඳව ඉදිරියට කතා කරමු. කාලීන වාර්තා වැඩසටහන්, චරිතාපදාන වාර්තා වැඩසටහන්, සමාජයේ හා යුද්ධයේ මුග්ධ බව, ප්‍රචණ්ඩත්වය, දුගී බව, දුප්පත්කම හා මානව ධෛර්යය විදහා දැක්වීම සඳහා ලොව නන් දෙසට ජීවිත පරදුවට තබා සංචාරය කළ වාර්තා වැඩ සටහන් නිෂ්පාදකවරු, අධ්‍යක්ෂකවරු, කැමරා ශිල්පීන්, සම්ප්‍රේෂකවරුන් මෙන්ම තමන් නොදුටු තොරතුරු ඇස් පනාපිට දුටු අයුරින් ගෙන හැර පෑ පීටර් ආනට් වැන්නන්ද නොසිටියේ නොවේ. එහෙත් ටෙලිවිෂනය නම් දෘශ්‍ය මාධ්‍යයට හොර කිරීමට, බොරු කිරීමට එතරම්ම පහසු නොවේ. මෙය කලාවකි. කලාව රැකෙන්නේ ඉදිරිපත් කෙරෙන ආකාරය තුළය. මේ ඒවා සොයා යෑමට කාලයයි.

කාලෝ අයන්තේ!

දෙවන කොටස

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත