වාරි ක්‍රමයේ එල්ලංගා පද්ධතිය

පහුගිය දවස්වල මොනරාගලට එක දිගටම වැස්සා. ඒ වුණත් මොනරාගල මිනිස්සු ඒ වැස්ස සතුටින් දරාගත්තා  කියලයි මට හිතුණේ. මේ පාර වැස්ස ආවෙ ටිකක් පහු වෙලා. ඒ නිසා ගොවිතැන් පාලු වෙයි කියලා බයක් මෙහේ අයට තිබුණා

මොනරාගලට වැටෙන වතුර ගබඩා කරන්න විශාල ජලාශ තියෙනවා.

ගල් ඔය සේනානායක සමුද්‍රය, උඩවලව ජලාශය, මුතුකණ්ඩිය ජලාශය සහ වෙහෙරගල  ජලාශය මේ ජලාශයි. මේවා ඔක්කොම නිදහසෙන් පස්සේ හදපුවා.

කුඩා ගංගාවල් කීපයක්ම මොනරාගල දිස්ත්‍රික්කය හරහා ගලනවා. ගල් ඔය, කුඹුක්කන් ඔය, හැඩ ඔය, මැණික් ගඟ, කුඩා ඔය සහ කිරිඳි ඔය. ඒ වුණත් මොනරාගල ජල හිඟයකින්  පීඩා විඳිනවා.

මේ ජලාශ වලින් ජලය වැඩිපුර සැපයෙන්නේ අල්ලපු දිස්ත්‍රික්ක  වන අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක  වලටයි.

ඉස්සර මොනරාගල, වෙල්ලස්ස ලෙස හැඳින්වූ අතර ඉතා සශ්‍රීක පළාතක් ලෙස  සැලකුණා.

ඒ වුවත් අද ඒ ශ්‍රී විභුතිය දකින්න ලැබෙන්නේ නෑ. වී නිෂ්පාදනය  අතින් එය සිටින්නේ අම්පාරට වඩා පිටුපසින්.

මොනරාගල  නිපදවෙන වී වලින් ඉංදියාවට පවා සහල් සැපයිය හැකි බව හිටපු ආණ්ඩුකාරවරයකු වූ බ්‍රවුංරිග සටහන් කර තිබෙනවා.

ඒ කාලයේ මොනරාගල අදට වඩා සශ්‍රීක වූයේ කොහොමද?

සුද්දන් විසින් ඌවේ නිදහස් අරගලය මර්ධනය කිරීමට මෙහි වැව් අමුණු කඩා බිඳ දැමූ බව කියවෙනවා. ඒ වුණත් එහෙම විනාශ කරපු  ලොකු  වැව් ගැන අහන්න ලැබෙන්නේ  නෑ.

කන්තලේ වැව, මින්නේරියේ වැව වගේ විශාල වැව් මෙහි තිබූ බවක් අහලා නෑ. ගම් වල පොඩි වැව් තිබූ බවක් නම් දැනගන්න ලැබුණා.

එහෙම නම්  මෙහි තිබූ වෙල් ලක්ෂයකට සහ අනිකුත්  වගාවන්ට ජලය සැපයූ වාරි මාර්ග පද්ධතිය කුමක්ද?

මේ ගැන මට  යම් හෝඩුවාවක් දැන ගන්නට ලැබුණේ ආචාර්ය සූරිය ගුණසේකර මහතා වරින් වර දැක්වූ අදහස්  වලිනුයි.

සූරිය ගුණසේකර මහතා  රාවණා මතවාදයට පක්ෂ කඳවුර නියෝජනය කරන නිසා බහුතරය වන එම මතයට විරුද්ධ අය ඔහු කියන හැම දෙයම නිශේධනය  කරනවා.

කෙසේ වෙතත් රාවණා  කාලයේ කුඹුක්කන් ඔයේ ගල් අමුණක් තිබූ බවත් එයින්  අක්කර දහස්  ගණනකට ජලය සැපයූ බවත් සුද්දන් විසින් එය කඩා බිඳ දැමූ බවත් ඔහු පැවසුවා.

බොහෝ දෙනා එවැනි  තැනක් ඇතැයි විශ්වාස නොකළ නමුත් ඒ ඇතිවූ සංවාදයකදී හැඩ ඔය ආශ්‍රිතව ද එවැනි අමුණක් තිබූ බව දැනගන්නට ලැබුණා. කෙසේ වෙතත් එම සංවාදයේ දී සඳහන් වූ කුඹුක්කන් ඔය  සම්බන්ධ ගල් අමුණ සොයා යාමට මා පෙළැඹුණා. එම සංවාදයට එක් වූ සුරිය ගුණසේකර  මහතා කීවේ කුඹුක්කන් ඔය මුහුදට වැටෙන තැන සිට කිලෝ මීටර 40 ක් රට ඇතුළතින් ගල් අමුණ පිහිටා  තිබුණු බවයි.

මේ ගවේෂණය  සඳහා යන කණ්ඩායමට මග පෙන්වන්නා වශයෙන් සිටියේ ප්‍රදේශයේ භූගෝලය ගැන හොඳ වැටහීමක් තිබූ  ඔක්කම්පිටියේ  සමන්තයි. 

ඔහු කීවේ මාලිගාවිලට කිට්ටුව ඇති මිනිපුර ගම්මානයේද  කුඹුක්කන් ඔයට සම්බන්ධ අමුණක් තිබූ නිසා පළමුව එය බලන්නට යමු කියායි. අපට එහිදී එම ප්‍රදේශයේ ගොවි සංවිධානයක නියෝජිතයන්ද හමුවුණා .

කුඹුක්කන් ඔය ඉවුරේ සිට අපට ඔවුන් පැවසුවේ එහි ගල් අමුණක් කලින් පැවති බවට කිසිම සැකයක් නොමැති බවයි.

අමුණෙන් හරස් කරන ලද ජලය ඇල මාර්ග ඔස්සේ ගමේ වැවට  ගෙනගොස් එතනින් එල්ලංගා පද්ධතියක්  ඔස්සේ අනිත් කුඩා වැව්ද පෝෂණය කරමින්  පසුව එම  ජලය නැවත ප්‍රධාන ඔයට  එක්වන ආකාරය  ඔවුන් අපට පැහැදිලි කළා.

එසේම මෙවැනි තවත් තැන් තිබෙන බවත්  කුඹුක්කන් ඔය ආශ්‍රිතව මෙවැනි අමුණු 10ක් පමණ පවතින්නට ඇති බවත් ඔවුන් අපට කිව්වා.

සූරිය ගුණසේකර  මහතා කී ගල් අමුණ මේ පද්ධතියේ අවසාන අමුණ  විය  හැකියි.

විසිරී තිබූ ගල් පරීක්ෂා කළ විට අපට දැක ගත හැකි වූයේ ඒ හැම ගලකම වාගේ කිසියම් හැඩයකට තිබෙන කැපුමක් වැනි දෙයක් තිබෙන බවයි. මේවා මේ ගල් එකිනෙකට සම්බන්ධ  කළ හැකි විවර එනම් අසවු විය හැකිද යන පැනය අපේ කණ්ඩායමේ අය තුළින්  පැන නැගුණා. නැතහොත් interlocking system එකකට මේ ගල් සකස්කර අමුණක් නිර්මාණය වූ වාදැයි යන පැනය අපට ඇති වුණා. එසේ  නම් අමුණ කඩා දැමීමේදී මේ සන්ධිය විසන්ධි කිරීම පහසුවෙන් කළ හැකිව තිබුණා..

ඇතීතයේ වෙල්ලස්ස අදට වඩා සෞභාග්‍යමත් වූයේ මෙම ජල සැපයුම් පද්ධතිය මගින් එහි  සාරවත් පොළොවට අවශ්‍ය ජලය සැපයූ නිසායි.

එල්ලංගා පද්ධතියේ ආරම්භය රජරට නොව වෙල්ලස්ස විය යුතුයි.

මහාචාර්ය  රාජ් සෝමදේව මෑතකදී විස්තර කළ  හල්දුම්මුල්ල , බලංගොඩ කඳු ආශ්‍රිත  යකඩ සංස්කෘතියක් බිහි කළ ජනතාවගෙන් කොටසක් වෙල්ලස්ස හරහා රජරටට සංක්‍රමණය  වන්නට ඇති.

අමුණෙන් රඳවන ජලය ඇල මාර්ග ඔස්සේ ගමේ වැවට ගෙනවුත් එයින් ගම පෝෂණය කර පසුව එල්ලංගාව මගින් අනිත් වැව් වලටත් යවා පසුව නැවතත් ප්‍රධාන ඔයට ජලය එකතු වන මේ ක්‍රමය අතිශය කාර්යක්ෂම හා ඵලදායී නොවේද?

අනිත් ඔයවල් ආශ්‍රිතවද මෙවැනි පද්ධති තිබෙන්නට ඇත. එමනිසා ජලය රඳවා  තබා ගැනීමට රජරට මෙන් මහා වැව් අවශ්‍ය නොවන්නට ඇත.

අමුණු මත පදනම් වූ මේ ජල සංස්කෘතිය  ආරම්හ වූයේ රාවණා රජතුමාගේ කාලයේද එසේ නැතහොත් ඊට පසු කාලයකදීද යන්න විසඳිය යුත්තේ නිවැරැදි පුරාවිද්‍යා අධ්‍යයනයකිනුයි.

මෙය සම්මත පුරාවිද්‍යා ක්‍රමවලට එහා ගිය අධ්‍යයනයක් වනු ඇති.

ඒ සඳහා පුරා විද්‍යාඥයන් මෙන්ම ඉංජිනේරුවන් සහ වාස්තු විද්‍යඥයන් සහභාගි  විය යුතුයි. වඩාත් වැදගත්වන්නේ මේ විද්වතුන් තමන්ගේ මුතුන් මිත්තන්ගේ උරුමය පිළිබඳ අභිමානයෙන් සිටින වෙල්ලස්සේ අහිංසක ගොවියන් සමග මේ සඳහා සහයෝගයෙන්  කටයුතු කිරීමයි.

මේ කාර්යය මහාචාර්ය සේනක බණ්ඩාරනායකයන් අපිට හඳුන්වා දීමට උත්සාහ කළ “ජනාවාස පුරාවිද්‍යාවේ” මූලධර්ම යොදා ගැනෙන අභ්‍යාසයක්ද, එසේ නැතහොත්  පුරාවිද්‍යාවේ නිම්වළලු පුළල්  කෙරෙන “පුරා ඉංජිනේරු විද්‍යාව”ක ආරම්භයක් දැයි කීමට මා දන්නේ නෑ. කෙසේ වෙතත් එය සුදු අධිරාජ්‍යවාදීන් විසින් විනාශ කළ සෞභාග්‍යමත් වෙල්ලස්ස ප්‍රති නිර්මාණය කිරීමේ ආරම්භක පියවර වනු ඇති.

රෝහණ දයාරත්න
ශ්‍රී ලංකා මානව විද්‍යා සංගමයේ සභාපති

(විශේෂඥ වෛද්‍යවරයෙකු වන ලේඛකයා, තමන් මේ විෂයය අරභයා ප්‍රාමාණිකයෙකු නොවන බවත් මේ ලිපියේ සඳහන් කොට ඇත්තේ තමන්ගේ නිරීක්ෂණ බවත් සඳහන් කරයි.)

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත