සුරංගනීට මාළු ගෙනාවා

සතුන් අතර මිනිස්සු පුදුමාකාර සත්ත්ව ජාතියකි. වෙන මොනවා නැති වුණත් මිනිස්සු ඉපදුණාට පසු තමන්ට නමක්, සමහර විට වාසගම්, පටබැඳි නම් දමාගෙන ගහකොළ, කඳු හෙල්, ඇල දොළ, ගංගාවලට නම් දමති. කළු ගඟ කළු නැත. සුදු ගඟ සුදු නැත. නිල්වලා ගඟ නිල් නැත. ඒ ගංගා ගැනයි.

මිනිස්සු ගඟේ, මුහුදේ, ඇලේ, දොළේ, වෙලේ වසන මාළුන් මරාගෙන කනවාට අමතරව උන්ට නම්ද දමති. 

කොරලියා, කාවයියා, හුංගා, ලූලා, වැලි ගොව්වා යනු වැවේ, ගඟේ, ඇලේ, දොළේ පිහිනන සමහර මාළුන්ය. දැන් මේ මාළු බොහොමයක් වඳවී පිටරටින් ආපු මාළු වැව්වලට අරක්ගෙන සිටිති. තිලාපියා ඒ වගේ පිටරටින් ආපු හාදයෙකි. මාතර අපට මුහුදු මාළු බොහෝම කිට්ටු නෑයෝය. ඇඹුල් තියලට හොඳ මාළු කලවැන්නා, අලගොඩුවා, බලයා, ඇටවල්ලා, කෙලවල්ලා වගේ එක පරම්පරාවකට අයිතිය. 

අපේ කෙලවල්ලා ජපානයට පිහිනුවොත් පත්තරේ දැන්වීමක් දමා ටූනා නමින් නම වෙනස් කරගත යුතුය. මුහුදේ කූනිස්සාගේ සිට තල්මසා දක්වා මාළුවෝ සිටිති. තෝරු මෝරු අතර යුද්ධයක් ඇති වූ විට යුද්ධය සමථයකට පත්කරන්න ගිහින් නෝර්වේ රට වගේ සවුත්තු වුණේ හාල්මැස්සාය. 

ඕස්ට්‍රේලියාව වගේ රටවල මුහුදට කිට්ටු ජනයා බියවද්දන මාළුවෙක් සිටියි. ඒ අපේ මෝරාය. අපට මෝරා සුද්දන්ට ෂාක්ය. අපේ මෝරු කිරි මෝරු, දැති මෝරු ආදී නානාප්‍රකාරය. මෝරුන් අතර දැනගත්තොත් ලැජ්ජා හිතෙන නමක් තියෙන මෝරෙක්ද සිටියි. ඒ හූජ්ජ මෝරාය. 

දේශපාලකයන් වගේ ඔලුවේ අසූචි තියාගෙන අනිත් මාළුන්ට අවවාද දෙන්නෙත්, අර පක්‍ෂයෙන් මේ පක්‍ෂයට පනින්නේත් ඉස්සාය. හරහට යමින් අපට කෙලින් යන්න කියන උපදේශකයන් වගේ ජාතියක් මුහුදේ සිටිති. ඒ කකුලුවාය. මුහුදේ ජීවත් වී ගඟ දිගේ බිත්තර දමන්නට උඩහට යන සැමන් මාළුවෝ ආපහු ගෙදර එන්නේ සැමන් ටින්වලය. බස් එකේ සෙනඟ තද වුණාම මතක් වෙන්නේ සාඩින් මාළුවාය. සාඩින් වගේ අහුරන නිසාය. 

මාළු අතර පියාඹන මාළුවෝද සිටිති. පියාමැස්සා ඒ වගේ මාළුවෙකි. මාතර පැත්තේ අපි කොරඹුරු මාළු කන්නේ ප්‍රවේසමෙන්ය. උණ මල් හැදෙන කාලයට බඩත් එක්ක කොරඹුරු මාළු කෑවොත් වැලිගම් යන්නට වෙන බව මාතර මිනිස්සු දනිති. 

‘මාළු මාළු මාළු – සුරංගනීට මාළු ගෙනාවා’ කියා බයිලා කිව්වත් අපේ මාළු කන්න බලාගෙන ඉන්න සුරංගනීලාට කවදාවත් මාළු නම් ලැබෙන්නේ නැත.

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත