අරහත් මිහිඳු මහ තෙරණුවන් වහන්සේ විසින් ක්‍රි. පූර්ව 247 වැන්නේ උඳුවප් මස පොසොන් පුර පසළොස්වක දා ලංකාද්වීපයේ එවකට රජකම් කළ දේවානම්පිය තිස්ස රජු ඇතුලු පිරිසට බුදු දහමේ අග්‍රස්ථානය දරණ බුදුන්, දහම් සහ සඟුන් මෙසේ යැයි හඳුන්වා දී විස්තර කළ ආකාරය පසුගිය ලිපියෙන් අනාවරණය කෙරින. මෙවර එම නිර්මල බුදුු දහම පිළිබඳ සරල විග්‍රහයක් කොටස් වශයෙන් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරමි. ඒ සඳහා මුලින්ම බුදු කෙනෙකුන් ලොව පහළ වූවාදැයි සැකහැර දැනගත යුතුය. ඉන්පසු එතුමාණන් වහන්සේ දේශනා කළ ධර්මය කෙමෙන් හදාරමු.
බුදු දහම ආගමක් (religion) නොවන බව මුලින් ම වටහාගත යුතුය. ‘ඔක්ස්ෆර්ඩ් ඇඩ්වාන්ස් ලර්නර්ස් ශබ්දකෝෂය’ ආගම ගැන මෙසේ නිර්වචනය කරයි.
“religion means belief in the existence of a god or gods, especially the belief that they created the universe and gave human beings a spiritual nature which continues to exist after the death of the body”.
එනම් මේ විශ්වය මැවූ දෙවිකෙනෙකුන් ඇතැයි යන විශ්වාසයයි. එම දෙවි හෝ දෙවිවරුන්ට විශ්වයේ සියලුම දෑ කෙරෙහි බලපෑම් කළ හැකි ඍද්ධිමය හා ආශ්චර්යවත් බලයක් ඇතැයි ‘ආගම්’ පිළිගනී. එම අර්ථයෙන් බුදු දහම ආගමක් නොවේ. එය බුදුන් වහන්සේ වදාළ ධර්මයයි. එතුමාණන්ගේ ඉගැන්වීමයි. බුදුන් වහන්සේ මෙලොව බිහි වූ මහා ප්‍රඥාවෙන් හෙබි සාමාන්‍ය මනුෂ්‍යයෙකි. එතුමාණන්ගේ ඓතිහාසිකත්වය H. Oldenburg, Dr. Fleet, Dr. Vincent Smith, Dr. Wickremasinghe jeks වැනි විදග්ධ පුරාවිද්‍යා පඬිවරු විසින් තහවුරු කරන ලදහ. ඒ අනුව සිදුහත් කුමරු ක්‍රි. පූර්ව 560 දී පමණ ඉපිද 525 දී බුද්ධත්වයට පත්ව ක්‍රි. පූර්ව 480 හෝ 483 පිරිණිවන් පෑ බව තහවුරු වේ. එතුමාණෝ කිසිම දෙවි කෙනෙකුගේ ආශිර්වාදයෙන් මෙලොවට බිහි වූ කෙනෙකු නොවේ. කිසිම දෙවියෙකුට වගකියන්නේවත්, කිසිම දෙවියෙකු වෙනුවෙන් පෙනී සිටින්නෙක් ද නොවේ. මෙලොවට මනුෂ්‍ය වේශයෙන් බිහි වූ දෙවි කෙනෙකු ද නොවේ. සැබෑ මනුෂ්‍යයෙක් පමණි. අවුරුදු අසූවක් ආයු වළඳා සාමාන්‍ය මනුෂ්‍යයෙකු සේ මෙලොව හැර ගියහ. සාමාන්‍ය මනුෂ්‍යයෙකු ගේ මෙන් මෘත ශරීරය දරසෑයකදී දවා අළු කළහ.
දඹදිව අශෝක අධිරාජයා (ක්‍රි. පූර්ව 273-232) තමන් රජ වී විසි වසක් ගතවුන අවස්ථාවේ සිදුහත් කුමරු උපන් ස්ථානයට ගියේය. එය නේපාලයේ ලුම්බිනියයි (වර්තමානයේ නම් රුමින්දේ ප්‍රදේශයයි). එහි සිහිවටන ශිලාටැඹක් පිහිට වූ එතුමා බුදුන් මෙහි උපන් වග සඳහන් කළේය. ක්‍රි. පූර්ව තුන්වන සියවසේ භාවිත වූ බ්‍රහ්මී අක්ෂරයෙන් එහි මෙසේ සඳහන්කර ඇත.
“දෙවන පියෙන පිය දසින ලජින විසති වසභි සිතෙන
අතන අගාඩ මහියිතෙ හිද බුද ජාතෙ සාක්‍යමුණිති
සිලා විගඩහි ච කලා පිතෙ සිලා ථබෙ ච උසපපිතෙ
හිද භගවම් ජාතෙති ලුම්බිණී ගාමෙ උබලි කතෙ අථභාගියෙ ච”
මෙම ස්ථම්භය 1895 දි ජර්මන් ජාතික ඇලොයිස් ඇන්ටන්ෆුහර් නැමති පුරාවිද්‍යාඥයා විසින් සොයාගන්නා ලදී. ශිලා ස්තම්භයේ කොටා ඇත්තේ, “දෙවනපිය පියදසි රජුගේ අභිෂේකයෙන් වසර විස්සක් ඉක්මුන කල්හි මෙහි සාක්‍යමුණි බුදුරජුන් උපන්තැන යයි දැන තමාම පැමිණ ගෞරව කළේය. බුදුන් වහන්සේ මෙහි දී උපන්නේ යැයි අසා දැඩි ඇල්මකින් යුතුව ශිලා ස්තම්භයක් පිහිටු විය. ලුම්බිනී ග්‍රාමය බද්දෙන් නිදහස් කොට අර්ථ ලාභය ඇති කළේය” යනුවෙනි.
ක්‍රි. වර්ෂ 1898 දී පුරාවිද්‍යාඥ සර් ඇලෙක්සැන්ඩර් කනිංග්හැම් මහතා ඉන්දියාවේ පිජ්රාවා (පිප්‍රාවා) නගරයේ (පැරණි කපිලවස්ථු පුරය) කළ කැනීම් වලින් බුදුන් වහන්සේගේ ඓතිහාසිකත්වය තහවුරු කරන තව එක් සාධකයක් ලැබුනි. එනම් එහි තිබී ඉපැරණි ගල් කරඬුවක් හමුවීමය. කරඬුව කිසිම හානියකට පත්ව නොතිබුනි. ගල් කරඬුවේ ධාතූන් තැන්පත් ව තිබුනි. කරඬුවේ මුවවිට වටේට බ්‍රාහ්මී අක්ෂරයෙන් මෙසේ අභිලේඛනය කර තිබුනි.
‘ඉයං සලිල නිධනෙ බුදස භගවතා සකියානං සුකිති භතානං සහගිනිකානං සසුන දලන’ ‘භාග්‍යවත් බුදුන් ගේ මෙම ශාරී්රික ධාතු නිධානය භක්තියෙන් යුතුව ශාක්‍යයන් විසින් කරවන ලදී’. එහි අර්ථයයි. බුදුන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු එතුමාණන්ගේ ඤාතීන්වන ශාක්‍යයන් විසින් මෙම සර්වඥ ධාතූන් ගල්කරඬුවක බහා තැන්පත් කළ බව මෙයින් නිගමනය කළ හැකිය. කාබන් කාල නීර්ණ පරීක්ෂණයේ දී බුද්ධ පරිනිර්වාණයට ආසන්න කාලයට එනම් ක්‍රි. පූර්ව 5 වෙනි සියවසට අයත් බව තහවුරු වුනි. අභිලේඛනයකර තිබූ බ්‍රාහ්මී අක්ෂරද එම කාලයටම අයත් බව තහවුරු වී ඇත. වර්තමානයේ දී මෙම කපිලවස්තු ධාතූන් ඉතා ආරක්ෂාකාරීව භාරතයේ ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරේ. මෙම කරුණු සඳහන් කළේ බුදුන් වහන්සේ ජීවමානව ඉතිහාසයේ දී වැඩසිටි බව තහවුරු කිරීම සඳහාය. එසේම එතුමාණෝ ලංකාද්වීපයේ ඉපිද එහිම බුදු වී එහිදීම පිරිනිවන් පෑවා යැයි පවතින මිත්‍යා දුර්මතය දුරුකිරීම සඳහා ද වෙයි.
ශ්‍රාවස්තියේ ජේතවනාරාම පුරාවිද්‍යාත්මක කැනීම් වලින් හෙළි වන්නේ ද බුදුන් වහන්සේ කායික වශයෙන් සාමාන්‍ය පුරුෂයෙකු බවය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ, අසූවක් අනුව්‍යඤ්ජන සහ එකසිය අටක් මඟුල් ලකුණු සමග වෙනත් අද්භූත හාස්කම් හා දිව්‍යමය ආශ්චර්යජනක බලයන් එතුමාණන් වෙත පැවරූයේ පසුකාලීන මහයානිකයන් විසිනි. මෙය ක්‍රි. වර්ෂ 1වන සියවසේ සංස්කෘත භාෂාවෙන් ලියවුන මහායාන ග්‍රන්ථයක් වූ ලලිත විිස්තරය ඇතුලු මහාවස්තුව ආදී සංස්කෘත කෘතිවල සඳහන් වන්නකි. බුදු දහමට වඩා බොහෝ පැරණි වෛදික ආගමේ ඍග් වේදයේ 10වන මණ්ඩලයේ පුරුෂ සුක්තයේ ද මෙම මහා පුරුෂ සංකල්පය දක්වා ඇති බව මෙහි දී මතකයට නැගේ. එහි ආභාෂය මහායානිකයෝ බුදුන් වහන්සේ වෙත ද පිරිනැමූ බව මෙයින් අනුමාන කළ හැකිය.
බුදු දහමේ නිර්මාතෘ තථාගත බුදුන් වහන්සේ තමන් මනුෂ්‍යත්වය ඉක්මවූවෙකු නොව සාමාන්‍ය ගුරුවරයෙකු පමණක් බව ප්‍රකාශ කළහ. එසේ තමන් දිව්‍යමය බලපෑම් වැනි මිත්‍යා වලින් තොර සාමාන්‍ය මනුෂ්‍යයෙකු බව පැවසූ එකම ශාස්තෘවරයා බුදුන් වහන්සේ පමණි. එතුමාණෝ අවධාරණයෙන් වදාළේ මානව හැසිරීම සහ ඔවුන්ගේ බුද්ධිිමත් භාවය පිළිබඳවය. එම බුදු දහම මෙසේ කැටිකර දැක්විය හැකිය.
‘සබ්බ පාපස්ස අකරණං’
සියලු අකුසල කර්මයන්ගෙන් මිදෙන්න‘කුසලස්ස උපසම්පදා’
කුසල කර්මයන් පමණක් සිදුකරන්න සචිත්ත පරියො දපනං සිත පිරිසිදුව දමනය කර තබාගන්න‘ඒතං බුද්ධානුසාසනං’
මෙය බුදුන්ගේ අනුශාසනයයි.
පළමු පේලි දෙකෙන් සඳහන් කරන්නේ අකුසල කර්ම නොකිරීම සහ කුසල කර්මයන් පමණක් කිරීම බුදුන් වහන්සේගේ අනුශාසනය බවයි. මෙය ලොව පවත්නා සියලුම ආගම් සහ දර්ශණයන්ගේ මූලික අරමුණ බව දනිමු. බුදු දහමද එයින් එකක් පමණි. එහෙත් පව් නොකිරීමටත් පින් කිරීමටත් ජනයා පෙළඹවීම ආගමෙන් ආගමට වෙනස් විය. දැඩි නීති රීති පැනවීම, දඬුවම් කිරීම, අපාය හෝ දිව්‍යලෝක ගැන විස්තර කිරීම ඉන් කිහිපයකි. එහෙත් ඉහත ගාථවේ සඳහන් පරිදි පව් නොකිරීම හා පින් කිරීමට පෙළඹවීම සඳහා බුදුන් වහන්සේ අනුදැන වදාළේ වෙනස්ම ක්‍රමයකි. එනම් තුන්වන පේළියේ දැක්වෙන ‘සචිත්ත පරියො දපනං’ නම් වූ සිත පිරිසිදුව දමනය කර තබාගන්න නම් වූ ක්‍රියා දාමයයි. ඒ වනවිටත් සිතෙහි ප්‍රබලත්වය කිසිම ආගම් දර්ශණයකින් විස්තර කර නොතිබුනි. සෑමදෙයක්ම වන්නේ දෙවියන්ගේ කැමැත්තට හෝ නොපෙනෙන බලවේග නිසා බව ප්‍රචලිතව තිබුනි. පිළිගෙන තිබුනි. එහෙත් පළමුවරට සිතෙහි ප්‍රබලත්වය අපගේ බොහෝ ක්‍රියාකාරකම් වලට බලපාන බව හෙළි කළේ බුදුන් වහන්සේ විසිනි. අපගේ ජීවිතය හැඩගැසී ඇත්තේ අපගේ මනසට එනම් අප සිතන ආකාරයට අනුකූලවය. අප පවතින්නේ අපේ චින්තන ධාරාව අනුවය. බුදුන් වහන්සේ ප්‍රථම වතාවට හෙළිකළ මෙම ධර්මතාවය ගැන වෙනම සාකච්ඡා කළ යුතුවෙයි. මෙහි දී අප උනන්දුවන්නේ පව් නොකිරීමටත් පින් කිරීමටත් සිත දියුණු කර දමනය කළයුතු බවට බුදුන් වහන්සේ ඉදිරිපත් කළ නව්‍ය ආකල්පය ගැන විමසීමටය. මෙසේ සිත දමනය කිරීමට බුදුන් වහන්සේ මුලින්ම ඉදිරිපත් කළේ සීලය නැමති සංකල්පයයි.
සීලය ගැනද කෙටියෙන් වුවත් සඳහන් කළ යුතුයැයි සිතමි. නිවන් මගට අපව යොමු කරන ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සීලය වෙනුවෙන් වෙනම කොටසක් තිබේ. එනම් කතා බහේ දී යහපත් වචනයන්ම භාවිත කිරීම, යහපත් කටයුතු හා කර්මාන්තයන්හි පමණක්ම යෙදීම සහ යහපත් මාර්ගයකින් පමණක්ම ජීවිකාව පවත්වා ගැනීමයි. මාර්ග සත්‍යය පිළිබඳ ලිපියෙන් එය වෙනම විස්තර කිරීමට අදහස් කරමි. මේ එයට මඳක් වෙනස් සමාජය ඇසුරෙන් කරන විස්තරයකි. බොහෝ අය සිතන්නේ සීලය මිනිසාව අක්‍රිය කරවන බවකි. එය එසේ නොවේ සීලය මිනිසාව ජීවිතයේ දී සක්‍රිය කරවන බව කිව යුතුය. සීලය, හැසිරීම් රටාව සමග බැඳී පවතී. ලොව හැසිරීම් රටා දෙකක් ඇත. ඒ චර්යාවාදය (Behaviorism) සහ ආචාර ධර්මානුකූල (Ethical Conduct) හැසිරීම වශයෙනි. චර්යාවාදයේදී ඉතාම නිදහස් ලෙස සතෙකුගේ හැසිරීම මෙන් නිදහසේ හිතූ විදියට හැසිරිය හැකිය. එම හැසිරීම සලකා බලා යම් යම් නීති රෙගුලාසි ද පනවා ඇත. කෙසේ වුවත් මේ ක්‍රමයේදී හොඳ හෝ නරක යැයි සීමා පනවා නැත. බටහිර රටවල බොහෝ සේ භාවිත වන්නේ මේ ක්‍රමයයි. අප මෙය සලකන්නේ සංකර හැසිරීමක් ලෙස නොවේද? පෙරදිග බෞද්ධ රටවල හැසිරීම මේ සංකර ආකාරය පිළි නොගනී.
මිනිසෙකුට සතෙකු සේ නිදහසේ හැසිරීමට ඉඩදුනහොත් එය ගැටලුවක් වන්නේ කෙසේද? සතා හැසිරෙන්නේ ඌ සිතන ආකාරය අනුවමයි. එකක් සිතා තවෙකක් කිරීම සතෙකු තුළ නැත. නමුත් මනුෂ්‍යයා එසේ නොවේ. ඔහුට එකක් සිතා එකක් කරන බව අඟවා හාත්පසින් වෙනස් දෙයක් කළ හැක. එය ඉතා භයානක තත්වයකි. මෙහි වෙනසක් කළ හැකිදැයි බැලීමට බටහිර පඬිවරු පර්යේෂණ පැවැත්වූහ. රිකබි නම් සමාජ විද්‍යාඥයා ඔහුගේ Moral Philosophy නැමති කෘතියෙන් ද ස්ටීව්නන් නම් සමාජ මනෝ විද්‍යාඥයා සිය Science of Ethics පර්යේෂණ ග්‍රන්ථයෙන් ද මරේ නම් විද්‍යාඥයා ලියූ Introduction of Ethics නම් කෘතියෙන් ද මේ ගැන වෙන වෙනම පිරික්සා තිබුනි. ඔවුහු සැම දෙනාගේම නිගමනය වූයේ මිනිස් සිතිවිලි නීතියෙන් අවහිර කළ නොහැකි බවය. මිනිසා එකක් සිතා තවෙකක් කිරීම නීතියෙන් විසඳිය නොහැකි බවය. එසේ නම් කළ යුත්තේ කුමක්ද? එයට පිළිතුර බුදු දහමේ ගැබ්ව ඇත. ඒ සීලයයි. සිල්වත් මිනිසා නරක, පව්කාර දේ සිතන්නේ නැත. එනිසා ඔහු ක්‍රියා කරන්නේද එම සිල්වත් මනෝ වෘත්තීන් අනුවමය. නීතියට බැරි දේ බුදු දහමට පිළිවන් වන්නේ එසේ සීලය ඔස්සේය. එය ආචාර ධර්මානුකූල හැසිරීම් රටාවයි. බුදු දහමේ සාරය වන ‘සබ්බ පා පස්ස අකරණං’ ගාථාවේ තුන් වන පදය වූ ‘සචිත්ත පරියෝ දපනං’ ලෙස දැක්වූයේ එයයි. බුදු දහම හඳුන්වා දෙන කාලයේ කිසිම ආගම ධර්මයක් සිත ගැන තැකීමක් කළේ නැත. සියල්ල දෙවියන්ගේ කැමැත්ත අනුව සිදුවන්නේ යැයි සිතූහ. එහෙත් ප්‍රථම වතාවට සිතෙහි බලවත් කම ලොවට හඳුන්වා දුන්නේ බුදුන් වහන්සේ විසිනි.
ඊළඟ ආලෝචනා ලිපිවලින් ථෙරවාද බුදු දහම සාමාන්‍ය ජනයාට ද වැටහෙන පරිදි සරල ආකාරයෙන් ආකාරයෙන් විස්තර කිරීමට අපේක්ෂා කරමි.