ආන්ත්‍රික හා ගුද මාර්ගය ආශ්‍රිත ශල්‍යවේදය (Colorectal Surgery)

ආන්ත්‍රික හා ගුද මාර්ගය ආශ්‍රිත ශල්‍යවේදය යනු වෛද්‍ය විද්‍යාවේ අන්ත්‍ර (අතුණු බහන්) හා ගුද මාර්ගය ආශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ ප්‍රතිකාර වෙනුවෙන් වෙන්වූ විෂයය ක්ෂේත්‍රයයි.

මේ යටතේ කුඩා අන්ත්‍රය සහ මහා අන්ත්‍රය, උදර කුහරය, ගුද මාර්ගය හා ගුදය ආශ්‍රිත රෝගී තත්ත්වයන් සඳහා ශල්‍ය හා ශල්‍ය නොවන ක්‍රමවේදයන් මගින් ප්‍රතිකාර කරනු ලැබේ.

ආන්ත්‍රික හා ගුද මාර්ගය ආශ්‍රිත ශල්‍යවේදය ඉතා පුළුල් පරාසයක පැතිර පවතී. මෙයට සුවිශේෂී විශේෂඥතා සම්බන්ධ කර ගනිමින් පරීක්ෂණ සිදු කිරීම, සැත්කම් සිදු කිරීම තුළින් ප්‍රතිකාර සිදු කිරීම හා රෝග පාලනය කිරීම අයත් වේ. මේ යටතේ බඩවැල් අකර්මන්‍ය වීමේදී කරනු ලබන සැත්කම් (intestinal failure surgery), ගුදය සහ ගුද මාර්ගයට අදාළ රෝග හඳුනගැනීම හා ප්‍රතිකාර කිරීම හා සම්බන්ධ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රය (proctology), බඩවැල් හා සම්බන්ධ විවර නොකර සිදුකරන සැත්කම් (laparoscopy/keyhole), බඩවැල් වල ඇතිවන පිළිකා හා සම්බන්ධ සැත්කම්, ප්‍රවේණිගත වෛද්‍යමය තත්ත්වයන්, සංකීර්ණ වූ උදරය හා සම්බන්ධ ශල්‍යකර්ම සිදුකිරීම, අන්ත්‍ර ප‍්‍රදාහ රෝග (Inflammatory Bowel Disease -IBD) හා අන්ත්‍රීය ක්‍රියාකාරීත්වය පිළිබඳ රෝග තත්ත්වයන් (functional bowel conditions) පිළිබඳ සිදු කරන ප්‍රතිකාර අයත් වේ.

ඔබගේ පවුලේ වෛද්‍යවරයා; උදර වේදනාවන්, මළපහ කිරීමේ පිළිවෙළේ වෙනසක්, අන්ත්‍ර ආසාදන සහ ඉදිමුම, ගුද මාර්ගයෙන් ලේ ගැලීම, බඩවැල් හා ගුද මාර්ගයට සම්බන්ධ පිළිකා සහ පිළිකා නොවන තත්ත්වයන් පිළිබඳ කටයුතු කිරීම හා ප්‍රතිකාර කිරීමට ආන්ත්‍රික හා ගුද මාර්ගය ආශ්‍රිත විශේෂඥ ශල්‍යවෛද්‍යවරකුට ඔබව යොමු කරනු ඇත. එහිදී අර්ශස් (piles), පරිකර්තිකා රෝගය (fissure), අන්ත්‍ර භගන්දර රෝගය (Intestinal fistula), ගුද මාර්ගය ආශ්‍රිත සැරවගෙඩි, නාඩි ව්‍රණ (Pilonoidal abscesses) ආදිය සදහා ප්‍රතිකාර කිරීමත්, එන්ඩොස්කොපි පරීක්ෂණ (එන්ඩොස්කොපි හා කොලොනොස්කොපි) සිදු කිරීම හා ලැපරොස්කොපි හෝ විවර නොකර කුඩා සිදුරක් මගින් කරන (Keyhole) සැත්කම් මෙම විශේෂඥ ශල්‍යවෛද්‍යවරු රෝග තත්ත්වයේ ස්වාභාවය අනුව සිදු කරයි. තවද උද්දීප්‍ය ආන්ත්‍රික සහලක්ෂණ (Irritable Bowel Syndrome – IBS), උදරීය හෝ ශල්‍යකර්ම කැපුම් තුවාල ආශ්‍රිතව ඇතිවන හර්නියා, ගුද භ්‍රංගය (rectal prolapse), මළපහ පාලනය කිරීමේ ගැටලු – අසං‍යමය (Incontinence) වැනි රෝග සඳහා ප්‍රතිකාර කිරීමද මෙම වෛද්‍යවරු සිදු කරයි.

ආන්ත්‍රික අකර්මන්‍ය ශල්‍යවේදය (Intestinal failure surgery)

මෙම සැත්කමට භාජනය කිරීමට නිර්දේශ කරනු ලබන්නේ විවිධ හේතූන් මත බඩවැල් අකර්මන්‍ය වූ රෝගීන් වේ. බඩවැල් ප‍්‍රදාහ රෝගය (IBD) ඇති පුද්ගලයින්, විවිධාකාර සංකීර්ණ සැත්කම් සමග ඇති වූ සංකූලතාවයන් සහිත රෝගීන්, අන්ත්‍ර දිග ප්‍රමාණවත් නොමැති රෝගීන්, අන්ත්‍ර භගන්දර (Intestinal fistula) රෝගයෙන් පීඩා විඳින්නන්, අන්ත්‍ර ක්‍රියාකාරිත්වයේ අසාමාන්‍යයතාවන් නිසා සැත්කම් සිදු කිරීමට අවශ්‍ය වන රෝගීන් යන කාණ්ඩයන් සම්බන්ධයෙන් කටයුතු කිරිමට බඩවැල් අකර්මන්‍ය වීමේදී කරනු ලබන සැත්කම් පිළිබඳ විශේෂ පුහුණුවක් ඇති ආන්ත්‍රික හා ගුද මාර්ගය ආශ්‍රිත ශල්‍ය වෛද්‍යවරු (intestinal failure surgeons) වඩාත් යෝග්‍ය වේ.

ගුදය සහ ගුද මාර්ගයට අදාළ ශල්‍යවේදය (Proctology)

ඔබට අර්ශස් (piles), පරිකර්තිකා රෝගය (fissure), අන්ත්‍ර භගන්දර රෝගය (fistula), ගුද මාර්ගය ආශ්‍රිත සැරවගෙඩි, නාඩි ව්‍රණ (Pilonoidal abscesses) ආදිය හෝ වෙනත් ගුද මාර්ගයේ රෝගී තත්ත්වයක් හෝ ගුදය ආශ්‍රිත කලාපයේ කිසියම් අසාමාන්‍යතාවක් තිබේ නම් ගුදය සහ ගුද මාර්ගයට අදාළ ශල්‍යවේදය සම්බන්ධව විශේෂ පුහුණුවක් ලබා ඇති ආන්ත්‍රික හා ගුද මාර්ගය ආශ්‍රිත ශල්‍ය වෛද්‍යවරයකු වෙත යොමුවීම වැදගත්ය. මෙවැනි තත්ත්වයන් නිසි ලෙස කළමනාකරණය නොකළහොත් කලාතුරකින් වුවත් රෝගියාගේ ගුදයෙහි කපාටයේ (sphincter) පාලනය ගිලිහී යාම (incontinence) වැනි අහිතකර ප්‍රතිවිපාකයන්ට ගොදුරු විය හැක.

ආන්ත්‍රික හා ගුද මාර්ගය ආශ්‍රිත විවර නොකර සිදුකරන ශල්‍යවේදය (Laparoscopy colorectal surgery)

ශරීරය විවෘත කර සිදු කරන සැත්කම් හා සැසඳීමේදී “ආන්ත්‍රික හා ගුද මාර්ගය ආශ්‍රිත විවර නොකර සිදුකරන ශල්‍යවේදය” මඟින් වඩාත් යහපත් ප්‍රතිඵල අත්කර ගැනීමට හැකිබව සඳහන් කළ හැකිය. එනම්,

මෙම සැත්කම මඟින් රෝගියාට අත්වන ප්‍රතිලාභ ලෙස,

ශල්‍යකර්මය මගින් ඇතිවන කැළැල් ඉතා සුළු ඒවා වීම
ඇතිවන වේදනාව ඉතා අවම වීම
සුව වීමට ගතවන කාලය අඩු වීම
කෙටි කාලයක් තුළ දෛනික ජීවිතයේ කටයුතු සඳහා යොමු වීමට ඇති හැකියාව
හර්නියා (incisional hernias) වැනි සංකූලතාවන් ඇති වීම අවම වීම
ගුද මාර්ග පිළිකා සදහා ශල්‍යකර්ම සිදු කිරීමේදී වඩා හොඳ ශල්‍යමය ප්‍රවේශයක් ලබා දීම
උදරයේ විවරයක් මාර්ගයෙන් මළ අපද්‍රව්‍ය ශරීරයෙන් ඉවතට ගෙන රැස් කරන පැසක් (stoma or a bag) සමග අපහසුතාවයෙන් කටයුතු කිරීමට සිදුවීම වළකා රෝගියාගේ ක්‍රියාකාරීත්වය ඉක්මණින් සාමාන්‍ය අතට පත් කිරීම.

හැඳින්විය හැකිය.

ඇතැම් ආන්ත්‍රික හා ගුද මාර්ගය ආශ්‍රිත ශල්‍ය වෛද්‍යවරු විවර නොකර සිදුකරන ශල්‍යකර්ම සිදු කිරීමට විශේෂඥ පුහුණුව ලබා ඇති අතර ඔවුන් විසින්,

උණ්ඩුකපුච්ඡය විච්ඡේදනය කිරීමේ සැත්කම
පිත්තාශය හා සම්බන්ධ සැත්කම්
අන්ත්‍ර හා සම්බන්ධ පිළිකා ඉවත් කිරීමට සිදු කරන සැත්කම්
ගුද මාර්ගයේ පිළිකා සදහා වූ සැත්කම් සහ
අනෙකුත් ආන්ත්‍රික හා ගුද මාර්ගය ආශ්‍රිත ක්‍රියාකාරිත්වය පිළිබඳ ගැටලු වලට අදාළ සැත්කම්
සිදු කරනු ලබයි.

අන්ත්‍රවල හට ගන්නා පිළිකා (Bowel cancer)

කුඩා අන්ත්‍රය හා මහා අන්ත්‍රය ආශ්‍රිතව හට ගන්නා පිළිකා මෙයට ඇතුළත් වේ. උදරයේ පිළිකා හා සම්බන්ධයෙන් සිදුකරන සැත්කම් අනෙකුත් අවයවයන් කෙරෙහිද බලපෑ හැකිය. මෙහිදී ශරීරයේ පිළිකාව ඇති ස්ථානය අනුව සළකා බලා රෝගියාගේ තත්ත්වය වඩාත් හොඳ මට්ටමක පවත්වා ගැනීමට හැකිවන ලෙස ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය තීරණය කළ යුතුය.

අන්ත්‍ර ප‍්‍රදාහ රෝග (Inflammatory Bowel Disease -IBD)

ඇතැම් අන්ත්‍ර ආශ්‍රිතව හටගන්නා රෝගී තත්ත්වයන් බඩවැල් ප‍්‍රදාහ රෝග කාණ්ඩයට අයත් වේ. මේ යටතේ වඩාත් සුලබව දැකිය හැකි රෝගී තත්ත්වයන් ලෙස ව‍්‍රණමය පූරිතන්දාහය (Ulcerative colitis) හා ක්‍රෝන් රෝගය (Crohn’s disease) හැඳින්විය හැකිය.

එමෙන්ම ආසාදන හේතුවෙන්ද වෙනත් විවිධාකාර ප‍්‍රදාහමය තත්ත්වයන් අන්ත්‍ර ආශ්‍රිතව හටගනු ලබයි. අසාදනයන් නිසා මහා අන්ත්‍රය ඉදිමීම/ආසාදිත බවට පත්වීම (Infective colitis), විශේෂ හේතුවක් දැක්විය නොහැකි මහා අන්ත්‍රය ඉදිමීම (non specific colitis), අන්ත්‍ර වලට රුධිර සැපයුම අඩපණ වීම නිසා ඇති වන මහා අන්ත්‍රය ඉදිමීම (ischemic colitis) යනාදී රෝගී තත්ත්වයන්ද අන්ත්‍ර ප‍්‍රදාහ රෝග වර්ගීකරණයට අයත් වේ. ඇතැම් අන්ත්‍ර ප‍්‍රදාහ රෝග තත්ත්වයන් තදබල ලෙස සැරව එකතු වීම (complicated pus collections), අන්ත්‍ර භගන්දර රෝගය (Intestinal fistula), අන්ත්‍ර අවහිර වීම (bowel blockage – intestinal obstructions) මෙන්ම අන්ත්‍ර පිළිකා (Bowel cancer) ඇති වීමටද හේතු විය හැකිය.

ආන්ත්‍රීය ක්‍රියාකාරීත්වය පිළිබඳ රෝග තත්ත්වයන් (functional bowel conditions)

උද්දීප්‍ය ආන්ත්‍රික සහලක්ෂණ (Irritable Bowel Syndrome – IBS), මළබද්ධය (constipation), සුව නොවන පාචනය (non resolving loose motions), ගුද භ්‍රංගය (rectal prolapse) වැනි රෝගී තත්ත්වයන්ට ශල්‍යමය ප්‍රතිකාර අවශ්‍ය විය හැක.

Doctor and Patient (Source : www.healthcaredailyonline.com)

ඉහත සඳහන් වූ රෝග තත්ත්වයන්ට බලපානු ලබන රෝග ලක්ෂණ ඔබ තුළ ඇති බවට ඔබේ පවුලේ වෛද්‍යවරයා නිරීක්ෂණය කරන්නේ නම් ඔබව ආන්ත්‍රික හා ගුද මාර්ගය ආශ්‍රිත ශල්‍ය වෛද්‍යවරයකු (Colorectal surgeons) වෙත යොමු කරනු ඇත.

මෙවැනි රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර ලබා ගැනීමට ආන්ත්‍රික හා ගුද මාර්ගය ආශ්‍රිත ශල්‍ය වෛද්‍යවරයකු වෙත යොමුවීම මඟින් නැවතත් සුපුරුදු සෞඛ්‍ය සම්පන්න නිරෝගී ජීවිතය ගත කිරීමට ඔබට අවස්ථාව ලැබෙනු ඇත.

අන්ත්‍රවල හට ගන්නා පිළිකා සම්බන්ධව කටයුතු කිරීමටද, ඔබට මීට පෙර බොහෝ ශල්‍යකර්ම ප්‍රමාණයක් සිදුකර ඇත්නම්, උදරයේ සංකීර්ණ සැත්කම් කර තිබේ නම් හෝ වඩාත් දරුණු/පැතිරුණු ස්වභාවයේ පිළිකාවක් සදහා ශල්‍යකර්මයක් සිදුකිරීමට අවශ්‍ය නම් විශේෂඥ පුහුණුව ලබා ඇති ආන්ත්‍රික හා ගුද මාර්ගය ආශ්‍රිත ශල්‍ය වෛද්‍යවරයකු වෙත යොමුවීම වඩාත් ප්‍රතිඵලදායක බව පෙර සිදු කර ඇති බොහෝ පර්යේෂණ වාර්තා මගින්ද තහවුරුව වී ඇත.

විශේෂඥ ශල්‍යවෛද්‍ය. වසන්ත විජේනායක
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – ශල්‍ය වෛද්‍ය අධ්‍යනය අංශය, වෛද්‍ය පීඨය,
ශ්‍රීමත් ජෙනරාල් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය.

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත