සමහරු ඖෂධ වේදය සහ වෛද්‍ය විද්‍යාව පිළිබඳ දැනුම දෙවියන්ගෙන් ලැබුණා යයි විශ්වාස කරති.
දෙවියන්ගෙන් ලැබුණා යයි සිතා සිටි ඇතැම් වසංගත රෝග වයිරස් නිසා ඇතිවන බව විද්‍යාව මගින් පෙන්වා දී ඇත.
බටහිර වෛද්‍ය විද්‍යාවේ දියුණුව ඇති වූයේ නූතන විද්‍යාවේ දියුණුව නිසාය. එසේම බටහිර ජාතීන් ආර්ථික, යුදමය සහ දේශපාලනිකව ප්‍රබල වීමද බටහිර වර්ධනය වූ වෛද්‍ය විද්‍යාවේ දියුණුවට හේතු විය. නූතන විද්‍යාව දියුණු වූයේ එම ජාතීන් මුහුණ දුන් අභියෝග වලට මුහුණ දීමට නව දැනීම් නිර්මාණය කිරීම නිසාය.
අභියෝගය සහ ගැටලුව විශ්ලේෂණය කර එම ගැටලුව නිසා ඇතිවූ සංසිද්ධීන් බුද්ධිමත්ව නිරීක්ෂණය කිරීමත් එම නිරීක්ෂණ ඇසුරෙන් කල්පිත ගොඩ නංවා ඒ ඔස්සේ පර්යේෂණ සිදුකිරීමත් මේ විද්‍යාත්මක ක්‍රමයයි. එම පර්යේෂණ වලින් ලැබුන ප්‍රතිඵල ඔස්සේ නව සොයා ගැනීම් ඇතිවූ අතර ඒ මගින් නව දැනීම් නිර්මාණය විය. මෙය අඛණ්ඩව සිදුවීම නිසා නවීන විද්‍යාව මෙන්ම ඒ හා බැඳුනු වෛද්‍ය විද්‍යාවද සංවර්ධනය විය. අලුත් අභියෝග ඇතිවන අතර එම අභියෝග වඩාත් සංකීර්ණ වේ. කෙසේ වෙතත් මෙම දැනුම ලබා ගත්තේ මිනිසා විසින් ඔහුගේ බුද්ධිමය ශක්තිය මෙහෙයවා මිස දෙවියකුගේ පිහිට ලැබීමෙන් නොවේ. විද්‍යාවේ සංවර්ධනය තුළ ඇතැම් විට දේව විශ්වාසයන් සහ ප්‍රබල ආගමික ආයතන සමග ගැටීමට සිදුවිය.
බටහිර බලවත් වීමට පෙර පෙරදිග දියුණු සංස්කෘතීන් පැවතුණි. ඒවා අතුරින් චීන සහ ඉන්දියානු සංස්කෘතීන් ප්‍රමුඛ වේ. එම සංස්කෘතීන් තුළ චීන සහ ඉන්දියානු වෛද්‍ය ක්‍රම ඇතිවිය.
ඉන්දියානු සංස්කෘතිය හිංදු දර්ශනය මත පදනම් ව බිහිවුණි. ඉන්දියානු වෛද්‍ය ක්‍රමය වන ආයුර්වේදය බිහිවන්නේ හිංදු දර්ශනය තුළිනි.
මෙයට අමතරව බොහෝ රටවල, එම රටවලට ආවේණික වෛද්‍යක්‍රම බිහිවී තිබුණි. අපි ඒවා ගැන පසුව සාකච්ඡා කරමු.
හිංදු දර්ශනය මහා දැනුම් සම්භාරයක් ලෝකයට දායාද කළේය. කුල භේදය වැනි මානව විරෝධී සම්ප්‍රදායයන් එහි අඩංගු වීම අවාසනාවකි. එසේ වුවද එහි ක්‍රියාකාරීන් වූ බ්‍රාහ්මණයෝ දැනුම නිපදවීමත් පවත්වා ගැනීමත් වෙනුවෙන් කැපවී ක්‍රියා කළ අය වූහ.
ආයුර්වේදය බිහිවූයේ එසේ කැපවී ක්‍රියා කළ ශාස්ත්‍රවන්තයින් අතරිනි. ඍෂිවරුන් ලෙස හැඳින්වූ මේ ශාස්ත්‍රවන්තයින් ආයුර්වේදය නම් වෛද්‍ය ක්‍රමයක් බිහි කළහ.
ඔවුහු සිය දැනුම ග්‍රන්ථාරූඪ කළ අතර ඒවා සංහිතා ලෙස හැඳින් වේ.
චරක හා සුසෘත මේ ඍෂිවරුන් අතර ප්‍රමුඛය.
චරක ආචාර්යයන් ආයුර්වේද කායික විද්‍යාවේ ප්‍රමුඛයා වන අතර සුසෘත ආයුර්වේද ශල්‍යවේදයේ ප්‍රමුඛයා වේ. ඔවුන් ලියූ වෛද්‍ය ග්‍රන්ථ පිළිවෙළින් චරක සංහිතාව සහ සුසෘත සංහිතා ලෙස හැඳින් වේ. ආයුර්වේදයේ පදනම වනුයේ මෙම සංහිතාවන්ය.
අවුරුදු දහස් ගනණක් තිස්සේ මිනිස් වර්ගයා හට සුව සෙත සැලසූ වෛද්‍ය ක්‍රමයකට පදනම වැටුණේ මේ ලෙසය.
මෙහිදී පැන නගින ප්‍රශ්නයක් වෙයි. බටහිර වෛද්‍ය විද්‍යාවේ දැනුම ගොඩ නැගුණු ආකාරය පිළිබඳ අපට අවබෝධයක් ඇත.
කෙසේ වෙතත් මිනිස් සිරුරේ අභ්‍යන්තරය සහ එහි ක්‍රියාකරිත්වය පිළිබඳ පැරණි ආචාර්යරුන් දැන සිටි බව පෙනේ.
(History of Ancient Indian Medicine පොත කියවන්න.)
ඔවුන් ඒ දැනුම ලබා ගත්තේ කෙසේද?
දේව විශ්වාසයන් මත පදනම් වූ හිංදු ආගමට සම්බන්ධ කතාවක එය විස්තර කරන්නේ මෙසේය.
ආයුර්වේදය පිළිබඳ දැනුම මහබ්‍රහ්මයා විසින් දක්ෂ ප්‍රජාපතීට දෙන ලදී.
දක්ෂ ප්‍රජාපතී විසින් අස්වින් කුමාරවරුන්ට එම දැනුම ලබා දුන් අතර අස්වින් කුමාරවරුන් විසින් ඉන්ද්‍ර දේවරාජයා වෙත එම දැනුම ලබා දෙන ලදී. (අස්වින් කුමාරවරුන් යනු නිවුන් දේව කුමාරවරුන් දෙදෙනෙකි.)
මහාර්ෂීන් විසින් භාරද්වාජ පඬිතුමා ඉන්ද්‍ර දෙවියන් වෙත යැවූ අතර ඔහු විසින් මේ දැනුම් සම්භාරය තමාගේ සෘෂිවරුන්ට ලබාදෙන ලදී.
දක්ෂ ප්‍රජාපතී යනු බ්‍රහ්මයාගේ මනස් පුතෙකි. සමහරවිට ඉහත ක්‍රියාවලියේ භාරද්වාජ හැරුණවිට සියලු චරිත මනස්කල්පිත ඒවා විය හැකිය.
ආයුර්වේදය යනු යථාර්ථයකි. දැනුම නිපදවීම සහ සම්ප්‍රේෂණය කිරීම පිළිබඳ සංකීර්ණ ක්‍රියාවලියක් විස්තර කිරීමේ පහසුවට එසේ සටහන් වූවාදැයි කීමට නොහැකිය.
ආරම්භය පිළිබඳ එසේ සඳහනක් තිබුණද චරක, සුසෘත වැනි රිසිවරුන්ගේ මග පෙන්වීමෙන් එය විනයගත ශික්ෂාවක් ලෙස වර්ධනය වූ අතර දේව ඇදහිලි හෝ පුද පූජා එම ශික්ෂණයට ඇතුළත් නොවීය.
ඖෂධ පිළිබඳ දැනුම මිනිසාට ලැබුණේ කෙසේද?
මේ ප්‍රශ්නයට පිළිතුරු සොයන්නට අපේ ඉතිහාසයේ ආරම්භයේ සිට සාකච්ඡා කළ යුතුය.
අද සිටින නවීන මිනිසා නැතහොත් හෝමෝ සේපියන් ඇති වුණේ මීට අවුරුදු ලක්ෂ දෙකකට පමණ පෙරදීය. නැගෙනහිර අප්‍රිකාවේ මුල්ම මිනිසුන් ඇති වූ බව දැනට පිළිගත් මතය වී තිබේ.
මෙසේ ඇති වූ මිනිසා කුඩා කණ්ඩායම් ලෙස සෑදී ජීවත් වී තිබෙන්නේ තැනින් තැනට යමිනි.
දඩයක්කරුවන්ගේ සමාජ (Hunter gatherers) ලෙස ඔවුන්ගේ ජීවිත ගත වී තිබේ.
නූතන මිනිසා ඔහුට පෙර සිටි මානව වර්ග සහ අනිත් සතුන්ට වඩා බුද්ධි බලයෙන් ඉහළය. අනිත් මානව වර්ග විනාශ වී යද්දී පැවතීමටත් අනිත් සතුන් අබිබවා අද සිටින තත්ත්වයට පත්වීමටත් හැකි වූයේ මිනිසාට පරිණාමයෙන් උරුමවූ මොළය නිසාය.
දඩයක්කරුවන් ලෙස සංචාරක ජීවිතයක් ගත කළ මිනිසා මීට අවුරුදු දස දහසකට පමණ පෙර සතුන් පාලනය කරමින් එඬේරුන් ලෙසත් පසුව එක් ස්ථීර ප්‍රදේශයක ජීවත්වන ගොවීන් බවටත් පත් විය.
ආයුර්වේදය වැනි වෛද්‍ය ක්‍රම ස්ථාපිත වූයේ එයින් පසුවය.
ආයුර්වේදය වැනි වෛද්‍ය ක්‍රම ඇතිවීමට පෙර මිනිසුන් රෝග සඳහා ප්‍රතිකාර ලබාගත්තේද?
එසේ නම් ඒ මොනවාද?
අවුරුදු ලක්ෂයකට වැඩි කාලයක් සතුන්ගෙන් ආරක්ෂා වෙමින්ද සතුන් දඩයම් කරමින්ද ජීවත් වූ මිනිසා සතුන්ගේ හැසිරීම් රටාවන් හොඳින් නිරීක්ෂණය කරන්නට ඇත.
සතුන්ටද ලෙඩ රෝග සෑදෙන අතර සතුන් ඒවාට ඔවුන් විසින්ම ප්‍රතිකාර කරගනු ලබයි.
තමන්ට වැළඳෙන රෝග සඳහා පරිසරයෙන් තමන්ට ගැලපෙන ශාඛය උන් තෝරා ගනිති. මේ සඳහා උන්ට හොඳ ඉවක් ඇත. එය කෙසේ සිදුවන්නේදැයි අප තවම වටහාගෙන නැත. එහෙත් සොබා දහම තුළ එය සිදුවේ.
සතුන්ගේ මෙම අපූරු ස්වයං ප්‍රතිකාර විධි ක්‍රම ඔවුන් සමග ගැටෙමින්ද ඔවුන් දඩයම් කරමින්ද ඔවුන්ගේ සේවය ලබමින්ද ජීවත්වූ මිනිසා විසින් හොඳින් නිරීක්ෂණය කරන්නට ඇත. නිරීක්ෂණ මගින් ලබාගත් මේ දැනුම ආදිකල්පික මිනිසා විසින් තමන්ගේ ලෙඩ රෝග සඳහාද භාවිතා කරන්නට ඇත. නිරීක්ෂණ මගින් ලබාගත් මේ තොරතුරු තමන්ගේ ලෙඩ රෝග සඳහා භාවිතා කිරීමෙන් අත්දැකීම් එකතුවී ආදි කල්පික වෛද්‍ය විද්‍යාව (Pre historic Medicine) ඇති වන්නට ඇතැයි අනුමාන කළ හැකිය.
ආදිකල්පික මිනිසා සංවිධානය වී සිටියේ කුඩා කණ්ඩායම්, ගණ හා ගෝත්‍ර ලෙසය. මේ කණ්ඩායම් තුළ සතුන්ගෙන් මේ ලෙස දැනුම ලබාගත් විශේෂිත පුද්ගලයින් පසුව බිහිවී ඇත. මේ ක්‍රියාවලිය සිදුවූයේ අවුරුදු දස දහස් ගණනක් තුළය. එය සෙමෙන් සිදුවූ ක්‍රියාවලියකි. ලෝකය පුරා විසිරී සිටි කුඩා කණ්ඩායම්, ගණ සහ ගෝත්‍ර තුළ මේ ලෙස විශාල දැනුම් සම්භාරයන් එකතුවී තිබෙන්නට ඇත.
ඒ ආකාරයට මිනිසා පරිසරයෙන් ලබාගත්තේ සතුන්ගේ ඖෂධ පිළිබඳ දැනුම පමණක් නොවේ. තමන්ට ආහාරයට ගත හැකි ශාඛ පිළිබඳ මෙන්ම ඒවා වගා කළ හැකි ආකාර පිළිබඳවත් ඔහු අවබෝධයක් ලබා ගත්තේය.
එසේම ඔහු තම පැවැත්මට ආධාරවිය හැකි සතුන් තමාට අවශ්‍ය පරිදි හීලෑකර ගත්තේය. මෙය සිදු වූයේ මීට අවුරුදු දස දහසකට පෙරය. එය හැඳින්වෙන්නේ සත්ත්ව සහ ශාඛ ගෘහස්ථකරණය (Domestication of plants and animals) ලෙසය. මෙය මිනිස් ඉතිහාසයේ සිදු වූ ඓතිහාසික ක්‍රියාවලියකි.
මෙය සිදුවීමත් සමග වඩා විශාල ජන සමූහයන් ඒකාබද්ධ වී පසු කලෙක රාජ්‍යයන් බිහිවීම සිදුවිය.
කුඩා ජන කණ්ඩායම්, ගණ,ගෝත්‍ර එකතුවන විට එම කණ්ඩායම් අතර තිබූ දැනුමද ඒකාබද්ධ වන්නට ඇත. මේ දැනුම බිහිවූයේ නිරීක්ෂණ සහ අත්දැකීම් මගිනි. අවුරුදු දසදහස් ගණනක් තිස්සේ එකතු වූ දැනුම් සහ අත්දැකීම් වඩා දියුණු බුද්ධියක් සහිත මිනිසුන් එනම් ආයුර්වේදයේ හැඳින්වෙන ඍසිවරුන් අතින් දියුණු වෛද්‍ය ක්‍රම බිහිවිය.
ඒ අනුව බටහිර වෛද්‍ය විද්‍යාව මෙන්ම පෙරදිග වෛද්‍ය විද්‍යාවන්ද බිහිවී ඇත්තේ නිරීක්ෂණ, අත්දැකීම් සහ ඒ ආශ්‍රයෙන් බිහිකරන ලද කල්පිත ඇසුරෙනි.
මිනිසා දැනුම ලබාගන්නට ඇත්තේ සතුන්ගෙන්, තමන්ගේ බුද්ධි බලයෙන් මිස අදෘශ්‍යමාන දෙවිකෙනෙකුන්ගෙන් හෝ දෙවිවරුන්ගෙන් නොවේ.
—
රෝහණ දයාරත්න
ශ්‍රී ලංකා මානව විද්‍යා සංගමයේ සභාපති