වසරක් ගෙවී වසරක් අලුතින් ඇවිත් . බටහිරට අනුව ඒක ඔවුන්ගේ සැමරුම් දිනයක්.නමුත් ඝර්ම කලාපීය රටක් වෙන අපි එය සලකන්නේ ලිත් වසරක් ගෙවී යාමක් වශයෙන්. ශ්‍රී ලාංකික වැසියන් තමන්ගේ අලුත් අවුරුද්ද වශයෙන්, අස්වැන්න කපා අටු කොටු පිරුණු පසු එය වසන්ත සමය ලෙසින් සළකන්නට පුරුදු වෙලා. මේ ඔවුන්ගේ සිත්වල කිසියම් සතුටක් මෝදු වෙන සමයක් .
බක් මඟුල නැත්නම් කෝණ මංගල්‍යය ලෙසින් සලකන්නේත් එයයි.
එය ශ්‍රීී ලංකාවේදී ජ්‍යොතිෂය සමග බද්ධ වී ඇති නිසා හිරු මුල් කර ගනිමින් ආගමික හා සංස්‌කෘතික සැණකෙළියක් ලෙස ජනජීවිතය අර්ථ ගන්වා තිබෙනවා.
ඊට හේතුව මේ දේශයේ ජීවත්වන්නේ කෘෂි ආර්ථික පැවැත්මක කොටස්කරුවන් වී සිටින ජන කොටසක් වීමයි.
ඒත් සමගම මිසරය මෙන්ම අග්නිදිග ආසියාතික රටවල් කීපයක්ම සූර්යයා මුල්කරගෙන තමන්ගේ කෘෂිකාර්මික දිවි පැවැත්ම හා වෙනත් ගෘහාශ්‍රීත කටයුතු අරඹන දේශ කිහිපයක් .
ඒ අනුව සූර්ය ගමන යළිත් වෙනත් රාශියකට පැමිණීම කෝණ මංගල්‍යය ලෙසින් සලකනවා. එය යෙදෙන්නේ අප්‍රේල් මාසයටයි.එනිසා එය බක් මංගල්‍යය වෙනවා.
මේ නිසා ලංකාව ඇතුළු රටවල මිනිසාගේ ජීවිතවල දෛනික කටයුතු මෙන්ම ඔවුන්ගේ ජීවිතයේ තවත් සිදුවීම් කෙරෙන්නේ සූර්යයා මුල්කරගෙන.
එය ඇතෑම් දියුණු යැයි සම්මත රටවල ඇත්තන්ගේ සමච්චලයට බඳුන් වූවත් කිසි විටෙක එම විශ්වාස හා ඇදහිලි අපට එක්වරම ඉවත දැමීමට පුළුවන් කමක් නැ.
එම ඇදහිලි ආචීර්ණ කල්පිත නො එසේනම් නූගත් අභිචාර ලෙස සලකන්නට පුළුවන්ද ?
සූර්යා මුල් කර ගනිමින් ඔවුන් ඒ ගමන් රටාව අනුව තමන්ගේ වගා චක්‍රය සකසා ගැනීමෙන් ඔවුන්ගේ මනස කොතරම් වර්ධනීය විශ්කම්බයක පැතිර තිබෙන්නට ඇද්ද. ඒ විශ්වාස කාගේවත් සිනහවට ලක් වෙන්න ඕනෑ දෙයක් නොවෙයි. “ඊනියා සිනාසෙන්නන්” එය නොසීතීම කොතරම් කණගාටු දායකද?
ගස් කොළන් සෙළවෙන්නේ
නොපෙනෙන සුළඟින්. ඒ අනුව
අපට නොපෙනෙන සුළඟ, සුළඟක් නොවේ යැයි කිව හැකිද?
නාන්ඩ යන මිනිසාගෙන් “නාන්නට යනවාදැ”යි ඇසීම තුළ මහා කතාන්දරයක් කියවෙන්නා සේ මේ නොපෙනෙන සිදුවීම් අස්සේද මහා කතාන්දර මෙන්ම විද්‍යාවට හසුනොවන රහස් සේම ගැඹුරු සංස්කෘතියක්ද සැඟව තියෙයි.
ඒ නිසා ශ්‍රී ලාංකිකයාට එළැඹෙන්නේ ජනේරුවක්. එය උත්සවශ්‍රීයෙන් නොපවත්වන්නට බලපාන හේතු තවත් ඇති බව අපට සිතා ගන්නට පුළුවන්.
ප්‍රධාන කරුණ කෘෂිකාර්මික පැවැත්ම වූවත් අවශේෂ ලෙස කාලයද බලපාන්නට ඇත.
ජනේරුව එළැඹෙන්නේ දෙසැම්බරයට පසුවය. ඒ දුරුත්තයි. දුරුත්ත යනු ලංකාවට මෝසම් සුළං බහුලව හමනා කාලයයි. එබැවින් මෙරට ගැමියන්ට එය නත්තල් කුණාටු සමයයි. එසේම දිවයිනේ උතුරු හා නැඟෙනහිර වැසියා දැඩිලෙස අහස් දියෙන් පීඩා විඳින්නේත් ඒ කාලයටයි.
ඒ අනුව දැඩි ශීතලෙන් හා වැස්සෙන් හෙම්බත් වූ මේ ආසියාතික කෘෂි මිනිසා ජනවාරිය අවුරුදු ප්‍රීතියකින් සැමරීමේ දේශගුණික හෝ ආර්ථික හෝ සාමාජික හෝ තෘප්තියක් ඇත්තෙකු වන්නේ නැ.
එබැවින් ඔවුන්ට අලුත් අවුරුද්ද වෙන්නේ, සිත ගත පිනා යමින් එයට ගැලපෙන සේ කෙත්වතු සාරවෙමින් ඵලබර වෙමින්, ගහකොළ මලින් බර වීමත් අතමිට සරුවීමත් සමගය. එබැවින් එම වසන්ත යාමය ම ඔවුන්ගේ වසන්ත උළෙලයි.
එහෙත් “වසන්තයට අපි නතු වී ගතානුගතික විය හැකිද? එසේ කරන්නේ ඇයි?”
සිංහල දෙමළ අලුත් අවුරුද්දට කිසිත් චාරිත්‍ර නොකරන අපේ ඇතැම් සිංහළ බෞද්ධයන් නිවාඩු ගන්නට නුවරඑළියට හෝ වෙනත් ශීත රටකට යද්දී අප කෙසේනම් ජනවාරි පළමුවනදා එය නො සමරා සිටින්නෙමුද?
එය සිංහල රටේ සුද්දාට බණිමින් ඌ අපව සූරා කෑවායැයි සටන්පාඨ කියමින් ඔහුගේම ඇඳුම් ඔහුටත් වඩා ජේත්තුවට ඇඳ , තමන්ගේ බසේ මූලික ව්‍යාකරණයවත් නොදැන නොසලකමින් සිට සුද්දාගේ බස මඳක් හෝ වරදන අයට පහත් කොට සලකන්නට තරම් අපි පමා වෙන්නේ නෑ.
තවමත් බුදුන් දෙසූ උතුම් කළගුණ ඊටත් ඉහළින් වඩා ගරු කරමින් ඉන්නා අප කෙසේනම් මහා බ්‍රිතාන්‍යයන් ආ ජනේරුව නොසළකා සිටීද? එය අපගේ කොම්ප්‍රදෝරු මානසිකත්වයේ ණයගැති භාවය නොවේද?
එබැවින් අපි සමහරක් එය සැමරීමක් කරගනී. තවත් බහුතරයකට එය සුබ පතා ගැනීමක් පමණකි.
එය අප මෙහිදී සිතිය යුත්තේ හෙළා දැකීමක් ලෙස නොව තම තමා ලබන උත්ප්‍රේරණයක් වශයෙනුයි
අපේ රටේ සේවාවන්ට යන බොහෝ මාගමුන් එදාට අඳින්නට අලුත් සාරියක් ගන්නේ නොවැම්බ්බර් මස වැටුපෙන් හෝ දෙසැම්බර් මුලය.
එය යහපත් කැපවීමකි. නව ආරම්භයකි. එය එම වසරම සතුටින් ගතකරන්නට ලැබේවා යන සම්මා කල්පනාවෙන් යුතුව කරන්නේ කීයෙන් කී දෙනෙක්ද? එසේ සිතුවත් තමන් “ගන්නා වැටුපට වඩා මට වැඩ කරන්නට ලැබේවා”යි පැතීමට තරම් අර්ථ ගුණැත්තෝ ඉන්නේ කීයෙන් කී දෙනාද?
එදා ඔවුන් එය තම ජීවිතයේ නව ඇරඹුම හා පිබිදීම ලෙස සිතා කටයුතු කළේ නම් අද අපි අවුරුදු කන්නේ භෝ සමරන්නේ ජනවාරි පළමු වනදා හෝ අප්‍රේල් මාසයේ දිනක් දෙදිනක් නොව මුළු වසරම විය නොහැකිද?
මේ නිසා නැවත නැවතත් අපි අපේ චාරිත්‍ර වාරිත්‍ර සලකා බැලීම යහපත්ය. ඒවා සංගායනාවකට බඳුන් කළ යුතු කාලය එළැඹී ඇත.
අතට අත දීමෙන් හෝ අලුත් ඇඳුමක් ඇඟළීමෙන් හෝ එදාට පමණක් දෙයියන්ට බුදුන්ට පහන් දැල්වීමෙන් හෝ අපට අලුත් ආත්මීය පුනර්ජීවනයක් ලබන්නට නොහැක.
අප අලුත් වීමට නම් පුරුද්දට කෙරෙන “අනම් මනම්” කිරීමට පෙරාතුව අපි අපේ මානසවිල් නම් වූ සිත් හී පිපෙන මෝහයෙන්, මුළාවෙන් ,තෘෂ්ණාවෙන් පෙළෙන සිතුවිලි වලට සමුදිය යුතුය. ඒ කිසියම් චින්තන පුනරුදයකි.
අද අපගේ වියැත්තෝ, බුද්ධිමතුන් , උගතුන් සමග ජනමාධ්‍යය අතිනත් ගැනීමෙන් මෙය කරන්නට පුළුවනි. එය නිරන්තර භාවනාවක් බවට පත් කරවීමෙන් ජරාජීර්ණ වූ මෙන්ම වෙනසක් ඇවැසි සමාජයට ද එය කල්පිතයක් නොව යථාර්ථයක් බවට පත් කර ගන්නට හැකිය. අප සංස්කෘතිය කුමක්දැයි හඳුනන්නේ නම් අපි එයට අනුගත විය යුත්තෝ විය යුතු නොවන්නේද? එබැවින් මේ අලුත් වසරක් ලබන මොහොතේ එය නව වසරක් බවට අපට පත්කරගත හැකිවෙනු ඇත.
අප අවබෝධ කරගත යුතු සත්‍යය විය යුත්තේ අපගේ හෙට දවස සුරක්ෂිත කර ගැනීම හා අපගේ රැක්ම වෙනුවෙන් වෙනස් වීමය. එහිදී අප අපගේ සතුරා නියත වශයෙන්ම හඳුනා ගත යුතුය. ඔහු සිටින්නේ දුර ඈතක නොවෙයි. අපගේ ඇස් මානයේය. කණ අද්දරමය. සිත ගාවමය.
එය බහුජාතික සමාගම් විසින් තොරොම්බල් කොට පත අට එකට තම්බා සිඳ පෙරා දෙන ප්‍රචාරණය නම් වූ අළෙවිකරණයේ විකුණුම් ඉලක්කයයි. අප අද සැවොම අඩු වැඩි වශයෙන් එයට ගොදුරුවී ඇත.
කොරෝනා අතු ඉති විහිදා පැතිර යද්දී වෙළෙන්දන් නත්තල සැණකෙළියක් ,දේව වන්දනාවක් කරගෙන එයම විකුණා කා හමාරය. අවුරුද්ද පුරාම නිරුවතින් සිටියා සේ මිනිසුන් ගැහැණුන් රෙදි ගත්තෙ පෝලිමේ හිරවෙලාය. ඒ වෙලාවේ මුඛවාඩම කැළේය.
මායාකාර වෙළෙඳන්ගේ පාරිභෝගික අන්තේවාසිකත්වයෙන් බවුතීස්ම වූ ඇතෑම් සිංහලයන් එසේ කළේ දෙවියන් වහන්සේ ට තමන් නිරයට යවන්නන්ට එපා කියන්නට වගෙයි.
“මගේ නත්තල දුගියා බත්කන දාට යැයි” කීවේ ස්වර්ගස්ත වූ මර්සලීන් ජයකොඩි පියතුමන් ය.
එහෙත් අපි බත් කමින්ම කොරෝනාවලට අත වනමින් සංකෘතිය රකින්නට පමා නොවෙමින් සිටිමු.
මේ සියල්ලෝම අල්ප, සරළ, ජීවිතයේ සුන්දරතාව සේම සුනාමිය හා කොරෝනා විසින් කියාදුන් පාඩම්වල සිසු සිසුවියන් ය. එහෙත් උතුරේ ප්‍රභාකරන් කීවා සේ ඒ සියල්ලම නෑසු සවන් ඇත්තෝය. හේතුව “තවම අපට නොවේ එසේ උනේ අල්ලපු ගමේ, අල්ලපු ගෙදර එකාට” නිසාය .
එබැවින් දැනෙන භාෂවෙන් කිවහොත් තම තමන්ට “කෙළවෙනතුරු” අපිට සත්‍ය පසක් නොවෙයි .වෙනසක් ඇවසි නොවෙයි.
අප මොවුන් වෙනස් කරන්නට අසීරු යැයි කොතෙක් කීවත් ඔවුන් තරම් වෙනස් වීමට දක්ෂයෝ ද තවත් නැත.
හා හා පුරා නමෝ විත්තියෙන්ම වෙනස් වෙන්නේ, “අපි කාටවත් ණයත් නෑ, බයත් නෑ ” කියන වචීපරම සරණ ගියැත්තෝය.
ඒ තමන්ගේ වාසියටය.
එහෙමනම් වෙනස් වීමට පමණක් වෙනස් වෙන්නට ඉඩදී අපි බලා සිටිනවාද?
නො එසේ නම් වෙනස්වීම වෙනස් නොකර අපි වෙනස්වීම කෙසේ වියයුතුදැයි අවබෝධ කරගෙන වෙනස් වෙනවාද? එහෙමනම්
මේ ඔබට කාලයයි.
“කාලෝ අයංතේ”