පාළහ පැන්න ගමන් මල් කඩන්න හදනවාද?

කිසියම් ජන කොට්ඨාශයක් භාවිතා කරන භාෂාව මුවහත් කළ යුතු අසිපතක් වැනිය. සමාජය තුළ සිදුවන වෙනස්කම්වලට අනුකූලව වෙනස් නොවන, වෙනස්කම්වලට ඔරොත්තු නොදෙන භාෂාව පෙට්ටගමක බහාලූ මලකඩ කෑ අසිපතක් වැනිය. නිරතුරුව මුවහත් කළ අසිපතක් වැනි භාෂාවක් ජීව භාෂාවක් ලෙසත් මලකඩ කෑ අසිපතක් වැනි භාෂාවක් මළ භාෂාවක් ලෙසත් හැඳින්විය හැක.

අවුරුදු දහස් ගණනක් පැරණි, එහෙත් ලෝක ජනගහනයෙන් ඉතා අල්ප වූ ජනකායක් විසින් වහරණු ලබන සිංහලය අපූරු ජීව බසකි. ඇතැම් භාෂා විශාරදයන් මේ බස පෙට්ටගම්වල බහාලූ මළ බසක් බවට පරිවර්තනය කිරීමට වෙර දරතත් සිංහලය බසක් සේ වහරණ පොදු ජනයා නිරතුරුව අලූත් යෙදුම්, අලූත් වචන, සම්ප්‍රදායන් බසට එකතු කරමින් බසේ ජීවගුණය රකිති. 

සිංහල බස නිරතුරුව අලූත් වන සැටි හඳුනාගැනීමට මෑත කාලයේ බසට එක්වූ අලූත් වචන, යෙදුම් ගොන්න කදිම සාක්‍ෂියකි. ගල් කරනවා, උස්සනවා, මල පනිනවා, මල් කඩනවා, කින්ඩිය දමනවා වැනි ජනවහරෙන් සිංහල බසට එක්වූ වචන දැන් දැන් පුවත්පත්වල පුවත් සිරස්තලද සරසයි.

‘ත්‍රී විලරය මස් කරලා’, ‘බයිසිකලය උස්සලා’ උදාහරණ වේ.

ලෝක සිතියමේ පුංචි තිතක් වැනි පුංචි රටක සිංහල ජනයා වහරණ බසෙහි ප්‍රාදේශීය වෙනස්කම් කියාපෑමට හොඳම උදාහරණය අපේ ගමේ, මාතර බසයි. මාතර අපි කූඹියාට හින්නා යැයි කියමු. මාතර මිනිස්සු උදැල්ලෙන් තණකොළ අහිති. විපතකදී මොර ගසති. පහළොවට පාළහ යැයි කියයි. කොළඹ අයට දිවුල් අපට ජූල්ය. පපඩම්වලට අපි පප්පඩම් කියාද, කරපිංචාවලට කරපුංචා කියාද කියන්නෙමු. මක්ක කරන්නද ළමයෝ ගේ අහලක සීනි හින්නිකිතරමක් තිබුණේ නැහැ. ඇහැකිවට බොනවා නෙවෙයි මම මේ අල්ලෙ ලෙවකනවා කියන අපි තමුසෙටත්, ඔයාටත්, උඹටත්, තමුන්නාන්සේටත් ඔහේ කියා කතා කරන්නෙමු.

ප්‍රදේශයක භාෂාව මෙසේ වෙනස් වන්නා සේ, ප්‍රදේශ තුළද තැන අනුව භාෂාවේ වෙනස්කම් දැකිය හැකිවේ. මාලූ මාකට් එකේ භාෂාව දැල අදින තැන භාෂාවට වෙනස්ය. වෙලේ භාෂාව පතලේ භාෂාවට වෙනස්ය. වෙනත් භාෂාවලින් වචන උකහාගෙන භාෂාව විපරිනාමය වන හැටිද විශ්මයජනකය.

අපි කලක් මාතර දුම්රියපොළට නුදුරුව පදිංචිව සිටියෙමු. එහෙයින් අපට ස්ටේෂන් භාෂාව හුරුවිය.

දුම්රියපොළ අපට දුම්රියපොළ නොවේ. ස්ටේෂමය. දුම්රිය කෝච්චියයි. ස්ටේෂමේ සිට කෝච්චියට අණදෙන ස්ටේෂන් මාස්ටර් කෝච්චියට ටැබ්ලට් දෙයි. ටිකට් කඩයි. කෝච්චිය පදවන එන්ජින් ඩ්‍රයිවර් මහත්තයා කෝච්චිය ශන්ටින් කරයි. ඉස්සරහට පස්සට එන්ජින් තිබෙන ඞීසල් කෝච්චි නැතිකාලේ දුම්කෝච්චියේ එන්ජිම ගලවා ටේබල් වලේදී කොළඹ පැත්තට ආපසු හරවන්නේ උන්නැහේලාය. බසට වචන එකතු වන හැටි කියාපෑමට හොඳම උදාහරණය ස්ටේෂමේ සිටින බාල්දිකාරයෝය. බාල්දිකාරයෝ කෝච්චිය එහා මෙහා වෙන්නට රේල් පීලි එහා මෙහා කරන රාජකාරිය බාර ඇත්තෝය. ඉංග්‍රීසියෙන් ඔවුන්ට කියන්නේ Pointsman ය. සිංහල කටට ඒවගේ වචන හුරු නැති නිසා පොයින්ස්මන්ලා පනිට්ටුකරුවෝ වූවෝය. මාතර අප පනිට්ටුවට කියන්නේ බාල්දිය නිසා මාතර ඉස්ටේෂමේ පොයින්ස්මන්ලා, මාතර අපට බාල්දිකරුවෝය.

නමුත් මේ බාල්දි පෙරලන බාල්දිකරුවෝ නොවෙති. මේ බාල්දිකරුවෝ එහා මෙහා වුණොත් පෙරලෙන්නේ කෝච්චිය. බාල්දිකරුවන් අතින් පොඞ්ඩ එහා මෙහා වුණොත් එන්ජින් ඩ්‍රයිවර්ලාට මල පනිනවාය. ඔක්කොම වැඩ සවුත්තු වී වැඬේ ජෝන් බාස්ට යනවාය.

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත