මිනිසුන් නර්තනය වගේම රංගනයත් විනෝදාංශයක් හා කලා විශේෂයක් විදිහට සලකන්න පුරුදුවී සිටිනවා. ඒ නැටුමේ හෝ අංග චලනයේ අඩුවැඩිකම් පිරිපහදු කරගැනීමෙන් අනතුරුව එය යම් ශාස්ත්‍රීය මට්ටමක ස්ථාපිත කරන්නන් විදග්ධ කලාකරුවන්ගේ ගණයේ ලා සලකනවා. නවකතා, කෙටිකතා, කවි, සිතුවම් ශිල්පය වැනි අනෙකුත් මිනිස් සන්තානයන් ප්‍රමෝදයට පත්කරවන සුළු සන්නිවේදන කලා මාධ්‍යයන්ගේ ගුණාත්මක බවත් අප වෙත පසක් කරන්නේ එයයි.
අතීතයේ සෙල් මත සිතුවම් වුණු සීගිරි අප්සරාවන්ට ප්‍රාණය සපයන්නට අප කවුරුත් උත්සාහ නොදරන්නේ ඒ සිතුවම් වල හැඩතල ආශ්‍රිතව නිරූපණය වන සප්‍රාණික බව එදා පටන් අද දක්වාම අප සන්තානයන්ට පිවිතුරු ප්‍රහර්ෂයක් රැගෙන එන නිසා. එදා ඒ සිතුවම් නිමැවූ සිත්තරුන්ට තම සිතුවම් ශිල්පය හැසිරවීමෙහි තිබු පරිණතභාවය සහ ප්‍රාගුණ්‍යයට අමතරව පෙදරේරු ශිල්පය පිළිබඳවත් කිසියම් වූ අවබෝධයක් දැනුමක් තියෙන්නට ඇති. චිත්‍ර ශිල්පියෙකු තම පරිකල්පනයන් සජීවී අයුරින් පණගන්වන්නට වර්ණ පමණක් නොව වර්ණ සායම් වර්ග සහ කැන්වසයේ සංයුතිය පිළිබඳවත් විධිමක් දැනුමකින් සන්නද්ධව සිටිය යුතුමයි.
අදින් වසර 20,000 කට පමණ පෙර ස්පාඤ්ඤයේ අල්ටිමීරා ගුහාවේ බිතු මත බයිසන් ගවයෙකු සිතුවම් කළ මිනිසා, තමා ඒ සඳහා භාවිත කළ අමුද්‍රව්‍ය වල සම්මිශ්‍රණය සහ ගුහා බිත්තියේ මතුපිට ස්වභාවය (surface) පිළිබඳ තම ජීවන අත්දැකීම් ඇසුරෙන් උකහාගත් ප්‍රායෝගික දැනුම, ඒ චිත්‍රාවේශයට කුමනාකාරයේ ශක්‍යතාවක් එකතු කරන්නට ඇති ද? දිය සීරාවන්ගෙන්, සහ ස්වභාවිකව දළු ලෑ විවිධාකාරයේ දිලීර සහ පුස් බැඳුම් වලින් ආක්‍රමණිත ගොරෝසු ගල්ගුහා බිත්ති තලය කැන්වසයක් බවට පත්කර ගැනීමත්, ඒ මත පැහැදිලි වාර්තා රූපයක් නිමා කිරීමත් සියවස් ගණනාවක් ඔස්සේ ඇවිද යන සන්නිවේදන පෙරවදනක් සනිටුහන් කළ බව අපි දන්නවා. ආදී දඩයම්කරුවා තමා භාවිතා කළ ගල් ආයුධය අනුසාරයෙන් අත් කරගත් තාක්ෂණික මෙහෙයුමේ තවත් පැතිකඩක්, ගල් ලෙන් බිත සහ ඔහුට අත් උදවු සැපැයූ ගිනි හුල ඔහු වෙත සපයන්නට ඇති. ඔහු ඒවා විධිමත් ලෙස භාවිතයට ගැනීම මිනිසාගේ තාක්ෂණික සහ බුද්ධිමය මෙහෙයුම්වල මුල්ම සම්මිශ්‍රණයයි.
මේ 21වන සියවසයි. අද අපි දෘශ්‍ය සන්නිවේදන විෂයයේ විවිධ කඩඉම් ජයගනිමින් නවමු දියුණු ඉසව් කරා ලඟාවෙමින් සිටිනවා. මෙහිදී එක් කලා මාධ්‍යයක් විසින් භාවිත සහ නිරූපිත ප්‍රතිබිම්බයක් තවත් ප්‍රකාශන මාධ්‍යයක් තුළ වෙනත් මානයකින් කියවා ගත හැකිද? අප මේ දකින්නේ වේදිකා රංගවේදියෙකුගේ රංගන ඉරියව්වක්. තමන් විසින් ප්‍රගුණ කරන ලද රංග අභ්‍යාසයන්ගෙන් සහ රංග වින්‍යාසයන්ගෙන් සුපෝෂිතව මේ භූමිකාවට ප්‍රාණය සපයන මේ රංගවේදියා දෘශ්‍යමය රූපයක් ලෙස අප වෙත කැඳවාගෙන පැමිණෙන භෞතික සිද්ධිය කුමක් ද?
ආංගික අභිනය නම් ක්‍රියාව තුළ අඳුරු පසුතලයක් මත නිරූපිත ඔහුගේ සිරුරේ හැඩතලත්, ඔහු පොරොවාගෙන සිටින සාටකයේ රැළි වැටුණු රටාවනුත්, ඔහු පැළඳ සිටින ආභරණවල ඇති ත්‍රිමාණ බවත්, ඔහුගේ අත්වල ඇඟිලි ඉල්පී ඇති ස්වරූපයත්, ඔහුගේ මුහුණින් නිරූපිත ප්‍රකාශනයේ ගාම්භීරතාව මෙන්ම ගැඹුරත්, ප්‍රේක්ෂක අපගේ දෘෂ්ටිය කරා රැගෙන ඒමට ඉවහල් වන්නේ ඒ චරිතය ආලෝකමත් කර ඇති ආලෝක ක්‍රමවේදයයි. ඇත්තෙන්ම නළුවා හෝ නිළිය අධ්‍යක්ෂවරයෙකු විසින් මෙහෙයවනු ලබන්නෙක්. ඔහු හෝ ඇය චරිතයක්. වේදිකා නාට්‍යයක චරිත ආලෝකකරණයට බඳුන් කිරීම තුළ ඒ චරිතය අනුසාරයෙන් අධ්‍යක්ෂවරයා විසින් ගම්‍ය කරවන ප්‍රකාශන පරාසයේ ධාරිතාවයට තවත් මානයක පිටිවහලක් සැපයෙනවා.
රංගවේදියාගේ සාටකයේ ඉහළ භාගයට සහ පසුපස තීරුවට සාපේක්ෂව, ගහණතාවෙන් අඩු ආලෝක ප්‍රමාණයක් පහළ කොටසට එල්ලකිරීමත්, වම් අතේ ඇඟිලි වලට සහ පපු පෙදෙසට සමාන ආලෝක කදම්බයන් යොමුකිරීමත්, ඔහුගේ මුහුණට (profile) ආකෘතියට අනුරූපව දැඩි ආලෝක කදම්බයක් යොමුකිරීමත් හේතුවෙන් මේ දෘශ්‍ය රූපය තුළ මනා ලෙස එහි චරිතවත් බව කැටයම් වී තිබෙනවා. නාට්‍ය භාෂාවෙහි අධ්‍යක්ෂවරයා විසින් ගොඩනඟන මේ සුභාවිත රූපය විධිමත් ලෙස හඳුනා ගැනීමෙන් අනතුරුව, ඡායාරූපයට සමබර ලෙස එයට උචිත තානයන් සටහන් කරගැනීමට සුදුසු නිසි තාක්ෂණික මෙහෙයුම භාවිත කිරීම ප්‍රකාශනාත්මක ඡායාරූප නිමවන්නකුගේ යුතුකමක් සහ වගකීමක්. එය පරිපූර්ණ බුද්ධිමය නිමැවුමක් බවට පරිවර්තනය වන්නේ එහෙමයි.